ඡන්ද අභියෝගේ බින්ද තහනම් නියෝගේ!

216

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව (03 දා) නිසැකයෙන් ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්‍ෂිත කිරීමක් පමණක් නොව එම මැතිවරණයට බාධා කළ සියලු පාර්ශ්ව දුර්මුඛ කරවන්නක් ද විය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිවෙක් කිසිවිටෙක ප්‍රජාතන්ත්‍රවාදයට බිය නොවෙති. එහෙත් ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් අපට තිබෙන ඇතැම් අත්දැකීම්වලින් තහවුරු වන්නේ මෙරටේ දේශපාලන පක්‍ෂ නායකයන් අතර එබඳු භීතියකින් ක්‍රියා කළ හා කරන අය සිටින බවය. එයට ප්‍රධාන හේතුව බලය අත්හැරීමට තිබෙන අකමැත්තය. තනතුරු, වරප්‍රසාද භුක්ති විඳීමේ තෘෂ්ණාවය. මෙරටේ දේශපාලන අතීතය තුළ ඒ වෙනුවෙන් සිදුවූ මුග්ධ හා අශ්ලීල ක්‍රියාකාරකම් පිළිබඳව බදාදා ලියැවිල්ල මගින් ද පෙන්වා දී ඇත. ඒවා යළිත් දැක්වීමට අවශ්‍ය නැත. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ කොටසක් දිගින් දිගටම මෙම මැතිවරණයට බාධා කළ ආකාරය ද රහසක් නොවේ. ජනාධිපති රනිල්ට තරම් නොවන ආකාරයේ බාල දේශපාලන ප්‍රතිචාර ද ඔහුගෙන් දැකගත හැකි විය. එසේම ආණ්ඩුව විසින් පුන පුනා සඳහන්කරන ලද මැතිවරණය සඳහා මුදල් නොමැත යන තර්කය ජනතාව පවා නොපිළිගත්හ.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනසක් සිදු නොවන බවත්, එබඳු පසුබිමක් තුළ ඒ සඳහා මුදල් වැය කිරීම අපරාධයක් බවත් කී අය ද වූහ. ඇතැම් ඇමැතිවරයෙක් ඒ මුදල් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් ද කර තිබුණි. එය ඒ ඇමැතිවරුන්ගේ දේශපාලන මුග්ධභාවය මෙන්ම නායකයාට තිබෙන නිවටකම, බයාදු ගතිය ප්‍රදර්ශනය කිරීමක් විනා අන් දෙයක් නොවීය. කුමක් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙන් තහවුරු වන්නේ මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වූයේ 2023 වසරේ අය – වැය මගින් වෙන් කරන ලද මුදල් එම මැතිවරණය සඳහා බාධාවකින් තොරව ලබාදිය යුතු බව ය. ඇත්ත වශයෙන්ම එම තීන්දුව අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය ශක්තිමත් කරන්නකි. ඉහත සඳහන් කළ පරිදිම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයකි. සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ, විපක්‍ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී (05 දා) ප්‍රකාශ කළේත් ආර්ථිකය ක්‍රියාත්මක විය යුත්තේ ද ප්‍රජාතන්තවාදය සමඟ බවය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අලංකාර විවරණ කරන දේශපාලන නායකයෝ ඒ බව නොදනිත් ද?

ඡන්ද අභියෝගේ බින්ද තහනම් නියෝගේ!

ඇරිස්ටෝටල්, ඔහුගේ විශ්ලේෂණයන්හි නිරන්තරව කළ අවධාරණය වන්නේ දේශපාලනයේ පරමාර්ථය වැඩි පිරිසක් සඳහා උසස්ම යහපත සලසා දීම බව ය. එනිසා දේශපාලන සමාජය හැමවිටම උසස්ම යහපත වෙනුවෙන් කැප විය යුතු බව ඔහුගේ Politic නමැති කෘතියෙහි ද දක්වා ඇත. රාජ්‍යයට සදාචාරාත්මක වටිනාකම් තිබෙන අතර අත්තනෝමතිකව බලය යෙදවීම නොකළ යුතු බව ද ඇරිස්ටෝටල් පවසා තිබේ. එහෙත් ලංකාවේ නූතන දේශපාලනය මේ සියලු පරමාර්ථ මෙන්ම සදාචාර මූලධර්ම නොතකන දූෂිතම ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. ඇත්ත වශයෙන් ම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දක්වන පසුගාමී ප්‍රතිචාරවලින් හෙළිවන්නේ මේ ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ තිබෙන අප්‍රසාදය, පිළිකුල ප්‍රකාශයට පත්වීම වැළැක්වීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බවය. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් එජාපයට හා පොදුජන පෙරමුණට අත්විය හැකි ඛේදනීය ප්‍රතිඵලය නිසැකයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට අවැසි බව ඔවූහු දනිති. ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇතැයි යන පණිවිඩය ජාත්‍යන්තරයට යෑම වැළැක්වීමට තිබෙන එකම මඟ, මෙම මැතිවරණය කල්දමා ගැනීම බව ද ඔවූහු දනිති.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතුය හෝ කල්දැමිය යුතුය හෝ යන ස්ථාවරයෙහි පිහිටි පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් දක්වන හේතු සාධක, ඒ ඒ අයගේ දේශපාලන විඥානය හා ප්‍රජාතන්ත්‍රවාදී සාක්‍ෂරතාව පිළිබඳව තහවුරු කරන්නකි. එහෙත් එය ගැඹුරින් විමසා බලද්දී පෙනී යන්නේ පළාත් පාලන මැතිවරණය. ආණ්ඩුවේ දේශපාලනය සමඟ ගැටගැසී තිබෙන බවය. එසේම ඊටත් වඩා වැදගත්ම කරුණ වන්නේ එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කරන්නක් බවය. මහජන මතය කුමක් ද යන්න එයින් දැන මැන ගැනීමට ඉඩ ලැබෙන බවය. ඇත්ත වශයෙන් ම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් ලැබෙන අවාසිය යනු පවතින ආණ්ඩුවේ බලය නැතහොත් ආධිපත්‍යය දෙදරා යන බවට පැහැදිලි සංඥාවක් ද විය හැකිය.

ජාජබ ලෙස සංවිධානය වී සිටින ජවිපෙ වේදිකාවෙන් කෙරෙන දේශපාලන ඇඟවීම් නොතකා තම ජන පදනම සපුරා බිඳවැටී නැතැයි සිතීමට ආණ්ඩුවේ නායකයන්ට බාධාවක් නැත. එහෙත් අර්බුදයක ගිලී තිබෙන ප්‍රභූ දේශපාලනය පෙර පරිදි ගොඩනඟා ගත නොහැකි බවට ඔවුන් විසින් කරනු ලබන අනාවරණ මුළුමනින් ම ප්‍රතික්‍ෂේප කළ නොහැක. සම්මත දේශපාලන ප්‍රභූවරුන්ගේ පැවැත්ම අද අභියෝගයකට ලක්ව තිබේ. පසුගියදා සිදුවූ ගාලුමුවදොර අරගලය විසින් උඩුයටිකුරු කරන ලද දේශපාලනයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවනත වීමට රාජපක්‍ෂ පාලනයට සිදුවිය. හැටනව ලක්‍ෂයක ජනවරමකින් පත්වූ ගෝඨාභය ජනාධිපති, ධුරය හැර රටින් ද පලාගියේ ඒ විරෝධතා රැල්ල නිසාය. මහින්ද අගමැති ධුරය අත්හැරීමට මෙන්ම පොහොට්ටුවේ මුල් පෙළ සිටි සියල්ලන්ටම ඇමැති ධුර අහිමි වූ අතර ඔවුන්ට සැඟවී සිටීමට ද සිදුවිය.

රාජපක්‍ෂවරුන්ට කිසියම් දේශපාලන අස්වැසිල්ලක් ලබාදීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කර ගැනීම නිසාය. ඔහුගේ දේශපාලන උපායන් මෙන්ම ප්‍රතිචාර කෙතරම් විවාදාත්මක වුවද ඒ ගාලුමුවදොර විරෝධතාව නිහඬ කරවීමට ජනාධිපති රනිල් සමත් විය. රනිල් යනු ප්‍රභූ දේශපාලනයේ නියෝජනයක් සහිත රාජපක්‍ෂ කඳවුරේ සෝපාහාසයට ලක්වූ අයෙක් වුව ද ඔවුන්ගේ තෝරාගැනීම රනිල් ම විය. මෙය මතුපිටට පෙනෙන දෙයට වඩා ගැඹුරු දේශපාලන ප්‍රතිචාරයකි. කුමක් වුවත් ගෝඨාභය පාලනයේ දුබලතා, සදොස් ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම ඔහුගේ අධිපතිවාදී මානසිකත්වය නිසා රටට සිදු වූ සමාජ – දේශපාලන – ආර්ථික විනාශය සුළුපටු නැත. ඇත්තටම රනිල් ඒ අභියෝගයට උරදුන් දේශපාලන පෞරුෂය බව ඔහුගේ විවේචකයෝ ද පිළිගනිති.

ජනාධිපති රනිල් නිසා බින්දුවට වැටී තිබුණු රට තුළ යම් අස්වැසිල්ලක් ලැබුණු බව බොහෝ දෙනෙක් පිළිගනිති. ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසන්නේ ද අද රටේ උත්සන්න වී තිබෙන සමාජ – ආර්ථික – දේශපාලන කඩාවැටිම, පරිහානියට ප්‍රබල හේතුව සුබසාධන ආර්ථිකය බව ය. මුළු මහත් සමාජයේ ඉතාම අඩු ආදායම්ලාභියාගේ සිට ඉහළම ධනවතා දක්වා සියලු ප්‍රතිලාභ හිමිවීම මේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව ඔවූහු පෙන්වා දෙති. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, අඩු මුදලට ඉන්ධන හා විදුලිය ලබාදීමේ විපාක අද මුළු ජනතාවගේ කර මතට වැටී ඇති බවද ඔවූහු අවධාරණය කරති. ආණ්ඩුවේ සියලු වරප්‍රසාද වෙනම ලබා ගන්නා දේශපාලන පැලැන්තියක් ද සිටීම තවත් අභියෝගයක් වී තිබේ.

මේ වන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 250 කට නොඅඩු බව කියති. මේ ප්‍රතිලාභය හිමිව ඇත්තේ වසර පහක් මන්ත්‍රී හෝ ඇමැති වීම මත පදනම්වය . ජනාධිපතිවරුන් ලෙස සිට විශ්‍රාම ගිය සියල්ලෝම අදත් ජනතා මුදලින් යැපෙති. ඔවුන්ගේ පවුල්වල අයට ද ඒ භාග්‍ය උදා වී තිබේ. මේ ක්‍රමය හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන ඉන් අපේක්‍ෂා කළේ දේශපාලන රැකියාවට ස්ථාවරත්වයක් ලබාදීමය. ජ.වි.පෙ. නායක අනුර කුමාර නම් පවසන්නේ මේ වරප්‍රසාදිත දේශපාලන ක්‍රමයත්, නිලධාරි තන්ත්‍රයත් අහෝසි කරන බව ය. එහෙත් අනෙක් දේශපාලන පක්‍ෂවල නායකයෝ ඒ පිළිබඳ වචන මාත්‍රයක් පිට නොකරති.

කෙසේ හෝ ජනාධිපති රනිල්ගේ දේශපාලන ක්‍රියාන්විතය මගින් යළිත් ප්‍රයත්න දරන්නේ 2022 මාර්තු 31 වැනිදා මුල්වරට උද්ගත වූ විරෝධතා අරගල නොමැති සුපුරුදු දේශපාලන ක්‍රමයම යළිත් ගොඩනැංවීම බව පැහැදිලිය. ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් ක්‍රමයේ වෙනස යනු මේ වන විට ගිලිහී ගිය ජනතා අපේක්‍ෂාවක් බවට පත්වෙමින් තිබේ. සැබැවින්ම මේ මාර්තු මස අවසන් වන විට වසරක් සපිරෙන අරගලය ගැන කිසවෙක් සිහිපත් කරත් ද? ගාලුමුවදොර අරගලය විසින් වළදමන ලදැයි සිතූ ඒ දේශපාලන සංස්කෘතිය දැන් මළවුන්ගෙන්
නැඟිටිමින් සිටියි. හිටපු ඇමැතිවරයකු වන ඇස්. බී. දිසානායක පවසන පරිදි ඔහු ඇතුළු අටදෙනෙක් මේ මාසයේදී ඇමැතිවරුන් ලෙස පත්වන්නේ නම් අපට කිව හැක්කේ. ජනාධිපතිවරයා ඒ සිස්ටම් චේන්ජ් එකට ප්‍රතිචාර දක්වන විලාසය උත්ප්‍රාසනීය එකක් බවය.

අද මෙරටේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට සාධනීය පිළිතුරක් ලබා දිය හැකි කී දෙනෙක් වත්මන් ඇමැතිවරුන් අතර සිටිත් ද? අපට පෙනෙන දෙය නම් ජනාධිපතිවරයාගේ බර හෑල්ලු කිරීමේ අභියෝගයට මෙතෙක් ඇමැතිවරුන්ගෙන් ලැබී තිබෙන සහාය ඉතා අල්ප බවය. වෙළෙඳ ඇමැතිවරයාගේ මැදිහත්වීම් නිසා බිත්තර අර්බුදය උත්සන්න වන බව ඒ ව්‍යාපාර ක්‍ෂේත්‍රයෙහි ප්‍රබල චෝදනාවකි. වී ගොවීන්ගේ ප්‍රශ්න ඉහවහා ගොස් ඇතැයි කෘෂිකර්ම ඇමැතිට චෝදනා නැඟී තිබේ. ඖෂධ හිඟයට සෞඛ්‍ය ඇමැතිට ද ඇඟිලි ගණනාවක් දික්වේ. මේවාට විසඳුම් දිය හැකි ප්‍රබුද්ධ හා පැනසර චරිත පොහොට්ටුවේ සිටිත් ද? ඇමැති දොළදුකින් ආතුර වූ අය ද ජනාධිපතිවරයාට ප්‍රශස්ති ගයමින් බලා සිටිති.

මේ සියල්ල ඉඳුරා දන්නා ජනාධිපති රනිල් බැදිවල යන්නා සේ යළිත් රට තුළ ඒ ගර්හිත දේශපාලන ක්‍රමයට අනුබල දීම, කිසිසේත් මැනවැයි කිව නොහැකි දේශපාලන මුළාවක් පමණි. මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රසාදයක් නැති වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසා හිමිවන බව ද පෙනේ. එහෙත් එයින් ආණ්ඩුවේ ගමන ස්ථාවර කරගත හැකිද? ගාලුමුවදොර අරගලයේ ප්‍රතිලාභ ලැබී ඇත්තේ ජනාධිපති රනිල්ට බව සමහරු පවසති. එය අරගලකරුවන් විසින් අපේක්‍ෂා කරන ලද ප්‍රතිඵලයක් නොවේ. එපමණකින් ම ජනාධිපති රනිල්ට ඒ අරගලකරුවන් මර්දනය කළ හැකිද? ඔහු පවසන ආකාරයට ම ආණ්ඩු මාරු කිරීමේ එකම මඟ, මහමැතිවරණය පමණක්ද? සාමකාමී හා අහිංසාවාදී විරෝධතා – අරගල ඔහු අනුමත නොකරන්නෙහි ද? ලංකාවේ දේශපාලනය මෙබඳු සීමිත රාමුවක සිරකළ හැකිද? යනාදී ප්‍රශ්න ගණනාවක්ම අපට මෙහිදී නැඟෙයි.

ජනාධිපති රනිල් විසින් එදා කරන ලද අවධාරණය අනුව මෙරටේ තරුණ තරුණියන් විසින් අපේක්‍ෂා කරන ලද අභිනව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට සංවේදී නොවී මේ ගමන යා නොහැකිය. නව ක්‍රමය සපුරා බිහිවෙමින් නැති වුවද, පැරණි ක්‍රමය තුළ රට තෘප්තිමත් නොවන බව අප වටහා ගත යුතුය. ගාලුමුවදොර විරෝධතාව අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගෙදර යා යුතුය. එහෙත් එය සැණකින් සිදුකළ නොහැක. ඒ සඳහා වුවමනා සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ තවමත් සිදුවී නැත. පැරණි ක්‍රමය සමතලා කරමින් අලුත් ක්‍රමයක් බිහිවන සමාජ විප්ලවයකට වඩා වෙනස් දේශපාලන යථාර්ථයක් අද තිබේ. එහෙත් පිරිහීමට පත්ව තිබෙන ක්‍රමයක් කිසිසේත් යළි ජනතාව විසින් පිළිගනු ලබනු ඇතැයි සිතීම ද දුෂ්කරය. හැටනව ලක්‍ෂයක ජනවරම බලරහිත කරන ලද්දේ මහමැතිවරණයකින් නොව මහපාරේ විරෝධතාවකින් බව ද අප මතක තබා ගත යුතුය. එදා එම විරෝධතාව තුළ ඒ ජනවරමේ නියෝජනයක් ද තිබුණු බව නිසැකය. එසේම 225 ම එපා යන සටන් පාඨය සමාජගත කර තිබුණත් ඒ සියල්ලන්ටම ඒ වරම ලබාදෙන ලද්දේත් ජනතාව විසින්මය. ඒ බලය නෙළා ගැනීම සඳහා බොරුව, වංචාව, අල්ලස මෙන්ම වෙනත් ප්‍රතිලාභ පවා යොදාගත් බව ද රහසක් නොවේ, වඩාත් ප්‍රබුද්ධ මනසකින් බලන්නේ නම් ගෙවී ගිය 75 වසර තුළම රට ආපස්සට ගිය ක්‍රමවේදය නඩත්තු කළේ ද මෙරටේ ජනතාවමය.

ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ නොව, අපට තිබුණේ පටු අවස්ථාවාදී මජර හා වසල දේශපාලන ක්‍රමයක වහලුන් බවට පත්වීමේ නොදැනුමය. හාල් සේරු දෙක, පාන් ගෙඩිය රු. 3.50 ට දීම, ඇට අට වැනි ඇමක් සහිත බිලී කටුව ගිලීමට අපි පසුබට නොවීමු. ඒ සහන හා සුබසාධනය රටම ශීඝ්‍රගාමී ලෙස අගාධයකට රැගෙන ගොස් තිබේ. රට භාරව සිටි අය ඒවාට වගකිව යුතු වෙති. ‘සිස්ටම් චේන්ජ්’ එකක් යනු ඒ ජරපත් ක්‍රමය වළලා දැමීමය. ජනාධිපති රනිල් නියෝජනය කරන එජාපය මෙන්ම රාජපක්‍ෂ කඳවුරට අයත් පොදුජන පක්‍ෂය අද එක්ව එකී වෙනසට බාධා කරන බවට දේශපාලන විවේචනයක් ද ඇත. රාජපක්‍ෂවරුන් සමඟ සිටි වමේ පක්‍ෂ හා ඔවුන්ට සහාය දැක්වූ ශ්‍රීලනිපයේ පිරිසක් ද අද වෙනම දේශපාලනයේ නිරතව සිටිති. 2022 තෙක්ම රාජපක්‍ෂ කඳවුරේ ඉදිරියෙන්ම සිටි ඔවුන් අද ජනතාවට පවසන්නේ ලංකාවේ ප්‍රභූ දේශපාලනය හා පවුල්වාදය ද අවසන් කළ යුතු බවය. අද විකෘති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය නිවැරැදි කළ යුතු බවත්, ජනතා නියෝජනය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් මෙන්ම ජනාධිපතිවරයෙක් ද සමඟ දේශපාලන ස්ථාවර භාවයක් ද රටට අවශ්‍ය බව ඔවූහු පවසති. මෙම අභිනව ප්‍රජාතන්ත්‍රවාදී සමාරම්භයේ හැරවුම් ලක්‍ෂ්‍යය පළාත් පාලන මැතිවරණය බව ද ඒ වෙනුවෙන් පෙනී සිටි සියල්ලෝ ම පාහේ සඳහන් කරති. එහෙත් ප්‍රශ්නය වන්නේ එදා ගාලුමුවදොර විරෝධතාව විසින් ඉල්ලා සිටින ලද අභිනව වෙනස මෙම පළාත් පාලන මැතිවරණ සටනේදී කෙතෙක් දුරට පිළිබිඹු වනු ඇද්ද යනුයි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment