* පෙරඹර – වයසට යන උපාධිය සහ රටේ අනාගතය

532

රටක අනාගතය දරුවන් මත තීරණය වන බව අප කවුරුත් දන්නා කරුණකි. එම දරුවන් නිසි කලට අධ්‍යාපනයට යොමු කිරීමත්, සෑම දරුවෙක්ටම සමාන අධ්‍යාපන අවස්ථා උදාකර දීමත්, එම දරුවන් රටට සහ සමාජයට වැඩදායක පිරිසක් බවට පත් කර ගැනීමත් සාර්ථක රාජ්‍යයක මූලික ලක්ෂණයකි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන වියදම හා කැපවීම රටකට කළ හැකි ප‍්‍රධානම හා වැදගත්ම ආයෝජනයයි.

නිසි කලට අධ්‍යාපනයට යොමු කරන දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දී නිසි කාලයට අධ්‍යාපනය අවසන් කර ඔවුන්ගේ සංවර්ධනයට හා රටේ සංවර්ධනයට වැඩි අවස්ථාවක් සලසා දීම බැරැරුම් හා අත්‍යවශ්‍යම සාධකයක් බව සංවර්ධනය අතින් ඉහළ මට්ටමක සිටින රටවල් දෙස බැලූ විට පැහැදිලි වේ. පින්ලන්තය, ජපානය, ඩෙන්මාකය, එංගලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය මීට උදාහරණ ලෙස දැක්විය හැක.

ශ‍්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ සහ පශ්චාත් යටත් විජිත යුගයේ මුල් අවධියේදි උපාධියක් ලබා ගැනීම දරුවෙක්ගේ වයස අවුරුදු 22 දී පමණ සිදු වුවද අද වන විට එය අවුරුදු 26 – 28 ක කාලයක් දක්වා අවුරුදු 4 ක හෝ 5 ක ප‍්‍රමාදයක් ඇත. එය පසුගිය වසර 50 ක කාලයක තුළ අඛණ්ඩව සිදු වී ඇති බව දක්නට ලැබේ. මෙම ප‍්‍රමාදය වළක්වා ගත හැකි සහ වළක්වා ගත යුතු වන බව අප තරයේ විශ්වාස කරන අතර මෙම ප‍්‍රමාදය රටේ සංවර්ධනයේ ප‍්‍රමාදය හා සමපාත වී ඇති බව පැහැදිලිය.

අධ්‍යාපන වයස් සීමාව ඉහළ යෑම නිසා ඒ හරහා තරුණ අසහනය, දේශපාලනික අර්බුද, ත‍්‍රස්තවාදය හා දුර්වල ආර්ථික වර්ධනයක් ඇති වන බව ගෝලීය උදාහරණ අපට පෙන්වා දෙයි. මේ නිසා පුද්ගලානුබද්ධව, ජාතික, කලාපීය, අන්තර්ජාතික වශයෙන් ශ‍්‍රී ලංකාව පසුපසට ගොස් ඇති අතර එය රටේ ඉදිරි ගමන මන්දගාමී කිරීමට හේතු වී ඇත.

ශ‍්‍රී ලංකාව තුළ පවා පුද්ගලික සහ අන්තර්ජාතික පාසල්වල දරුවන් වයස අවුරුදු 17 ක් පමණ වන විට තමන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනයට (විශ්වවිද්‍යාලයීය හෝ වෘත්තීය) යොමු වී තමාගේ උපාධිය වයස අවුරුදු 20 – 22 ත් අතර කාලයේදි ලබා ගත්තද රජයේ අධ්‍යාපනය ලබන දරුවන් වයස අවුරුදු 26 දී හෝ 28 දී සිය උපාධි අවසන් කරනු දක්නට ඇත. මෙය ජාතික අපරාධයකි. එනම්, තමන්ට සඵල හා කාර්යක්ෂම ලෙස තමන්ටත් තම වෘත්තීය ජීවිතයටත් රටටත් ජාත්‍යන්තරයටත් දායකත්වයක් ලබා දිය හැකි අවස්ථාව අවාසනාවන්ත ලෙස මෙම පිරිසට මග හැරී ගොස් ඇත.

ශ‍්‍රී ලංකාව බාලාංශ පන්තියේ සිට උපාධිය තෙක් අධ්‍යාපනය නොමිලේ ලබා දෙන රටක් ලෙස එම නිදහස් අධ්‍යාපනයේ පූර්ණ ප‍්‍රතිඵල ලබා ගෙන ඇති දැයි අප සලකා බැලිය යුතුය. අපේ අධ්‍යාපන ක‍්‍රමය තුළ දරුවන් නියම දිශානතියට යොමු කර ඇත්ද, එම දරුවන්ගේ කුසලතාවන් හඳුනාගෙන ඒවා ප‍්‍රගුණ කිරීමට අවස්ථා ලබා දී ඇත්ද, රටේ සංවර්ධනයට දරුවන් නිසි පරිදි උපාධියකින් පසුව හෝ වෘත්තීය අධ්‍යාපනයකින් පසුව යොදාගත හැකි පරිදි අධ්‍යාපනය සකස් වී ඇත්ද, ජාතික හා ජාත්‍යන්තර රැුකියා වෙළෙඳපොළට අප අපේ දරුවන් සූදානම් කර ඇත්ද යන්න විමසා බැලිය යුතු කාරණයකි. කුමක් හෝ උපාධියක් කවදා හෝ දිනක ලබා දෙනවාට වඩා අනාගත දැක්මකින් යුතු උපාධියක් නියමිත වයසේදී ලබා දීමට අප උනන්දු විය යුතු බව පැහැදිලිය. මේ සඳහා ප‍්‍රධාන ලෙසම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රමුඛ කාර්යයක් කළ යුතුව ඇත.

අද වන විට වෛද්‍ය උපාධියක් ලබා ගැනීම අවුරුදු 28 ත් 30 ත් අතර දක්වා කල් ගොස් ඇත. එම නිසා අනෙක් රටවල වෛද්‍ය උපාධිධාරින් අවුරුදු 22 – 23 දි ලබා ගන්නා උපාධිය, ඉන් වසර 5 කට පසු ශ‍්‍රී ලාංකික දරුවන් ලබා ගැනීම සමස්ත රටේ පරිහානිය කියාපායි. ඒ නිසා වයස අවුරුදු 22දි වෛද්‍යවරයෙක් බිහි කර ගැනීමට අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරයේ විශ්වාස කරන අතර ඒ සඳහා නායකත්වය දීමට කටයුතු කරමින් සිටියි.

නිවැරදි නායකත්වයක්, නිවැරදි දැක්මක් තුළින් පවතින අධ්‍යාපන ක‍්‍රමයේ විප්ලවීය වෙනස්කම් කරමින් හා අනවශ්‍ය ප‍්‍රමාදයන් මග හරවා ගැනීම තුළින් වයස අවුරුදු 22 දි වෛද්‍ය උපාධිධාරියෙකුත්, කලා, විද්‍යා හෝ අනෙකුත් උපාධිදාරියෙකු වයස අවුරුදු 20 දී බිහි කිරීමට හැකි වනු ඇත. මේ හරහා තරුණ අසහනය, විරැුකියාව, දේශපාලනික අර්බුද, ත‍්‍රස්තවාදය හා දුර්වල ආර්ථික වර්ධනයට විසඳුම් සෙවිය හැකි අතර ජාත්‍යන්තරයට අපගේ දරුවන්ගේ දක්ෂතා රැුගෙන යෑමට පිටිවහලක් වනු ඇත. මෙහිදී අ.පො.ස සාමාන්‍ය පෙළ වයස අවුරුදු 15 දීත් අ.පො.ස උසස් පෙළ වයස අවුරුදු 17 දීත් මුහුණ දීමටත්, විභාග ප‍්‍රතිඵල ලබා දීම හා විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම වැනි වළක්වා ගත හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනිමට කටයුතු කළ යුතුමය.

මෙම ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් අපගේ දරුවන්ට ජාත්‍යන්තර රැකියා අවස්ථා වලට වැඩි අවස්ථා ලැබෙන අතර වසරකට සිදුවන අධිකුසලතා සහිත මිනිස් පැය ලක්ෂයක් පමණ අපතේ යෑම වළක්වාගත හැක. මෙය වසංගතයක් පවතින අවස්ථාවකදි වඩාත් අවශ්‍ය වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමවේදයේ පමාවන් තුළ හිර වී තමාගේ වටිනා කාලය වසර 4 ක් හෝ 5 ක් අපතේ යවන දරුවන් ඉන් ගලවා ගත යුතු බවත්, එයම රටක් ලෙස ඉදිරියට යෑමට හේතු වන බවත් අප පිළිගත යුතුය. එබැවින් දිනෙන් දින වයසට යන උපාධිය වෙනුවට තාරුණ්‍යයේ උපාධියක් ලබා දී රටේ දරු පරපුරේ අනාගතය සුරක්ෂිත කළ යුතු බව බලධාරීන් හා දේශපාලකයන් වටහා ගත යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම, බලපෑම අප නිදහස් අධ්‍යාපනයේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගත් පිරිසක් ලෙස අප විසින් අනිවාර්යයෙන්ම සිදු කරනු ඇත.

මෙම ඉලක්කය රට තුළ යථාර්ථයක් වන තුරු අප අවධියෙන් ඇති බවත්, ඒ තුළින් රට ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමට අප කටයුතු කරන බවත් අප සපථ කරමු.

*  පෙරඹර - වයසට යන  උපාධිය සහ  රටේ අනාගතය

 වෛද්‍ය නවීන්ද සොයිසා
 සහකාර ලේකම්
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment