රටේම ජනතාවට 18% වැට් බද්දක්..

ඉතිං පඩිය වැඩිකළාට වැඩක් වෙයිද?

වැටුප් අරගලයට අවතීර්ණය

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකර ගැනීමේ අරගල නැවත කලඑළි බසිමින් පවතී. ඒ සඳහා මූලික විරෝධතා දිවයින පුරා මෙන්ම බොහෝ වැඩබිම්වල, කාර්යාල ඉදිරිපිට පැවැත්වීම පුළුල්ව දක්නට ලැබේ. පවතින ආර්ථික අර්බුදයන් හමුවේ රාජ්‍ය සේවකයාට ලැබෙන්නේ වසර කිහිපයකින් වැඩි නොවූ වැටුපකි. එහෙත් රාජ්‍ය සේවකයා තම සේවය ලබාදීම සඳහා දැරිය යුතු වියදම සෑම අතින්ම වැඩි වී ඇත. රාජ්‍ය සේවකයා හොඳට ඇඳ පැළඳිය යුතුය. ඒ සඳහා නීතිරීති මෙන්ම සමාජ බලපෑමක් ද පවතී. බහුතර රාජ්‍ය සේවකයන් තම කාර්යාලයට පැමිණෙන්නේ පොදු ප්‍රවාහන සේවාවන් උපයෝගී කරගෙන වේ. පොදු ප්‍රවාහන සේවාවන්වල පවතින දුර්වලතා මත බොහෝ දුරට තම නිවසට යෑම සඳහා වෙනත් පෞද්ගලික ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට සිදු වේ. පොදු වාහනවල තැලී පොඩිවී ගමන් කොට රෑ බෝවූ පසු නිවසට යෑම සඳහා ත්‍රීවිල් එකකට ගෙවිය යුතු මිල ඉතා අධික වී ඇත. එම අවම ගාස්තුව රුපියල් 100ක් වුවද දිනපතා වියදම් කිරීම බරපතළ ගැටලුවකි. ආහාර, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන හා වෙනත් බොහෝ අත්‍යවශ්‍ය දේ වර්තමානයේ ඉතා ඉහළ ගොස් ඇත. රාජ්‍ය සේවකයාගේ පමණක් නොව සෑම පුරවැසියකුට අධික ජීවන බරක් ඉසිලීමට නොහැකිව අනේක විද මැසිවිලි නඟන සමාජයක් නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය සීමිත ආදායමක්, වැටුපක් ලබන රාජ්‍ය සේවකයාට ඉසිලිය නොහැකි බරක් වී ඇති බැවින් වර්ධනය වන වැටුප් අරගලයන් රාජ්‍ය සේවාවන් තුළින් නිර්මාණයවීම බොහෝ අතින් සාධාරණ වේ.

අයවැය හා වැටුප් අරගල

රාජ්‍ය සේවයට රුපියල් විසිදහසක්!

වර්ෂ අවසානයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් වන ඉව මතද වෘත්තීය සමිති වැටුප් අරගල උත්සන්න කරනු ලබයි. වෘත්තීය සමිති අරගල වැඩිවීම මත ඉදිරි අයවැය මගින් කුමණ හෝ ආර්ථික සහනයක් ලබාගැනීම සඳහා රාජ්‍ය සේවා ඒකාබද්ධ අරගල වැඩි දියුණු වේ.

ඉල්ලන මස් රාත්තලම නොලැබුණත්, මේ අනුව කිසියම් හෝ සහනයක් රාජ්‍ය සේවකයාට ලැබීමට ඉඩ ඇත. ඒ පිළිබඳ යම් යම් දේශපාලන නායකයන් සුබවාදී අදහස් ඉදිරිපත් කළත්, සමහර දේශපාලන නායකන් අදහස් කරන්නේ මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බවයි. කෙසේ වුවද කිසියම් වූ හෝ සහනයක් ලැබීමට නම් අරගලය ශක්තිමත්ව කළ යුතු බව දන්නා වෘත්තීය සමිති පූර්ව අයවැය අරගල සමය අරඹා ඇත.

වැටුප් හෝ දීමනා වැඩිකර

ගැනීමේ වෘත්තීය සමිති අරගලයන් ආණ්ඩුවේ පවතින ආර්ථික නොහැකියාවන් අතර කඹ ඇඳීම තුළ හා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති තුළ පවතින දේශපාලන මතවාද මත අවසානයේදී කන්දක් විළිලා මී පැටියකු හෝ බිහිවනු ඇත. ඉතිහාසය පුරාම පූර්ව අයවැය අරගලවලින් රාජ්‍ය සේවකයාට ප්‍රමාණවත් සහනයක් නොලැබීම මෙවර ද සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

අයවැය, මැතිවරණ හා වැටුප්

ඉදිරි වසර මැතිවරණ වසරක් බව සමාජයේ බොහෝදෙනා දන්නා දෙයකි. රාජ්‍ය සේවකයාට හා විශ්‍රාමිකයාගේ කරමත සහනයක් ලැබීමට මෙම කාලීන සබඳතාවය ද හේතු විය හැක. වත්මන් ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩු සන්ධානය ද නැවත බලයට පැමිණීම පිළිබඳ උපායමාර්ග සොයමින් සිටින අතර රටේ අනාගතය කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය දිනා නැවත බලය තහවුරු කර ගැනීමට මෙම අයවැය ද භාවිතා කළ හැකි බවට පුරෝකථනයක් කළ හැක. රජය විසින් සාමාන්‍ය දුප්පත් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රකාශ කරමින්, දුප්පත් පවුලකට රුපියල් 15,000 ක් ලබාදීම තුළ ද දේශපාලන අභිමතාර්ථ ඇතුළත්ව පවතී.

ශ්‍රී ලංකාවේ බලය ලබාගත හැකි ප්‍රධාන ප්‍රවේශයක් වන්නේ දිළිඳුකමට පැලැස්තර දැමීමයි. එමෙන්ම රජයේ සේවකයාට හා විශ්‍රාමිකයාට ද යම්කිසි සහනයක් ලබාදීම ද පූර්ව මැතිවරණ අයවැයවලින් බලාපොරොත්තු විය හැකි දෙයකි. රාජ්‍ය සේවය තුළ ලක්ෂ 10 ක පමණ පිරිසක් මගින් අවම වශයෙන් ඡන්ද ලක්ෂ 25 ආමන්ත්‍රණය කිරීමටත්, ලක්ෂ 6 ක් පමණ විශ්‍රාමික ප්‍රජාව මගින් ඡන්ද ලක්ෂ 15 ක්වත් අවම වශයෙන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ද ආණ්ඩුව සලකා බැලීමට ඉඩකඩ මෙම අයවැය තුළ පවතී. ඒ අනුව ද රාජ්‍ය සේවකයාට කිසියම් ආර්ථික සහනයක් ලැබීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව පුරෝකථනය කළ හැක. කෙසේ වුවද පසුගිය කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ප්‍රවණතාවය වන්නේ වෘත්තීය අරගලයන් අඩපණ කළ හැකි, දේශපාලන වාසියකුත් ලබාගත හැකි මාදිලියේ විසඳුම් මාර්ග වෙත වේ. පසුගිය කාලයේ ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වූ ගුරු වැටුප් ගැටලුවට රජය ලබාදුන් විසඳුම වූයේ ඉල්ලීමෙන් කොටසක් ලබාදී අරගලය සමනය කර ගැනීමයි. දැනට කලඑළි බැස ඇති රුපියල් 20,000 ක දීමනා හෝ වැටුප් වැඩිවීමේ අරගලයට ගුරු විදුහල්පති අරගලයේ ඉතිරි තුනෙන් දෙක (2/3) එකතු කර වෘත්තීය අරගලය ශක්තිමත් කිරීමට ගුරුවරුන් අදාළ වෘත්තීය සමිති සමග පෙරමුණ ගනිමින් සිටී.

වෘත්තීය සමිති වහසි බස්

ශ්‍රී ලංකාවේ බොහෝ වෘත්තීය සමිති වාමාංශික ප්‍රවණතාවක් හා සංකලනයක් සහිත වන අතර වෘත්තීය අරගලවලදී වහසි බස් හෝ චණ්ඩි පාට් දැමීම සම්ප්‍රදායක් ලෙස සිදු කරයි. “අපි ආණ්ඩුවට මේ වතාවේ පාඩමක් උගන්වනවා”, “ආණ්ඩුව ධන ගස්සනවා”, “අපිත් එක්ක සෙල්ලන් බෑ” ආදී සටන් පාඨ මෙන්ම පවතින රජයට සිදු කරන විවිධ අභියෝගාත්මක සටන් පාඨ ඉදිරිපත් කරනු ලබයි. අරගලවලදී පිකටිං කිරීම සඳහා සම්ප්‍රදායික දේශපාලන වහසි බස් හා දේශපාලන සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය, රජයේ ආයතන වැටලීම් ආදියට පෙළඹී කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරවලට මුහුණ දීමට වෘත්තීය සටන්වල එක්තරා මූලික මාධ්‍ය ජවනිකා බවට පත්වී ඇත. වෘත්තීය සමිති අරගල සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලින් මර්දනය කළ නොහැකි තත්ත්වයන්වලදී රාජ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීම හෝ සේවයෙන් ඉවත් කිරීම වැනි රජයේ ක්‍රියාමාර්ග මගින් දුර්වල වන වෘත්තීය සමිති අරගල ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ පවතී. හැමදාම එකම ආකාරයේ වෘත්තීය අරගල සංස්කෘතියක් ද, ඉල්ලන සෑම දෙයක්ම නොදී කොටස් වශයෙන් ප්‍රශ්න විසඳන හෝ අරගල අඩපණ කරන ක්‍රමවේදයක් ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට සම්බන්ධ වෘත්තීය අරගලය සමග සබඳතාවක් දක්වයි. ඇති ප්‍රශ්න හෝ නැති ප්‍රශ්න සමග විවිධ අරගල ඇති කිරීමත්, ඒ සඳහා සාධනීය විසඳුම් නොදී අරගල යටපත් කිරීමේ අත්දැකීම් තුළ විද්‍යමාන වන්නේ වෘත්තීය සමිතිවලට හා රජයට ද රාජ්‍ය සේවාවන් ජනතාව වෙනුවෙන් හා ජනතාවාදීව ශක්තිමත් කිරීම සඳහා ඉතිරි වී ඇති බරපතළ කාර්යයන් තවදුරටත් පවතින බවයි.

අර්බුදය, දේශපාලනය හා රාජ්‍ය සේවය

බහුතර ජනතාවකට ජීවත්වීම සැබෑම අරගලයක් වී ඇති වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පවතී. නිදහසින් පසු ආර්ථික, සමාජ හා දේශපාලනමය කළමනාකරණය තුළ පැවති දුර්වල හා අකාර්යක්ෂම සබඳතාවය ක්‍රමයෙන් ශ්‍රී ලංකාව අතිශය ශෝචනීය තත්ත්වයකට ඇද දමා ඇත. මෙම තත්ත්වයට දේශපාලනය මෙන්ම රාජ්‍ය සේවය ද වගකිවයුතු බව සාමාන්‍ය පිළිගැනීම බවට පත්ව ඇත. තවදුරටත් සම්ප්‍රදායික ප්‍රතිශතයක් මගින් විසඳුම් සෙවීමට නොහැකි ආර්ථිකයක් හා සමාජයක් ශ්‍රී ලංකාවට උරුම වී ඇත. ශ්‍රී ලංකාව දෙතනේ කිරි හිදී ගිය මවක් වැනිය. සිය පැටවුන්ට කිරි දිය නොහැකි වැහැරුනු එළදෙනෙක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. වෘත්තීය සමිති හෝ විශ්වවිද්‍යාල සිසුන් හෝ වෙනත් සමාජ බලපෑම් කණ්ඩායම් ඉල්ලන ඉල්ලන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ලබාදිය හැකි ආර්ථිකයක් අපට නොමැත. සෑම තැනම දැකිය හැක්කේ විසඳුම් නොමැති ගැටලු කන්දරාවක් වේ. ඒ සඳහා දැමිය හැකි පැලැස්තර විසඳුම් ද නොමැති තරම්ය. ඒ අනුව පවතින ගැටලු හඳුනාගෙන ඒ සඳහා සාධනීය විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් වෙත ප්‍රවේශවීමේ වගකීමක් හා වගවීමක් පාලක හා පාලිත දෙපාර්ශ්වයටම පවතී. ඉල්ලීම් ලබාගත යුතු වුවත්, ඒ සඳහා පවතින යථාර්ථයන් තේරුම් ගනිමින් කිසියම් එකඟතාවක් ගොඩනඟා ගනිමින්, සම්ප්‍රදායික ප්‍රතිශතයන්ගෙන් බැහැරව විසඳුම් සෙවීමේ යථාර්ථයට මුහුණ දිය යුතු වේ. මේ සඳහා මූලික වගකීමක් රජයට මෙන්ම රාජ්‍ය සේවයට ද ඇති බව ප්‍රමුඛව විශ්වාස කළ යුතුව ඇත. මස් රාත්තලම ලබාදිය නොහැකි ආර්ථිකයක්, දූෂණයෙන් පිරුණු සමාජයක්, ආකාර්යක්ෂම බවට පිළිගත් රාජ්‍ය සේවයක් සහිත රටක් සමාජයක් ඉතිරි වී ඇති යුගයක වෘත්තීය සමිති කාර්ය භාරය ද ඒ අනුව ප්‍රති නිර්මාණය විය යුතුය.

20,000 අරගලයට කුමක් වේද?

නිර්මාණය වී ඇති 20,000 වැටුප් අරගලය අයවැය ඉදිරිපත් කිරීම දක්වා නගිමින් බසිමින් පවතිනු ඇත. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වෘත්තීය සමිති නායකයන් පුරුදු පරිදි දුම්රියපොළ ඉදිරිපිට, ලිප්ටන් වටරවුම හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල කඳවුරු බඳිනු ඇත. විවිධ ස්ථානවල ඉල්ලීම් සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායම් ජනාධිපත ලේකම් කාර්යාලයට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යනු එනු ඇත. සුපුරුදු වෘත්තීය සමිති නායකයෝ පිකටිං හෝ විරෝධතා ඉදිරියේ සටන් වීරයන් වනු ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය ද මේ සඳහා බොහෝදුරට අත්වැල් බැඳගනු ඇත. පොලිසිය හෝ හමුදාව මෙම සටන් අවහිර කරනු ඇත. බැරිම වුණොත් කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල කරනු ඇත. මාධ්‍යකරුවන්ගේ කැමරා ඉදිරියේ තාවකාලිකව මේ සටන ඉවර නොමැති බව පවසනු ඇත. සමහර විට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ද කැඳවනු ඇත. රජය අත්‍යවශ්‍ය සේවා බවට පත්කළ පසු බොහෝ දෙනෙකුට රැකියාව අහිමිවීමේ බිය මත පස්සා දොරෙන් නැවත සේවයට යනු ඇත. වෘත්තීය සමිති නායකයෝ පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව සිය වෘත්තීය සමිති කාර්යාලවලට නැවතත් පසු බසිනු ඇත. ජනතාව මේවා එතරම් උනන්දුවෙන් නරඹන්නේ ද නැත. මේවා සාමාන්‍ය ප්‍රවෘත්ති ලෙසට ඒකකාරී විසඳුමක් නැති අරගල බවත්, දෙපැත්තෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය මහජනතාව බවත් සමාජයේ පවතින මතය, අදාළ මාධ්‍ය ප්‍රචාර ඔස්සේ තවදුරටත් තහවුරුව ලැබෙනු ඇත. 20,000 එලෙසම දී ආණ්ඩුව වෘත්තීය සමිති සැනසීම සිදු නොවනු ඇත. සිදුවන්නේ නම් එය ඉතාමත් අගය කළ යුතුය. ඒ අනුව ආණ්ඩුවටත්, වෘත්තීය සමිති නායකයන්ටත් හොඳටම ලකුණු වැටෙනු ඇත. එහෙත් අතීතයේදී හෝ දන්නා තරම් කාලයක වෘත්තීය සමිති පූර්ණ ජයග්‍රහණය නොලබා ඇති නිසා මෙවර ද එය එලෙසම නොලැබෙනු ඇත.

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

අපේ වගේ ආණ්ඩු මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාර ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. එබඳු ජනතාවක් ද කොහෙත් නැත. අසාර්ථක බව දැන දැනම නැවත නැවත බලයට පත්වෙන ආණ්ඩු හා ඇමැතිවරු ලෝකයේ කිසිම රටක නැත. එමෙන්ම නොදෙන බව දැන දැනම විරෝධතා දක්වන රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය ව්‍යාපාර කොහේවත් නැත. අපේ තියෙන බොහෝ දේවල් අසාර්ථක මොඩලයක් බවට දැන දැනම ඒවා තවදුරටත් ගෙනියන හා පවත්වාගෙන යන සම්ප්‍රදායක් කොහේවත් නැත. ප්‍රතිසංස්කරණ නිසා ජනතාව රැවටීම් මෙන්ම රාජ්‍ය සේවය රැවටීම් සාමාන්‍ය දෙයක් වී ඇත. වෘත්තීය සමිති ව්‍යාපරය ද සම්ප්‍රදායික ඉල්ලීම් මානසිකත්වය මත තම සාමාජිකයන් ගොනාට අන්දවා පූර්ණකාලීනව සේවයෙන් නිදහස් වී අරගල කිරීම පමණක් තම රැකියාව බවට පත්කරගෙන පවතින ක්‍රමයකට හැඩගැසී ඇත. සියලු පාර්ශ්වයන් මේ අනුව පූර්ණ ජයග්‍රහණ නොව පැලැස්තර විසඳුම් මත ජනතාවත් සාමාජිකත්වයත් රවටමින් සිටීම අත්දැකීමට හැක.

අලුතින් සිතීම

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සිය කාලය, ශ්‍රමය බොහෝදුරට නොලැබෙන දේ සඳහා වැය කරති. කන්දක් විළිලා මී පැටවුන් බිහිකර වීරත්වය අපේක්ෂා කරති. සිය වෘත්තීය අරගල මුවාවෙන් වෘත්තීය සමිති ශක්තිය ගණිකා වෘත්තියේ යොදවති. අරගල හෝ වෘත්තීය ක්‍රියාමාර්ග යථාර්ථය තේරුම් නොගත් දේශපාලන න්‍යායපත්‍රයන් හා බැඳී පවතී. පැවති රජයන් මෙන්ම පවතින රජය ද රාජ්‍ය සේවය සඳහාත්, ඒ මගින් ආර්ථිකය හා සමාජය ප්‍රතිනිර්මාණය කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිකර්ම හා ප්‍රතිසංස්කරණයන් වචනවලට සීමාකොට ඇත. එසේ නැත්නම් රජය ද දේශපාලන බලය පිළිබඳ ව්‍යාපෘතිය තුළ පවත්නා රාජ්‍ය සේවයට හිර කොට ඇත. නිය පොත්තෙන් කැඩිය හැකිව තිබූ බොහෝ ගැටලු පොරවෙන් හෝ කැපීමට බැරි මට්මට රාජ්‍ය සේවයත් වෙනත් බොහෝ සමාජ ආර්ථික ගැටලුත් මහා වෘක්ෂයන් බවට පත් කොට ඇත.

කෙටි කාලීනව යම් යම් ඉල්ලීම් දිනාගත්තත්, රජය විසින් යම් යම් පැලැස්තර මගින් විසඳුම් ඉදිරිපත් කළත් දීර්ඝ කාලීනව ප්‍රතිඵලදායක ප්‍රවේශයක් සඳහා රජය මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය ද අලුතින් සිතීමේ කාලය දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇත. අලුතින් සිතීමට හා ක්‍රියාකිරීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති මෙන්ම රාජ්‍ය සේවකයා ද හරිමගට ගැනීමට විශ්වාසයක් ගොඩනැගිය යුත්තේ අවංක දේශපාලන නායකත්වයක් මගිනි. ඒ සඳහා බුද්ධිමය සංවාදයක් හා ක්‍රියාකාරී යොමුවක් ගොඩනැඟිය යුත්තේ මූලිකව රජයේ පාර්ශ්වය මගිනි. එවැනි යාන්ත්‍රණයක් හෝ පෙළඹවීමක් දේශපාලන කළමනාකරණයකි. එය සැබෑ සංවර්ධන මාවතකට අවතීර්ණවීමකි. ඒ මගින් ඉල්ලීම් දිනා ගැනීමට කරන අරගල වෙනුවට ඉල්ලීම් ලැබෙන ආර්ථිකයක් හා සමාජයක් නිර්මාණය කළ හැකි වනු ඇත.

20,000 ලබාදිය හැකි මග?

වෘත්තීය සමිති ඒකාබද්ධව 20,000 ක් ඉල්ලයි. පවතින ජීවන අරගලය ඔස්සේ එය සාධාරණ බව රාජ්‍ය නිලධාරියකුගේ පැත්තෙන් කල්පනා කිරීමෙන් සාධාරණය කළ හැක. ආණ්ඩුව එය ලබාදෙමින් කිසියම් එකඟතාවක් ඇති කර ගනිමින් රාජ්‍ය සේවය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අඩි පාරක් කපාගත හැක. එම අඩි පාර මත ගමන් කොට රාජ්‍ය සේවය මෙන්ම සමස්ත ආර්ථිකයම සංවර්ධනය කළ හැකි අධිවේගී මාර්ගයකට රජයට රාජ්‍ය සේවය සමග පිවිසිය හැක.

රාජ්‍ය සේවය ප්‍රමාණවත් කිරීම

රජයේ සේවය ප්‍රමාණය අධික බව සමාජ විශ්වාසය මෙන්ම දැකිය හැකි යථාර්ථයයි. මා සේවය කළ බොහෝ ආයතනවල ඒ සඳහා විද්‍යාත්මක විමර්ශනයක් මා විසින් සිදුකර ඇත. නිසි අධ්‍යයනයක් සිදු කරන්නේ නම් සමස්ථ රාජ්‍ය සේවය තුනෙන් දෙකක් අඩුකළ හැක. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පමණක් 40% ක් රාජ්‍ය සේවකයන් අඩු කළ හැක. ස්වදේශ කටයුතු අංශයේ සේවය කරනු ලැබූ කාලයේදී එම අංශය සඳහා අනුමත කාර්ය මණ්ඩලය එබඳු ප්‍රමාණයකින් අවම කරනු ලැබූහ. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවකයන් 27,000 ක් පමණ සේවය කරයි. බොහෝ දෙනා පිළිගන්නා පරිදි එය විශාල පිරිසක් රජයේ මුදලින් නඩත්තු කිරීමකි. ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරීන් 8000 ක් ප්‍රමාණවත් වේ. එය විද්‍යාත්මක සමීක්ෂණයක් මගින් තහවුරු කර ඇත. රාජ්‍ය සේවයේ ඕනෑම කාර්යාලයකට ගිය පසු සේවකයන් වැඩි බව මූලික තීරණය වේ. රුපියල් 20,000 ක් ලබාදීමේ එකඟතාවය මත ඉතාමත් විද්‍යාත්මක කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවය නිසි ප්‍රමාණයට ගැනීමේ උපායමාර්ගයකට රජයට පැමිණිය නොහැකිද? දේශපාලන පත්කිරීම් මත පෝෂණය වූ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව නිසි ප්‍රමාණයට ගෙන ඒම සඳහා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සමග එකඟතාවකට පැමිණීමට වෘත්තීය අරගල සමග රජයට මාර්ගය පෑදි ඇත. රාජ්‍ය සේවය කලක් පළාත් රාජ්‍ය සේවය තුළත් ඉතාමත්ම අවශ්‍ය ප්‍රමාණය ගණන් බැලීම සඳහා විද්‍යාත්මක මානව සම්පත් කළමනාකරණ ප්‍රවේශයක් හඳුන්වාදීම දීර්ඝ කාලීන අවශ්‍යතාවක් වන අතර, දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව එකඟතාවයෙන් එය ඉටු කර ගැනීමට හා කල දුටු කල වළ ඉහගැනීමට රජයට හැකියාව ඇත. 20,000 න් ඔබ්බට ගිය වරප්‍රසාද ලබාදීමට ද අවස්ථාව උපයෝගී කර ගැනීමට ද මෙය දෙපාර්ශ්වයට වාසි ලැබෙන පරිදි ගැටගසා ගතහැකි වනු ඇත.

ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ඉඩක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ප්‍රමාණය මෙන්ම ඵලදායි නොවූ ආයතන නිලතල ආදිය අවම කිරීම හෝ අවසන් කිරීමේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම ද ප්‍රමාද වී ඇති සෙයකි. ඵලදායි ලෙස අරමුණු ඉටුකර ගතහැකි ප්‍රමාණවත් ආයතනික ප්‍රතිසංස්කරණයක් තුළින් රජයේ පිරිවැය අවමකර ගැනීම මගින් ද වඩාත් උචිත රාජ්‍ය සේවයක් හා ආයතන පද්ධතියක් හඳුනාගත හැක. එය කළහැකි වන්නේ ද එක්තරා දුරකට වෘත්තීය සමිති සමග එකඟතාවයන් මගින් බැවින් ඒ සඳහා ද වෘත්තිය අරගල ඒකාබද්ධ කර ගනිමින් 20,000 ලබාදීමේ විකල්ප ප්‍රවේශයකට යා හැක.

ප්‍රතිඵලදායක රාජ්‍ය සේවයක්

රාජ්‍ය සේවය ප්‍රමාණයෙන් වැඩි ගුණයෙන් අඩු හෝ ඵලදායිතාවයෙන් අඩු යාන්ත්‍රණයක් බවට පුළුල් විවේචන පවතී. කාර්ය සාධනය නිසි පරිදි මැන බැලීමක් රාජ්‍යසේවයේ නොමැත. රාජ්‍ය සේවයේ වගවීම හා වගකීම් අතර බැඳියාවක් පැහැදිලි නොවේ. ඉලක්ක සහගත හා ප්‍රතිඵලදායක කළමනාකරණ ප්‍රවේශයක් පුහුණු වැඩසටහන්වලට සීමා වී ඇත. ආයතනික ඵලදායිතාවය ප්‍රතිඵලදායක බව සඳහා මානව සම්පත් සබඳතාවය වැඩිකර ගැනීම සඳහා වන උපාය මාර්ග වෙත සහයෝගීතාවයන් වර්ධනය කර ගැනීම රජයේ වගකීමකි. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට විකිණීම හෝ කොමිස් මත කෙරෙන ප්‍රතිසංස්කරණයට වඩා සේවක හා වෘත්තීය සමිති එකඟතාවය මගින් ප්‍රතිලාභ බෙදාගැනීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අවශ්‍ය ප්‍රති නිර්මාණයන් කිරීමේ ඉඩකඩ හඳුනාගත යුතු වේ.

අවිචාරවත් ප්‍රතිසංස්කරණ වෙනුවට

රාජ්‍ය සේවයේ වියදම් අවම කිරීමට මෙන්ම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා රජය විසින් වරින් වර චක්‍රලේඛ මගින් හඳුන්වා දෙන වෙනස්කම් වෙනුවට පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් අදාළ වියත් අදහස් මත ගොඩනඟා ගන්නේ නම් සැබෑ වියදම් පාලනයකින් වඩා තෘප්තිමත් රාජ්‍ය සේවා පද්ධතියක් නඩත්තු කිරීමට රජයට හැකිවනු ඇත. රජය ද දේශපාලන සූදුවක නිරත වන බැවින් යහපත් හා කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට රජය දක්වන්නේ මන්දගාමී හෝ ඵලදායී නොවන ආවාට ගියාට සිදුකරන ප්‍රතිසංස්කරණ වේ. ඒ වෙනුවට සැබෑ ප්‍රතිලාභ ලැබෙන රජයට බරක් නොවන ප්‍රවේශයක් හඳුන්වාදී වඩා යහපත් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට බොහෝ අරගල හා අර්බුද ශුභවාදීව යොදාගැනීමට හැකියාව ඇත.

යල්පැන ගිය වෘත්තීය අරගල වෙනුවට

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ප්‍රති නිර්මාණය වීම හෝ එලෙස සිදුකිරීම අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ දියුණු රටවල රාජ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන්නේ සංවර්ධනශීලී සහභාගීත්ව ප්‍රවේශයන් හා අන්‍යොන්‍ය එකඟතාවන් මත පදනම් වූ ක්‍රමෝපායක් ඔස්සේය. ප්‍රතිලාභ බෙදාගැනීම සඳහා වන එකඟතාවන් මත රාජ්‍ය ආයතන පද්ධතිය වඩා ඵලදායි ලෙස හා නූතන කළමනාකරණ මූලධර්ම මත වෘත්තීය සමිති හා කළමනාකරණ එකඟතාවයන් ඇති කරගෙන ඇත. හුදු ඉල්ලීම් මානසිකත්වය වෙනුවට සහභාගිත්ව ප්‍රවේශ මත වඩා සුරක්ෂිත වීම වෘත්තීය සමිති ප්‍රවේශය විය යුතුය.

ලෝකයේ බොහෝ දියුණු රටවල කම්කරු නීති ආයතන හෝ කර්මාන්ත රැකගැනීමේ මූලධර්ම මත සංවිධානය වී ඇත. ආයතනය රැකුණොත් රැකියාව රැකෙනු ඇත. ආයතනය ආර්ථික වශයෙන් ශක්තිමත්වීම කළ ප්‍රතිලාභ වැඩියෙන් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ පවතින්නේ වසා දැමීම සඳහා නම් කරනු ලබන ක්‍රමෝපායකි. එය බොහෝදුරට ගතානුගතික කම්කරු නීති සමග ද බැඳී පවතී.

20,000 දෙමු නේද?

රජයට 20,000 රාජ්‍ය සේවකයාට ලබාදිය හැක. ඒ සමග රජයේ අධික වියදම් සීමා කරන පුළුල් කළමනාකරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ද රජය වෘත්තීය සමිති එකඟතාවයෙන් සකස් කළ යුතුව ඇත. මෙය කෙටි කාලීන අරමුණු මත පදනම් නොවී මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ප්‍රතිඵලදායක අරමුණු සමග ගැට ගැසීමට සුදුසු වියදම් ප්‍රතිලාභ අධ්‍යයනයක් හා පුරෝකථනයක් රජය විසින් සිදු කළ හැක. එවැනි න්‍යාය පත්‍රයක් සඳහා වෘත්තීය සමිති එකඟතාවක් ලබා ගන්නේ නම් වර්තමාන රාජ්‍ය සේවකයාට රුපියල් 20,000 ලබාදී දේශපාලන වාසිද, ආර්ථික වාසිද රාජ්‍යසේවා ප්‍රතිසංස්කරණ වාසි ද රටට ලබාගත හැකිවනු ඇත.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment