වික්ටෝරියා ජලාශයේ දූපතක කසිප්පු පෙරලා – ගෝඩා බැරල් සමග සැකකරුවෝ අත්අඩංගුවට

77

වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදු කරනු ලැබූ නීති විරෝධී මත්පැන් පෙරන ලද ස්ථානයක් වටලා එහි තිබූ උපකරණ හා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව තෙල්දෙණිය පොලීසිය පවසයි.

ජලාශයේ දූපතක මහා පරිමාණයෙන් සිදු කරගෙන යන ලද මෙම නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු කාලයක් තිස්සේ සිදුකොට ඇති බවත්, පොලිසිය පැමිණෙන බව දැනගත් එම පිරිස පැනගොස් ඇති අතර එහි තිබූ උපකරණ ජලාශයේ ගිල්වා සඟවා ගොස් ඇත. පොලිසිය සඟවන ලද සියලු මත්පැන් හා අනෙකුත් පෙරන උපකරණ කිමිදුම්කරුවන් යොදා ගනිමින් සොයාගෙන ඒවා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස්ථානයේ තිබූ පෙරන ලද නීති විරෝධී මත්පැන් කෑන් හයක් සහ ගෝඩා බැරල් 11 ක් සමග අනෙකුත් පෙරීම සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද අත්අඅඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ඔරු යොදා ගනිමින් දැඩි අනාරක්ෂිත බවක් උසුලමින් පොලිසිය සිය රාජකාරි කටයුතු සිදුකිරීම විශේෂත්වයකි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර පසුව වැටලීම් මගින් මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මත්පැන් පෙරීම සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාතුඔය ප්‍රදෙශයේ සැඟව සිටියදීය. තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු තෙල්දෙනිය පොලිසිය සිදු කරයි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment