කොළඹ අන්තරේ විරෝධයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර

136

මාධ්‍යවේදියකුට සහ පොලිසියේ අයෙකුට තුවාල

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන ඊයේ (07 වැනිදා) කොළඹ දී පැවැත්වූ විරෝධතා පෙළපාලිය කොළඹ විශ්වවිද්‍යාලය අසල දී ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ඉල්ලා සංවිධානය කර තිබූ මෙම විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කිරීමට විරෝධතාකරුවන් මුල දී සැලසුම් කර තිබුණ ද ඊයේ දහවල් සිට ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යොදා කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි ආරක්‍ෂාවක් යොදා තිබීම හේතුවෙන් එය ව්‍යර්ථ විය.

මේ අනුව කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණ සිටි දෙසීයක පමණ විරෝධතාකරුවෝ ආරක්‍ෂාව තරකර තිබීම හේතුවෙන් බස් රථවල නැඟී කොළඹ පුරහල ලිප්ටන් වටරවුම අසලට ගොස් එතැන් සිට සංවිධානය වී විරෝධතාව ආරම්භ කළහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු විරෝධතාකරුවන් පන්සියයක් පමණ එක්රැස් වෙමින් විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් පෙළපාලියෙන් පැමිණ කුරුඳුවත්ත පොලිසිය අසලින් ඉදිරියට ගොස් කොළඹ විශ්වවිද්‍යාලය දෙසට ළඟා වූ අවස්ථාවේ පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.

කොළඹ අන්තරේ විරෝධයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර

ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලියෙන් පැමිණ කොළඹ විශ්වවිද්‍යාලය පසුකර යමින් තුම්මුල්ල ප්‍රදේශයෙන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීම විරෝධතාකරුවන්ගේ ඉලක්කය වී තිබී ඇත.

පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව විරෝධතාකරුවන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය පිහිටි ප්‍රදේශවලට සහ ගාලු මුවදොර ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමට ද කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් කටයුතු කර තිබිණි.

සමන් ගමගේ,නිශාන් එස් ප්‍රියන්ත සහ තුෂාර අතපත්තු

ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත සහ තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment