භික්ෂුන් වහන්සේ හා ඇතුළු ආගමික නායකයන්ගේ පවා සහාය ලැබුණා – කාදිනල් තුමා

245

වතිකානයේදී ගැයූ ‘මා මව්නි’ ගීතිකාව ජාත්‍යන්තරයට පැතිරෙයි

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී ඉකුත් 25 වැනිදා පැවැති දේවමෙහෙයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිංහල ගීතිකාවක් ගායනා කිරීම සුවිශේෂී සිද්ධියක් බවට පත්විය.

“මා මව්නි අති ප්‍රේමනීය” යන මෙම ගීතිකාව එදින ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතියේ රැහැනට මෙතෙක් හසු නොකිරීම පිළිබඳව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් පවත්වන ලද මෙම දේව මෙහෙයේදී පාප් වහන්සේ කළ පණිවුඩය සහ ආශිර්වාදය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ වඩාත් ප්‍රසිද්ධියට පත් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල උදවිය මෙම දේව මෙහෙයට සහභාගී වී පාප් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සුවිශේෂී සිද්ධියක් ලෙස සටහන් විය.

මෙම පාස්කු ප්‍රහාරයේ එදා ලැබූ අත්දැකීම් එම පවුල්වල උදවිය පාප් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ කඳුළු සලමිනි.

ඔවුන් සිදු කළ වදන් බොහෝමයක් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් පරිවර්තනය කර පාප් වහන්සේට කරුණු ඉදිරිපත් කර තිබුණි. මා මව්නි අති ප්‍රේමනීය ගීතිකාව එහි වෙසෙන ශ්‍රී ලාංකික කිතුණුවන් සහ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වල උදවිය උස් හඬින් ගායනා කරද්දී දෙස් විදෙස් මාධ්‍යයට එම ගීතිකාව ඉතා වැදගත් විය. පාප් වහන්සේ කළ ඇරයුමක් අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පිරිස මෙසේ වතිකානුව බලා පිටත්ව ගොස් තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් පාප්වහන්සේ බැහැදැක ඔවුන්ගේ දුක්ගැනවිලි උන්වහන්සේට ඉදිරිපත් කළහ.

බෝම්බ පිපිරීමෙන් තම පවුල්වල උදවිය දෙව්මැඳුරේ දේව මෙහෙයට සහභාගි වූ මොහොතේ සිදු වූ බිහිසුණු අත්දැකීම් එම පවුල්වල පුද්ගලයන් පාප්වහන්සේ වෙත එකින් එක කරුණු විස්තර කරද්දී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා එම ප්‍රකාශ පාප්වහන්සේ හමුවට පරිවර්තනය කළේය.

මේ අතර මෙම බෝම්බ පිපිරීම් පිළිබඳව අදාළ මහ මොළකාරයන් නීතියේ හමුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම පිළිබඳ විරෝධතා රැල්ල ගෙන යෑම සඳහා මේ රටේ බෞද්ධ ජනතාව ඇතුළු විශේෂයෙන් භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්ගේ සම්පූර්ණ සහාය නො අඩුව ලැබුණු බව කාදිනල් හිමිපාණෝ මෙහිදී පාප්වහන්සේට පැවසූහ. පාස්කු ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ඉතාලියේ පාදුවාව ඇතුළු වන්දනා ස්ථාන වැඳ පුදා ගැනීමට ද අවස්ථාව හිමිවූහ.

ජෝසංගපාල ආරච්චි, ජූඩ් හෙට්ටිආරච්චි සහ ලූෂන් එඩ්වඩ් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment