මරණයෙන් පාඩමක් කියාදී හනී සදහටම සමුගනී

821

නිවසේ මෙහෙකාරිය විසින් පැහැර ගත් ‘හනී’ ගේ කතාව

දඩය රුපියල් ලක්‍ෂයයි

Shin Tzu නම් සුනඛ විශේෂයට අයත් ‘හනී’ මේ වනවිට ජීවතුන් අතර නැත. නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක සුරතලා බවට පත්ව සිටි හනීව පැහැරගත් එම නිවසේ සේවය කළ සේවිකාවක් හනී නම් සුරතල් සුනඛයාව පැහැරගෙන බදුල්ල පිහිටි ඇයගේ නිවස බලා පිටත්ව යන අතර තම නිවසේ ඇති දැඩි වූ හනීගේ හදිසි අතුරුදන්වීම පිළිබඳ නිවසේ හිමිකාරිය විසින් කරන ලද සොයාබැලීමේදී තහවුරු වී ඇත්තේ තම නිවසේ සේවය කළ මෙහෙකාරියක් විසින් හනීව පැහැරගෙන ගොස් ඇති බවය. හනී නම් සුරතල් සුනඛයා සොයාගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ එතැන් සිටය. ඒ සඳහා නිවැසියන් පමණක් නොව මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයද ඊට සහභාගිවූ අතර එම මැදිහත්වීම සිදුවන්නේ නිවැසියන් විසින් මෙම පැහැර ගැනීම පිළිබඳව සිදුකළ පොලිස් පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙසය. දින කීපයක් පුරා කරන ලද පොලිස් විමර්ශන ඔස්සේ හනී මරාදමා ඇති බව තහවුරු කරගත් පොලිසිය එම ඝාතනයේ සැකකාරිය අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කරන අතර එම සුවිශේෂී නඩු කටයුත්ත ඉකුත් 30 දා නිමාවට පත්විය. එහිදී විත්තිකාර කාන්තාව විසින් වරද පිළිගත් බැවින් ඇයව රුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් මත මුදාහැරීමට වැඩබලන මහෙස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය විසින් නියෝග කොට ඇත.

එම සුවිශේෂී නඩු තීන්දුවත් සමග ‘හනී’ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත. ඒ හේතුවෙන් එම අනුවේදනීය සිදුවීමේ සුලමුල සොයාබැලීමේදී හෙළිදරව් වූවේ වනේ වන හතුරෙකුටවත් සිදු නොවිය යුතු විපතක් හේතුවෙන් හනී නම් සුරතල් සුනඛයාට අකල්හී මිය යෑමට සිදුවී ඇති බවත් එම අවාසනාවන්ත ඉරණමට පෙර හනීව බේරාගැනීම පිණිස වෙහෙසකර වූත්, දීර්ඝ වූත් මෙහෙයුමක් සිදුකොට ඇති බවත්ය. වර්තාවන ආකාරයට එම සිදුවීම් මාලාව පෙළගැසෙන්නේ මේ ආකරයටය.

එම විස්තරය අප හා පවසා සිටින්නේ හනීට සෙවණ දුන් නිවසෙහි හිමිකාරිය විසින්ය.

‘එදා මමත් මගේ පුතත් නැගණියත් අපේ පවුලේ අවශ්‍යතාවයක් මත නිවසින් පිටත් වෙනවා. මේ සිද්ධිය වෙන්නේ පසුගිය අප්‍රේල් 10 වැනිදා. ඔය වෙද්දී අපේ නිවසේ කාන්තාවන් දෙදෙනෙක් සේවය කරමින් හිටිය. මේ දෙන්න බදුල්ලේ එකම පවුලක සහෝදරියන් දෙදෙනෙක්. වසර 3 කට ආසන්න කාලයක් අපි ළඟ සේවය කළ හින්දා ඇත්තටම අපි ඔවුන්ව සේවිකාවන් විදිහට සැලකුවේ නෑ. හොඳ වැටුප් ගෙව්වා. අවශ්‍ය කරන අනිකුත් පහසුකම් හැම එකක්ම දීලා තිබුණා. මේ දෙන්නගෙන් අක්කා අප්‍රේල් 10 වැනිදා අවුරුදු නිවාඩුව අරගෙන අපේ ගෙදරින් පිට වෙනවා. ඒ ළමයා කියල ගියේ දවස් පහකින් එනව කියල. මමයි, පුතයි, නංගියි ගෙදරින් පිට වෙන්නේ ඒ ළමයා ගියාට පස්සෙ. ඒ වෙද්දී මගේ අම්මයි අපේ ගෙදර උයන පිහන කටයුතු කරන වයසක කාන්තාවයි, සුභා කියන සේවිකාවයි පමණයි ගෙදර හිටියේ. ඊට අමතරව මගේ ගෙදර වැඩ කටයුතුවල උදව්වට උදේ ඇවිත් හවස පිටත්වෙලා යන තවත් කාන්තාවක් ඉන්නවා. එයත් එදා ඇවිත් හිටියා සිංහල අවුරුද්දට කෑම හදන්න. මේ හතර දෙනාට අමතරව අපි නිවසින් පිටත්ව යද්දී ‘හනී’ මගේ ළඟ දැවටෙමින් හිටියා.”

එලෙස තම නිවසින් පිටත්ව යන ඔවුන් නැවත නිවස වෙත පැමිණ ඇත්තේ එදින රාත්‍රී 8.30 ට පමණය. එහෙත් වෙනත් දිනයන් හී එලෙස පැමිණි විගස තමන් පිළිගැනීම පිණිස පෙරමගට එන ‘හනී’ එදින දකින්නට නොලැබීම පිළිබඳව විමසිලිමත්වන නිවැසියන් හනී පිළිබඳ සොයාබලන අතර හනී පිළිබඳ කිසිම හෝඩුවාවක් හමුවී නැත.

“ගේ ඇතුළේ වත්තෙ පිටියේ හැම තැනම බැලුවා. හනී නෑ. මම පාරට බැහැල අවට සෝදිසි කළා. ඒ වෙලාවේ පුතා කිව්වා CCTV චෙක් කරල බලමු කියලා. ඒ බලද්දී අපි දැක්කා හවස 7.00 වෙද්දීත් හනී ගේට්ටුව ළඟ ඉන්නව. ගෙදර හිටිය සේවිකාව (සුභා) හනීව එළවනව. සතා කාර් පාර්ක් එකෙන් ඇතුළට එනවත් පේනව. තව ටික වේලාවකින් සුභා ගේට්ටුවෙන් එළියට යනවත් පේනව. ඔය සිද්ධිය වෙද්දී රාත්‍රී අටට විතර ඇති. එතනදී තමයි අපි තීරණය කළේ සුභා තමයි හනීව අරන් ගියේ කියල. සුභා අවුරුදු නිවාඩුවට ගෙදර යන්න හිටියේ අප්‍රේල් 12 වැනිදා. නමුත් අපි ගෙදර නැති වෙලාවේ 10 වැනිදා එයත් ගෙදර යන්න ඇති කියල හිතාගෙන මම එයාට දුරකථන ඇමතුමක් දීල අහනව හනීව ගෙනාවද එයාට මොකද වුණේ කියල. ඒ වෙලාවේ සුභා කියනවා ‘මම ගෙනාවේ නෑ’ කියල. නමුත් අපි කැමරාවලින් දකිනව ලොකු බෑග් දෙකක් අරන් සුභා ගෙදරින් පිටවෙනවා. ඒ අනුව තමයි අපි නිගමනය කරන්නේ සුභා තමයි හනීව පැහැරගෙන යන්නෙ කියල. අපිට වෙන කරන්න දෙයක් ඒ වෙලාවේ නොතිබුණ හින්ද මම වාහනයක් දීල අපේ හිතවත් කෙනෙක්ව එදා රෑම බදුල්ලට යැව්ව. සුභා සතාවත් අරගෙන බදුල්ලේ එයාගේ ගෙදරට ගියොත් එහෙට ගිහින් හරි හනීව නැවත ගේන්න කියල.”

තම නිවසේ සුරතලා වූ හනී පිළිබඳ උපන් අප්‍රමාණ ඇල්ම හේතුවෙන් තම පෞද්ගලික වාහනයක් බදුල්ලට පිටත්කර හරින නිවස හිමි කාන්තාව ඉන් නොනැවතී පසුදින එනම් අප්‍රේල් 11 වැනි දින මේ සිදුවීම පිළිබඳ මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන අතර හනීගේ අතුරුදන්වීම පිළිබඳ පොලිස් පරීක්‍ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ පරීක්‍ෂණ අංශය එම නිවසට පැමිණ CCTV දර්ශන පරීක්‍ෂා කර බලන අතර එහිදී ඔවුන් මූලික නිගමනයකට එළඹෙමින් තීරණය කර ඇත්තේ එම නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ කාන්තාවක් විසින් හනී පැහැරගෙන යන්නට ඇති බවය.

ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් විස්තර කරමින් නිවෙස් හිමි කාන්තාව සඳහන් කර සිටියේ පොලිස් පරීක්‍ෂණ සිදුවන අතර තුරදී හනීට සිදුවූ විපත පිළිබඳව තමන් පෞද්ගලිකව සොයා බැලීමක් සිදුකළ බවය.

ඇත්තටම අපේ රටේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ සොයා බැලීම් හරි අඩුයි. නමුත් මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපතිතුමා අමිල ගෝවින්න ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව ලොකු උනන්දුවකින් කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි හනී අතුරුදන් වූවේ කොහොමද ඉන් අනතුරුව ඒ සතාව මරණයට පත්වුණේ කොහොමද කියන කාරණා පිළිබඳව ඇත්ත තත්ත්වය අපි දැන ගත්තේ. නමුත් ඒ අතරතුර කාලය ඇතුළත අපි හැම තැනම හනීව සොයා බැලුවා. හනී කියන්නේ පිටස්තර අයට බල්ලෙක් වුණත් මට දරුවෙක්. කතා කරන්න බැරිකම විතරයි තිබුණේ. රුපියල් ලක්‍ෂ දෙක තුනක් වියදම් කරල හරි එයාව බේරාගන්න තිබුණ නම් අපි ඒක කරනව. මම ජීවිතේ පළමු වතාවට පිටකොටුව බස් නැවතුමට ගිහින් සතාට මොකද වුණේ කියල හොයල බැලුවා. මොකද අපේ පවුලේ හිතවතෙක් බදුල්ලේ සුභාගේ ගෙදරට ගිහින් හනී ගැන අහද්දීත් එයා කියල තිබුණා හනීව ගෙනාවේ නැහැ ඕන නම් අර පාරේ ඉන්න බල්ලෙක්ව අරන් ගිහින් මැඩම්ට දෙන්න කියල. ඒ හින්ද මම හිතුව සුභා පිටකොටුවේ බස් නැවතුමේ හනීව අතරමං කරල දාලා යන්න ඇති කියල. ඒකයි මම පිටකොටුවට ගිහින් බදුල්ල බස්වල වැඩකරන ඩ්‍රයිවර් කොන්දොස්තර මහත්වරුන්ගේ නම් ගම් ටෙලිෆෝන් නම්බර් හොයාගෙන ඒ අයගෙන් හරි විස්තරයක් දැනගන්න උත්සාහ කළේ. ඒ වෙලාවේ තරුණ ළමයෙක් මගේ ළඟට ඇවිත් ඇහුව ඇයි ඒ අයගෙ ටෙලිෆෝන් නම්බර් හොයන්නෙ කියල. ඒ වෙලාවේ මම කිව්ව මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා.

එතැනදී ඒ ළමයා කිව්ව ඊයෙ හවස (අප්‍රේල් 10) බල්ලෙක්වත් අරන් කාන්තාවක් බදුල්ල බස් එකකට නගිනව දැක්ක කියල. සුභා ඇඳගෙන හිටිය ඇඳුමෙ පාට පවා ඒ ළමය කිව්ව එහෙම තමයි ඒ ළමයා මේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් බවට පත්වන්නේ.

ඒ අනුව තවදුරටත් ක්‍රියාත්මක වන මිරිහාන පොලිස් අපරාධ පරීක්‍ෂණ අංශය නිවසෙහි සේවය කරන ලද මෙහෙකාරියන් දෙදෙනාට අප්‍රේල් 17 වැනි දින පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණෙන මෙහෙකාරියන් දෙදෙනා එහිදී ද ප්‍රකාශ කර සිටින්නේ හනී නම් සුනඛයාව ඔවුන් විසින් පැහැර නොගත් බවත් අභූත චෝදනාවක් නගමින් තමන්ව වරදකරුවන් බවට පත් කිරීම පිණිස නිවෙස් හිමියන් විසින් කටයුතු කරමින් සිටින බවත්ය. එහෙත් දිගින් දිගටම සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් අවසානයේදී සඳහන් කර සිටින්නේ තමන් එතෙක් දිනක් සේවය කළ නිවසේ සුරතලා බවට පත්ව සිටි හනී නම් සුනඛයා පැහැරගත් බවත් අවසානයේදී නීතියෙන් බේරී සිටීම පිණිස එක්තරා ස්ථානයකදී මරා වළ දැමූ බවය.

“ඇත්තටම ඒ ආරංචිය ලැබුණට පස්සෙ මම දැඩි කම්පනයකට පත් වුණා. මගේ ගෙදර සේවය කළ කෙනෙක් විසින් නේද මේ අපරාධය කළේ කියල. එයාට සතෙක් ඕන නම් මට අරන් දෙන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. ඒ වෙලාවේ සුභා මගේ කකුල් දෙක ළඟ වැටිලා වැඳල කිව්ව සමාව දෙන්න කියල. නමුත් සුභා කරල තිබුණේ මහා අපරාධයක් නිසා මම එයාට කිව්ව මගේ වෙන දෙයක් ගත්තනම් සමාව දෙන්න තිබුණ. නමුත් මේ අපරාධයට සමාව දෙන්න බැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියල.

ඊට පස්සෙ මගේ පුතා සහ පොලිසියේ මහත්වරු දෙන්නෙක් සුභාගෙ අක්කත් එක්ක නැවත බදුල්ලට යනව. ඒ ගිහින් හනීව වළදාපු තැන හොයාගෙන සිරුර ගොඩ අරගෙන කොළඹ ගේනව. හනීගේ අවසන් කටයුතු සිදුකළේ මගේ ගෙදර. පොලිසිය විසින් සුභාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ මොනදේ කළත් හනීව නැවත ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සතාට කරන සාධාරණයක් ලෙස නීතියවත් ක්‍රියාත්මක විය යුතුයි කියන මතයේ මම දිගින් දිගටම හිටියා.

ඒ අනුව හාලිඇල උණගොල්ලවත්ත මොරගොල්ල කොටසේ පදිංචි ඥානසේකරම් සුභාෂණී හෙවත් සුභා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන අතර එහි පැමිණිලිකාරිය බවට පත්වන්නේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන මේකලා ඉරුගල් බණ්ඩාර නම් තැනැත්තියක්ය. ඉකුත් 30 දා පැවති නඩු කටයුත්තේදී සැකකාර කාන්තාව විසින් අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් ලක්‍ෂයක දඩ මුදලකට යටත්ව ඇය නිදහස ලබන ලදී.

එම නඩු කටයුත්ත පිළිබඳව පැමිණිලිකාරියගෙන් අප කරන ලද විමසීමක පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ අධිකරණය විසින් හෝ තම සුනඛයාට සාධාරණයක් ඉටුවීම සැනසුමට කරුණක් මෙන්ම සත්ව හිංසනය නතර කිරීම පිණිස අධිකරණය විසින් ගත් හොඳ තීරණයක් ලෙස තමන් එය සලකන බවත් අදාළ දඩ මුදල වූ රුපියල් ලක්‍ෂය සත්ව ආරක්‍ෂාව පිණිස කටයුතු කරන සංවිධානයක් වෙත ලබාදීමට ඇය විසින් දැනටමත් තීරණය කර ඇති බවත්ය.

අපට වගේම සතුන්ටත් අයිතිවාසිකම් කියල කොටසක් තිබෙනවා. ඒ දේවල් අහිමි වෙන ඕනෑම වෙලාවක ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස අපි නැගී සිටින්නට ඕන. මම ඒක කළා. මගේ උනන්දුව දැක්ක පොලිසිය ඒ සඳහා ලොකු සහයෝගයක් දුන්නා. ඒ නිලධාරීන් සැමට මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා. මම මේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව නම් ඒ ඕනෑම වෙලාවක ඊට එරෙහි වන්න කියලා. මම කළේ කාගෙන්වත් පළිගැනීමක් නොවෙයි.

ඇය පවසන දෙස මුළුමනින්ම සැබෑවක්ය. තරිසනකුට වුවද නිදහසේ ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුය. එය ඇස්පනා පිට උල්ලංඝනය වේ නම් ශිෂ්ට සමාජයක් ලෙස අප ඒ සඳහා පෙනී සිටිය යුතුය. තිරිසනාගෙන් මිනිසා වෙන්කොට හඳුනාගත හැකි වන්නේ එම ශිෂ්ටත්වයේ ප්‍රමාණය අනුවය. ඇය එය තම ක්‍රියාවෙන් පෙන්වාදී ඇත.

විශේෂ ස්තූතිය
ගිහාන් දිනුෂ්ක මයා/බව් බව් සංවිධානය

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment