අපටත් ගුවන් ගිලන් රථ සේවාවක්

175

හදිසි අනතුරක් යනු කුමන මොහොතක කුමන ආකාරයකට සිදුවන දෙයක් දැයි පූර්ව නිගමනයකට පැමිණිය නොහැක. මෙම සටහන තබන මොහොත වන විට ද මෙරට කොතැන හෝ තැනක එවැන්නක් සිදුවනු ඇත. එසේත් නැත්නම් එවැන්නක් සිදුවීමට ඉඩකඩ ඇත. එය නිවස තුළ පය ලිස්සා වැටීමේ අනතුරක් විය හැක. එසේත් නැත්නම් මාර්ග අනතුරක් හෝ වෙනත් මාදිලියක හදිසි අනතුරක් වීමට ඉඩ ඇත. ඇතැම් විට ආබාධිතවීමකින් එසේත් නැත්නම් මරණයෙන් කෙළවර වන එවැනි හදිසි අනතුරු ආදියෙන් මිනිස් ජීවිත බේරා ගැනීම පිණිස ඒ සඳහා විශේෂඥ පුහුණුව ලත් වෛද්‍යවරුන් නිරන්තර වෙහෙසක් දරන අතර රජය විසින් ද ඒ සඳහා විශාල වියදමක් දරමින් ඇත. ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකි හදිසි අනතුරකදී ජීවිතයක් බේරා ගැනීම පිණිස වෛද්‍යවරුන් දරන වෙහෙස පිළිබඳවත් රටක් ලෙස එවැනි අනතුරු වළකා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳවත් රට දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ බවට පත්වන අතර ඒ සම්බන්ධ කතාබහ පිණිස අප හා එක්වූවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතාය. මෙම මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට නියමිත ජාතික හදිසි අනතුරු වළකා ගැනීමේ සම්මේලනය පැවැත්වීමේ අරමුණ සහ හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවේ වැදගත්කම මුල්කර ගනිමින් අපගේ කතාබහ ආරම්භ වූ අතර වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ඒ සඳහා ආරම්භය ලබා ගත්තේ හදිසි අනතුරක් යනු කුමක්ද යන්න පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරමින්ය.

අපටත් ගුවන් ගිලන් රථ සේවාවක්

“ගෘහස්ථව සිදුවන අනතුරක් ඒ වගේම කර්මාන්ත ශාලාවේදී, ක්‍රීඩා තරගයකදී මාර්ග අනතුරකදී ඔය ආදී වශයෙන් අනපේක්‍ෂිතව සිදුවන ඕනෑම අනතුරක් හදිසි අනතුරක් වශයෙන් නම් කරන්න පුළුවන්. එතනදී රෝගීන් සුවපත් කිරීම පිණිස වෛද්‍යවරුන් ලෙස අප විසින් ලොකු වෙහෙසක් ගන්නව. එතන පවතින විශේෂත්වය තමයි වෛද්‍යවරුන් වශයෙන් අපට හදිසියේ ක්‍රියාත්මක වීමට සිදුවීම. විශේෂයෙන් ජීවිතයට තර්ජනයක් විය හැකි අනතුරක් නම් ඒ සඳහා විශේෂඥ පුහුණුව ලත් වෛද්‍යවරු ඒ වගේම හෙද කාර්ය මණ්ඩලයක් සහ පහසුකම් සහිත රෝහලක් ඇතුළු තවත් කරුණු කාරණා කීපයක් සම්පූර්ණව පවතින්න ඕන. ඒ සියලු පහසුකම්වලින් සම්පූර්ණ වූ තැනක් ලෙස කොළඹ ජාතික රෝහල හදිසි අනතුරු අංශය හඳුන්වන්න පුළුවන්. හදිසි අනතුරු ප්‍රතිකාර අංශය ගත්විට කලාපීය වශයෙන් පමණක් නොවෙයි ගෝලීය මට්ටමින් පවා අපි ඉහළම ස්ථානයක් හිමිකරගෙන තිබෙනව. ඉදිරි දින දෙකක් පුරා පැවැත්වෙන හදිසි අනතුරු පිළිබඳ ජාතික සම්මේලනයේ එක් අරමුණක් තමයි ඒ අංශයෙන් මේ වනවිට අප විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීම. ඊට අමතරව එවැනි තත්ත්වයක් තුළ ලෝකයේ වෙනත් රටවල් ඊට මුහුණ දෙන්නෙ මොන ආකාරයෙන්ද අපට වඩා හොඳ කළමනාකරණයක් මේ විෂය සම්බන්ධයෙන් වෙනත් රටක ක්‍රියාත්මක නම් ඒව මොනවද සහ හදිසි අනතුරු අවම කර ගැනීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ ලොකු කතාබහක් මේ සම්මේලනය ඇතුළේ ඇති වෙනව. රටක් ලෙස හදිසි අනතුරු ආදියේදී කතාබහට ලක්විය යුතු බොහෝ දේ තිබුණත් තවමත් අපේ රටේ ඒ සම්බන්ධව විධිමත් කතිකාවක් දකින්නට ලැබෙන්නෙ නැහැ. ඒ අඩුව පිරවීම පිණිස තමයි හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ පුහුණුව ලත් මෙරට සහ විදේශීය රටවල් කීපයක් නියෝජනය කරන වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් එවැන්නක් සංවිධානය වෙන්නේ.

ඊට අමතරව හදිසි අනතුරු පිළිබඳ තවත් පැත්තක් හෙළිදරව් කරමින් වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා විසින් කරුණු දක්වා සිටි අතර එහිදී හෙළිදරව් වූවේ නොසැලකිලිමත් බව හේතුවෙන් ද මෙරට හදිසි අනතුරු ඉහළයෑමේ ප්‍රවණතාවයක් පවතින බවක්ය.

අපේ රටේ දකින්නට ලැබෙන දෙයක් තමයි වයස අවුරුදු 60/70 අතර පිරිස් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වීම. පය ලිස්සීම හෝ වෙනත් හේතුන් මත එසේ රෝහල්ගත වන අය බහුලව ආබාධයට ලක්වෙන්නේ උකුල් ඇටය බිඳී යෑම හේතුවෙන්. එහෙම රෝහල් ගත වන පුද්ගලයකුගේ උකුල් ඇටය සවි කිරීම පිණිස ලොකු වෙහෙසක් දරන්න වෙනව. ඒ වගේම එක් රෝගියෙක් සඳහා රජය විසින් රුපියල් ලක්‍ෂ 15ක් පමණ වැය කරන්න සිද්ධ වෙනව. බස් රථයට දුම්රියට ගොඩවීමේදී රිය ධාවනයේදී සිදුවන හදිසි අනතුරු ආදියෙන් දිනපතා විශාල පිරිසක් රෝහල් ගත වෙනව. එතන තිබෙන්නෙ නොදැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයක්. තවත් පැත්තකින් බීමත්ව රිය පැදවීම. එතන හැදියාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනව. මේ කුමන තත්ත්වයක් තුළ හෝ හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගත වන රෝගීන් ඉන්නව නම් වෛද්‍යවරුන් වූ අපට ඔවුන් රෝගීන් පමණයි. අපි අපේ උපරිමයෙන් ඔවුන් සුවපත් කිරීමේ කටයුතුවල නිරත වෙනව. මම කලිනුත් සඳහන් කළ සම්මේලනය ඇතුළේ මේ සෑම දෙයක් පිළිබඳවම ජාතික මට්ටමේ සංවාදයක් ඇති කරනව. දැනට අපි ළඟ තිබෙන තොරතුරුවලට අනුව හදිසි අනතුරු සම්බන්ධව ජාතික මට්ටමේ සංවාදයක් පවත්වන පළමු අවස්ථාව මෙය වෙන්නත් පුළුවන්.

හදිසි අනතුරක් සිදුවූ පසු රෝගියෙක් රෝහල වෙත රැගෙන යෑමේදී රෝගියාව කළමනාකරණය කළ යුත්තේ කෙසේද? යනුවෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා එහිදී සඳහන් කර සිටියේ රෝහල් පහසුකම් ඉහළම මට්ටමක පැවතිය ද ඇතැම් රෝගීන් රෝහල වෙත රැගෙන ඒමේදී අනුගමනය කරන වැරදි ක්‍රම හේතුවෙන් සහ අතරමගදී ලබාදෙන ප්‍රථමාධාර සම්බන්ධව බොහෝ දෙනෙක් තුළ පවතින අනවබෝධය හේතුවෙන් යම් යම් ගැටලු පැනනගින බවත් එය රෝගී ජීවිතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක අවස්ථාවන් බවට පත්වන බවත්ය.

අපටත් ගුවන් ගිලන් රථ සේවාවක්

හදිසි අනතුරක් හේතුවෙන් රෝගියෙක් මරණීය අවධානමක ඉන්නව නම් කළ යුත්තේ කුමක්ද මේ පිළිබඳව අදත් සමාජය තුළ නිවැරදි අවබෝධයක් නැහැ. ඒ හේතුවෙන් වසරකට විශාල පිරිසක් මිය යනව. අපේ රටේ පවතින ලොකු අඩුවක් තමයි මාධ්‍ය මගින් මේ පිළිබඳ විධිමත් දැනුවත් කිරීමක් සිදු නොකිරීම. උදාහරණයක් වශයෙන් ඩෙංගු වසංගතය ගමු. වසරකට වරක් දෙවරක් ඩෙංගු පිළිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරනව. ඒක හොඳ දෙයක්. වසරකට අපේ රටේ ජීවිත 150ක් විතර ප්‍රමාණයක් ඩෙංගු හේතුවෙන් මරණයට පත්වෙනව. නමුත් අපේ රටේ මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 3000ක් වගේ පිරිසක් මිය යනව. නමුත් ඒ ගැන කතා කරනව අඩුයි.

ලෝකයේ දියුණු රටවල් මාර්ග අනතුරු ඉහළ යද්දී ඒ පිළිබඳ විමසිලිමත් වෙමින් අනතුරු ප්‍රමාණය අවම කරගත්ත අවස්ථා ඕන තරම් තිබෙනව. ඒ වගේම මාර්ග අනතුරුවලින් සිදුවෙන හානි අවම කරගෙන තිබෙනව. උදාහරණයක් ලෙස මාර්ග අනතුරක් හෝ වෙනත් හදිසි අනතුරක් හේතුවෙන් අධික රුධිරය වහනය වීමක් සිද්ධ වුණොත් එතන ජීවිත අවධානමක් පවතිනව. එහෙම නම් කළ යුත්තේ කුමක්ද? සෑම නිවසකම කර්මාන්ත ශාලාවකම වාහනයක් ගත්තොත් ඒක ඇතුළේ පවා ප්‍රමාණවත් පහසුකම් සහිත ප්‍රථමාධාර කට්ටලයක් තිබිය යුතු වෙනව. අපි දැනටමත් එවැනි ප්‍රථමාධාර කට්ටලයක් රටට හඳුන්වා දීම පිණිස වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නව.

ඉදිරියේදී එය රටට හඳුන්වා දුන්නට පස්සෙ සෑම වාහනයකම ඒ ප්‍රථමාධාර කට්ටලය තිබීම තුළ අනතුරකදී වන අධික රුධිර වහනය නතර කරගන්න පුළුවන්කම ලැබෙනව. සුපර් මාර්කට් එකකදී ඉන්ධන හලකදී එවැනි ප්‍රථමාධාර කට්ටලයක් මිලදී ගන්න කෙනකුට අවස්ථාව ලැබෙනව.

රුපියල් 300ක් වැනි මුදලකට මෙය මිලදී ගන්න පුළුවන්. මේව හඳුන්වා දීම තුළ හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගන්න පුළුවන්කම ලැබේවි.

ඉහත සඳහන් තොරතුරුවලට අමතරව හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් ගුවන් මගින් ජාතික රෝහල හදිසි අනතුරු අංශය වෙත කඩිනමින් රැගෙන ඒම පිණිස ගුවන් ගිලන්රථ සේවාවක්ද මෙරට තුළ ස්ථාපිත කිරීම පිණිස මේ වනවිටදී ඒ සඳහා විශේෂ පුහුණුවක් ලද විශේෂඥ වෛද්‍යවරුන් හෙද හෙදියන් පුහුණු කර ඇත. ඒ පිළිබඳ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණය වූවේ එය ක්‍රියාත්මකකිරීමේදී රෝගීන් ප්‍රවාහනය කිරීමේ ගුවන්යානා පිළිබඳ ගැටලුව නොවන්නට ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ඇතුළු අනෙකුත්පහසුකම් මේ වනවිට ද ජාතික රෝහල හදිසි අනතුරු අංශය තුළ හිඟයකින් තොරව පවතින බවය. එහිදී වැඩිදුරටත් අනාවරණය වූවේ ගුවන්යානා කීපයක් මිලදී ගැනීමට ආයෝජකයෙක් ඉදිරිපත් වීම තුළ මෙරට දියුණු රෝගීන් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ හැකි බවත් ඒ තුළින් සංචාරක කර්මාන්තයේ පමණක් නොව ජාතික සෞඛ්‍ය සේවය තුළ ද ඉහළ දියුණුවක් ඇති කළ හැකි බවත්ය.

මේ සියලු කාරණා සැබෑවක් බවට පත්වීම තුළ ලෝකයේ දියුණුතම හදිසි අනතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මෙරට ඇති කළ හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ ඒ තුළින් සාර්ථක කර ගැනීමට අපේක්‍ෂිත තවත් ඉලක්කයක් බවට පත්වන්නේ මෙරට තුළ හදිසි අනතුරු පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීමය. ඒ අනුව විදෙස් වෛද්‍යවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් ජාත්‍යන්තරය ජය ගැනීම සහ මෙරට හදිසි අනතුරු සේවාව පිළිබඳ ප්‍රතිරූපය ජාත්‍යන්තරව ඉහළ නැංවීම ද එම අපේක්‍ෂිත අරමුණු අතරට අයත්ය.

මේ සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉහළ මැදිහත්වීමක් දක්වමින් ඇත. ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ද සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ ආදී කරුණු කාරණා රැසක් සැබෑවක් බවට පත්කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ඉහත වැඩපිළිවෙළ තුළින් මෙරට හදිසි අනතුරු අවම කරවීම සහ ප්‍රතිකාර සේවාවන්ගේ දියුණු ප්‍රගතියක් ඉදිරියේදී අත්පත් කර ගැනීමට නියමිතය. ඒ සඳහා හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ පුහුණුවක් ලත් වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩල දැනටමත් සූදානමින් පසුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට හදිසි අනතුරු සේවාව ආසියාවේ ක්‍රියාත්මක ඉහළම හදිසි අනතුරු සේවාව දක්වා වර්ධනය වීමට නියමිතය. සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතියක් තුළ හදිසි අනතුරු හේතුවෙන් රෝගීන් 1600ක් පමණ රෝහල් ගත වන බවත් ඒ හේතුවෙන් රජයට දරන්නට සිදුවන වියදම අවම කිරීම පිණිසත් රටේ ජන ජීවිතය ආරක්‍ෂා කර දීම පිණිසත් වඩාත් නිවැරදි හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරි දින කීපය තුළ රට හමුවේ හඳුන්වා දීම සිදුකරන බවත්ය.

විශේෂ ස්තුතිය
ශල්‍ය වෛද්‍ය විශේෂඥ
කීර්ති අබේජීව මහතාට

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment