ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආර්ථික අපරාධ නිසා මානව හිමිකම් උල්ලංඝනය වෙලා

166

කැසිනෝ නියාමන අධිකාරියක් නැතුව ලයිසන් දෙන්න බෑ
– ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

සිදුවූ ආර්ථික අපරාධය නිසා ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කන්න නෑ, ජීවත් වෙන්න බෑ, බෙහෙත් නෑ. මේ මහා විශාල ආර්ථික අර්බුදය නිසා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වෙලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

පළවෙනි පාරට ආර්ථික අපරාධ නිසා මානව හිමිකම් උල්ලංඝණය වීමක් සම්බන්ධයෙන් රජයකට චෝදනා එල්ල වෙනවා. එය මම හිතන්නේ පළවෙනි පාර නම් වශයෙන් සඳහන් කර තියෙනවා ද නැද්ද කියන්න තාම දන්නේ නැහැ. මෙච්චර කල් මානව හිමිකම් උල්ලංඝණය වෙලා තිබුණේ යුදමය අපරාධ නිසා. දැන් පළවෙනි පාරට ආර්ථික අපරාධ සිදු වුණා කියලා ලංකාවේ දේශපාලනඥයන්ට එරෙහිව යෝජනාවක් ගෙනත් තියෙන්නේ. ඒක මේ ලෝකෙ ජීවත් වෙන සියලුදෙනා ඇත්ත කියලා දන්නවා. ලංකාවේ වර්තමානයේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ ආර්ථික අපරාධ නිසා. ඒ නිසා තමයි රට වැටිල තියෙන්නේ. මිනිස්සුන්ට කන්න නෑ. ජීවත් වෙන්න බෑ. බෙහෙත් නෑ. මහා විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙලා.

මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරපු පුද්ගලයන්ව හොයලා විමර්ශනය කරලා ඔවුන්ට නීතිමය පියවර ගන්න ලෝකයේ සහයෝගය ලබා දෙනවා කියලා තමයි කියන්නේ. ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරපු ආර්ථික අපරාධ කරපු දේශපාලනඥයන් සහ නිලධාරීන් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට නීතිමය පියවරක් ගෙන අවශ්‍ය දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලෝකයෙන් දෙනවලු. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ඒකට උත්තර දෙන්නේ කොහොමද කියලා බලමු. රජයෙන් ගිහිල්ලා තියෙන විදේශ ඇමැතිතුමා සහ අධිකරණ ඇමැතිතුමා. ලංකාවේ කිසිම කෙනෙක්ට මේකට විරුද්ධ වෙන්න බැහැ. සීයට හැටක් මේ රටේ ජනතාව කන කෑම ප්‍රමාණය අඩු කරල නම් සියයට තිහකට වඩා ප්‍රමාණයක් දවසකට අවම වශයෙන් එක වේලක් කන්නේ නැත්නම් පාර්ලිමේන්තුව ඇතුළේ කොච්චර තර්ක විතර්ක ඉදිරිපත් කළත් වැඩක් නැහැ, දත්ත සම්බන්ධයෙන්. මොකද මහ පොළොවේ පය ගහලා ඉන්න ඕනම දේශපාලනඥයෙක් තමන්ගේ ඡන්ද කොට්ඨාසයට ගියොත් පේනවා පුද්ගලයන් සෑහෙන ප්‍රමාණයක් දුක් විඳින බව කෑම ගන්න සල්ලි නැතුව. අපි පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් නිර්මාණය කරන්න කියලා ඉල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ආර්ථික අපරාධකරුවන් පිළිබඳව හොයලා දඬුවම් කරන්න. දැන් මාස ගාණක් වෙනවා තවමත් ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් රජය පියවරක් අරගෙන නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් අපේ පාර්ලිමේන්තුව හරහා දිය යුතු දායකත්වය මේකට ලබාදෙන්න.

අද ා්සකහඓ පුවත්පතේ සඳහන් වෙනවා කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධව අලුත් නීතිය කොහොමද කියලා. සැප්තැම්බර් පළවෙනිදා අයැදුම්පත්‍ර නිකුත් කරනවා කියලා. එකක් කියන්නම් කැසිනෝ ලයිසන් දෙන්න බැහැ කැසිනෝ නියාමන අධිකාරියක් නැතුව. කවුද ලයිසන් එක දෙන්නේ. අපි දැක්කා පාර්ලිමේන්තුවේ මේ ළඟදි කිව්වා කැසිනෝකාරයෝ බදු ගෙවලා නැහැ කියලා. මට හොඳට මතකයි ඩොලර් 100ක බද්දක් ගෙවන්න ඕන කැසිනෝ එකකට යනවනම් කියලා. ඒ බද්ද එකතු කරලා තියෙනවද? මොන රටේද කැසිනෝ නියාමන අධිකාරියක් නැතිව කැසිනෝ ලයිසන් එක දෙන්නේ. එහෙම රටක් තියෙනවා නම් ආණ්ඩුව කරුණාකරලා පෙන්වලා දෙන්න. මේ ඔක්කොටම කලින් කැසිනෝ දානවනම් කැසිනෝ නියාමන අධිකාරියක් නිර්මාණය කරන්න ඕන. එවැනි නියාමන අධිකාරියක් නිර්මාණය කරන්නේ නැතුව කැසිනෝ ලයිසන් දෙන්න බැහැ. අපිට හොඳට මතකයි ජේමිස් පැකර් එන්න හදපු වෙලාවේ. අපිට හංගලා ගැසට් එකක් සම්මත කරගන්න ගිහින් එදා ලක්ෂ්මන් අභයවර්ධන හිටපු ඇමතිවරයා පස්සේ මහා ලොකු විවාදයක් ගිහිල්ලා ඒක ටේබල් කරන්නෙ නැතුව ටේබල් කරා කියලා කතානායක විසින් එදා විවාදය අහෝසි කරලා ඊට පස්සේ වෙච්ච දේ කවුරුත් දන්නවා.

සිංගප්පූරුව වගේ රටවල් වල කැසිනෝ තියෙනවා. හැබැයි අපි හොඳට කියෙව්වා සිංගප්පූරුවේ කැසිනෝ නියාමන පනත. ඒ රටේ කැසිනෝ නියාමන පනත අවුරුද්දකට වඩා සාකච්ඡා කළා අපි ජනාධිපතිවරයාට කියනවා ඔබතුමාට කැසිනෝවලට ලයිසන් දෙන්න ඕන නම් ඒක ජනතාව සමග සංවාදයකට එන්න. සාකච්ඡා කරන්න. මේක ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න එපා සාධාරණ කාලයක් අරගෙන සාකච්ඡා කරලා කරන්න.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා.

මෙතෙක් ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව තිබුණේ යුද අපරාධ චෝදනා සම්බන්ධව විතරයි. එයට අපි ඔරොත්තු දීලා මුහුණ දෙමින් රාජතාන්ත්‍රිකව ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන අතර අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධාන චෝදනාවක් පැන නැගිලා තියෙනවා. එය අලුත් චෝදනාවක්. යුද අපරාධ ගැන නෙමෙයි ආර්ථික අපරාධ ගැන. මේක බරපතළ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ආර්ථික බංකොලොත්භාවයට පත් වෙච්ච රටක් හැටියට පළමුවෙන්ම ජාත්‍යන්තරය අපේ විශ්වාසනීයත්වය ඇති කිරීම වැදගත්ම, ප්‍රමුඛත්වය දිය යුතු කාරණාවක් වෙද්දී දැන් වෙනකොට ආර්ථික අපරාධය ගැන ජාත්‍යන්තරයම අපේ රට ගැන කතා කරනවා.

මේ ආණ්ඩුව සම්පූර්ණ අසාර්ථකයි කියන එක පැහැදිලියි. අපි කෙරෙහි විශ්වාසයක් නැත්තම් අපි කොහොමද අපේ ණය කල් දමා ගන්නේ. ආර්ථික අපරාධ සිදු වෙනවා කියලා ජාත්‍යන්තරය චෝදනාවක් තියෙනවා නම් අපි කොහොමද ජාත්‍යන්තරයෙන් තවත් ආධාර ගන්නේ. රටේ විශ්වාසනීයත්වය තවත් කඩා වැටෙනවා නම් ආයෝජන ගෙන්න ගන්නේ කොහොමද? මේ වෙලාවේදී මානව හිමිකම් කවුන්සලයේ චෝදනා යද්දී ඒකට සාපේක්ෂවම ගිය සතියේ ඇමතිවරු තිස්හතක් පත් කරනවා. රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමත් ආර්ථික අපරාධයක්. මොකද මේ 37 දෙනා මේ අවස්ථාවේ නඩත්තු කරන්න පුලුවන්ද? අද මේ රටේ සාමාන්‍ය ජනතාව පීඩනයට පත්වෙලා තියෙන වෙලාවේ ගත්ත තීරණය පිළිබඳව හිරිකිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද එහිදී අදහස් දැක්විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment