චීන එක්සීම් සහතිකය ලැබුණා: IMF යුතුකම ඉටුකරාවි…

185

9 වැනිදාවකට යළි ඉඩක් නැහැ… උද්ඝෝෂණවලින් මේ වැඩ කඩාකප්පල් කළොත් ආණ්ඩුව තදින්

චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය පෙරේදා (06දා) රාත්‍රියේ ලැබීමත් සමග තමා සහ මහ බැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව තමන් රටේ යුතුකම මේ වනවිට ඉටු කර අවසන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය යුතුකම මේ මාසය අවසන් වීමට පෙර ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. දැනට රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

බදු බර වැඩි බව වෘත්තිකයන් කියනවා. එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේ ම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමැතියි.

දැන් ඩොලරය පහත බසිනවා. ජූලි 09 දා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්ත්වය තිබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ කාගෙවත් සහයෝගයක් තිබුණේ නැහැ. ඒ ගැන ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මම මේ අවස්ථාවේ ස්තුතිය පළ කර සිටිනවා. ඔවුන් ගත් ඒ පියවර නිසා අද අපට ඉන්ධන තිබෙනවා, විදුලි බලය තිබෙනවා. ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා. ඒ නිසා ඒ බලවේගවලට මේවා බිඳ දමන්න අප ඉඩ තබන්නේ නැහැ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment