බලාපොරොත්තුව ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට සුදුසුකම් ලැබීමයි

275

රදැල්ල පුහුණුවීම් ලොකු සහයෝගයක් වුණා – හෙට තරගය ගැන ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ඊයේ කියයි

නවසීලන්තය සමග හෙටින් ඇරඹෙන ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කර ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට සුදුසුකම් ලැබීම සියලුදෙනාගේම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය.

කෙසේ නමුත් ඉන්දු- ඔස්ටේ්‍රලියා තරගාවලියේ ප්‍රතිඵලයද ඊට බලපාන බවත් මෙම තරගාවලිය දිනන්න ක්‍රීඩකයෝ ගොඩක් මහන්සි වන බවත් දිමුත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හෙට (09වැනිදා) ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පිළිබඳ ඊයේ (07වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් මේ බව පවසා සිටියේය.

පසුගිය වසරේ ජූලි මස පාකිස්තානයට එරෙහි තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙය වන අතර, ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා, පිතිකරුවෙකුට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්නේ හොඳින් ලකුණු අතර ඉන්න වෙලාවට. නමුත් මම මාස අටකින් විතර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා නැහැ. නවසීලන්තයට ඇවිල්ලත් එක දවසයි ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ. ඒ නිසා ටෙස්ට් තරගාවලියට මුහුණදෙන එක සෑහෙන්න ලොකු අභියෝගයක්. තරගාවලියට ක්‍රීඩා කරන්න හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න වෙනවා. අපි ගොඩක් වෙලාවට නවසීලන්තයේ සංචාරය කරන්නේ දෙසැම්බර් වගේ. නමුත් මෙවර මාර්තුවල තියෙන්නේ. රස්නය තියෙන කාලයක්. ඒ නිසා මට හිතෙනවා මේ තණතීරුව ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන්ටත් වාසිදායක වෙයි කියලා. නිමා වූ එංගලන්ත – නවසීලන්ත තරගාවලියෙත් දඟ පන්දු යවන්නෝ කඩුලු අරන් තිබුණා. ඒ නිසා දඟ පන්දු යවන්නෙක් යොදාගන්න සැලසුමක් තිබෙනවා. ධනංජයට අමතරව නිත්‍ය දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කරන්න පුළුවන්.

ක්‍රීඩා කරන අවසන් එකොළහ තවම තීරණය කර නැහැ. නමුත් දඟ පන්දු යවන්නෙකු සමග වේගපන්දු යවන්නෝ තිදෙනෙක් ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් තියෙනවා යැයි පැවසීය. සංචිතයට නම්කර සිටි වේගපන්දු යවන මිලාන් රත්නායක හා ඉදිරිපෙළ පිතිකරුවෙකු වන නිශාන් මධුෂ්ක දෙදෙනාට ටෙස්ට් වරම් හිමිවීමේ අවස්ථාවක් තිබෙනවාදැයි මෙහිදී විමසීය.

ශ්‍රී ලංකා පිතිකරණ සංයුතියේ ඉදිරි පෙළ ස්ථාවරව තිබීම සහ අත්දැකීම් ඇති ප්‍රධානම වේගපන්දු යවන්නන් තිදෙනෙකුම සංචිතයේ සිටීම යන හේතු නිසා නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක යන දෙදෙනාට පළමු ටෙස්ට් තරගයෙන් ටෙස්ට් වරම් හිමිවීමට ඇති හැකියාව සීමාසහිත බව ද කීඩකයෙකු ආබාධ වුවහොත් ඔවුන්ට අවස්ථාවක් හිමිවිය හැකි බවද දිමුත් කරුණාරත්න පැවසීය. අපේ වේගපන්දු සංයුතියේ ගොඩක් වෙලාවට රාජිත, අසිත හා විශ්ව ක්‍රීඩා කළේ. ගොඩක් වෙලාවට දකුණත් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමග වමත් වේගපන්දු යවන්නෙකු යොදාගන්නයි අදහස තියෙන්නේ. ඒ නිසා පළමු තරගය ඒ තුන්දෙනාම ක්‍රීඩා කරන්න වැඩි අවස්ථාවක් තියෙනවා. මිලාන් හොඳින් පන්දු යවනවා. ඒ නිසා මේ තරගයෙන් පසුව ඔහුට අවස්ථාවක් දෙන්න තියෙන හැකියාව ගැන සොයා බලනවා. නමුත් මිලාන්ට මේ තරගාවලිය හොඳ අත්දැකීමක් වෙයි.

නිශාන් මධුෂ්ක කණ්ඩායමට ඇවිත් තියෙන්නේ ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙස. ඒ වගේම ඔහු කඩුලු රකින්නෙක්. දැනට අපේ ඉදිරිපෙළ පිතිකරුවන් ස්ථාවර තත්ත්වයක ඉන්නවා. නමුත් කාටහරි ආබාධයක් වුණොත්, අනිවාර්යයෙන් නිශාන් කණ්ඩායමට කැඳවනවා.

මේ දක්වා ශ්‍රී ලංකාව නවසීලන්තයේදී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් තරග 2-0ක් ලෙස ජයගෙන නොමැත. එම අභියෝගය ගැන දිමුත් මෙසේ පැවසීය. සෑම තරගාවලියක්ම අපට අභියෝගයක්. අපි කිසිම දෙයක් සැහැල්ලුවට ගන්නේ නැහැ. මේක ලොකු අභියෝගයක්. නවසීලන්තයට ඇවිල්ලා ඔවුන්ව තරග 2-0කින් පරාජය කළ යුතුයි. මේ තරගාවලිය දිනන්න ක්‍රීඩකයෝ ගොඩක් මහන්සි වෙනවා.

ඒ වගේම කාලගුණයට අපට හිතකර මට්ටමක තියෙනවා. හොඳ හිරුඑළියක් තියෙනවා. මැච් තියෙන දවස්වලත් එහෙම වෙයි. ඒකත් එක්ක අපට ගොඩක් ලේසි වෙයි. වෙනදා ක්‍රීඩා කරන්නේ සීත කාලවලදී. නවසීලන්තයට එන්න කලින් රදැල්ලේ පුහුණුවීම් කළත්, මම හිතන්නේ නැහැ එය නවසීලන්ත දේශගුණයට සමානයි කියලා. රදැල්ලට වඩා මෙහෙ සීතලයි. ඒ වගේම තණතීරු ගොඩක් වෙනස්. නමුත් රදැල්ල පුහුණුවීම් ලොකු සහයෝගයක් වුණා. වෙනදා පුහුණුවීම් කරන පල්ලෙකැලේට වඩා වෙනසක් අපට ලැබුණා. අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන්න. නමුත් අපට අනෙක් තරගාවලි පාලනය කරන්න බැහැ. ඉන්දු- ඔස්ටේ්‍රලියා තරගාවලියේ ප්‍රතිඵලයත් බලපානවා. කෙසේ නමුත් අපට මුලින්ම කරන්න තියෙන්නේ පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරන්න යනුවෙන් පැවසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment