රනිල්ගේ පොලු‍ හමුදාවට ජනතා බලය විනාශ කරන්න බැහැ – ජාජබ ජාතික විධායක සභික විජිත හේරත්

63

රනිල්ගේ පොලු‍ හමුදාවට ජනතා බලය විනාශ කරන්න බැහැ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

පසුගිය(12)දා ගම්පහ පැවති ජාතික ජන බලවේගය රැලිය අමතමින් ඒමහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25ත්, තැපැල් ඡන්දය සඳහා මාර්තු 28ත් ලෙස දින නියම කොට තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් තවමත් ලබාදී නැහැ. මුද්‍රණාලයාධිපතිනිය ආරක්ෂාව සහ අවශ්‍ය මුදල් ලබාදුනහොත් මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවට කොමිසමට පොරොන්දු වී තිබෙනවා. මුදල් ලේකම්වරයා, මුදල් ඇමැති අවසර ලබාදුනහොත් මුදල් ලබාදෙන බවට ප්‍රකාශයක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් ලේකම්වරයාට තීන්දුවක් දී තිබෙනවා මුදල් නිකුත් කරන ලෙසටත් කිසිදු බාධාවක් නොකරන ලෙසටත්. මුදල් ඇමැතිටත්, මුදල් ලේකම්වරයාටවත්, මුද්‍රණාලයාධිපතිනියටත් මේ අධිකරණ තීන්දුවට එරෙහිව කටයුතු කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බලය පාවිච්චි කර, මේ මැතිවරණය වළක්වන්න තවත් උත්සාහයක යෙදෙමින් ඉන්නවා. දොළවත්ත මන්ත්‍රී හා සේමසිංහ මන්ත්‍රී අධිකරණයට අපහාස වෙන අයුරින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තු කටයුතු සඳහා මැදිහත්වීමට අධිකරණයට නොහැකි බවට. රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති කරන්න. ඉතිහාසයේ මෙතෙක් නොතිබූ අර්බුදයක් ඇති කොට අලු‍ත් ප්‍රශ්නයක් ඇති කරන්න හැදුවොත් මේ රටේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් එක්ක එකතුවෙලා ඒ බාල්දියත් අනිත් පැත්ත පෙරළනවා. අපි ඉන්නේ 21වන ශත වර්ෂයේ. රනිල්ගේ අලු‍ත් උත්සාහය පරදවන බවට අපි සපථ කරනවා.

රනිල්ට මේ බිමේ ඡන්ද නැති නිසා ඡන්දෙට බයයි. රනිල් පිස්සෙක් වගේ කලබල වෙලා. පිස්සා කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ. ඡන්දෙ ඉල්ලලා පාරට බහින ජනතාව, ලයිට් බිල වැඩි කළාට එරෙහිව, බඩු මිල වැඩි වෙනකොට, බදු බර වැඩිවෙනකොට වෘත්තීයවේදීන් පාරට බැහැලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නකොට රනිල්ට උත්තර නැහැ. එයා ඒ වෙනුවට ගන්නේ පිස්සෝ ගන්න ක්‍රියාමාර්ග. මුහුණු වසාගත්ත, ජටා ගැටගහගත්ත, පොල්ලක් පිටේ බැඳ ගත්ත හමුදාවක් එවා තිබෙනවා. එහෙම පිරිසක් එව්වේ නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටිනවා. අපේ රටේ දියුණු, දක්ෂ බුද්ධි අංශයක් තිබියෙදී මේ හමුදා වෙසින් ආ පොලු‍ රැගත් පිරිස් කවුද කියා දන්නේ නැහැ කියනවා. රනිල්ගේ පොලු‍ හමුදාවට මේ රටේ ජනතා බලය විනාශ කරන්න බැහැ.

අයි.එම්.එෆ්. එක කොන්දේසි 15ක් දැම්මා. ඒකෙ කොන්දේසි 14ක් පසුගිය දෙසැම්බර් වෙනකොට සම්පූර්ණ කළා. ඉතිරි කොන්දේසිය මොකක්ද? තමුන්නාන්සේලාගේ ලයිට් බිල වැඩිකරන එක. අන්තිමට බලහත්කාරයෙන් එයත් සම්පූර්ණ කළා. ලයිට් බිල වැඩි කරලා අයි.එම්.එෆ්. එකේ 15වෙනි කොන්දේසියත් සම්පූර්ණ කළා. බදු වැඩිකරන්න, රුපියල පා කරන්න, රාජ්‍ය ආයතන විකුණන්න, බලශක්ති මිල වැඩිකරන්න, විදුලි, ගෑස්, තෙල්, බිල් වැඩිකරන්න මේවා අයි.එම්.එෆ්. එකේ කොන්දේසි. අපි බලාගෙන ඉන්නවා අයි.එම්.එෆ්. එකේ ඩොලර් මිලියන 2.9ක් එනකම් ගොඩ යන්න. මේක තමයි එයාලගේ මැජික් එක. මේ මැජික් එක 16 වතාවක් ජනතාවට පෙන්වා තිබෙනවා. මේ 16 වතාවක් ගත් ණයවලින් අපේ ආර්ථිකය ශක්තිමත් වුණාද? හොරකම, නාස්තිය, දූෂණය නැති කරන්නේ නැතිව 17 වෙනි වතාවටත් අයි.එම්.එෆ්. මැජික් පෙන්නුවාට අපේ රට ගොඩදාන්න බැහැ. මේ රටේ ආර්ථිකය ගොඩදාන්න නිෂ්පාදන ආර්ථිකයක් හදලා, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වැඩපිළිවෙළකට යන්න ඕනෙ. මේ ආර්ථික අර්බුදය ඇතිවෙලා තිබෙන්නේ ණය අර්බුදය නිසා. මේ හදන්නේ තවත් ණය අර්බුදයක අපිව හිර කරන්න.

මෙවැනි වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ ජනතාව එකතු වෙනවා, ඒ ජනතාවට පොලු‍ රැගත් නීති විරෝධී කණ්ඩායම් දමා ජනතාවට ගහන වෙලාවෙ, කඳුළු ගෑස් ගහලා මිනිසුන් මරා දමන වෙලාවේ ලංකාවේ ඇමෙරිකන් තානාපතිය ජුලී ජෑන්ස් නිහඬව ඉන්නවා. ඒ දිනවල මොනරෙක් පියෑඹුවත් ජුලී ජෑන් ට්වීටර් මෙසේජ් එකක් යවනවා. කාලෙකින් අපි එවැනි මෙසේජ් එකක් දැක්කේ නැහැ. හැබැයි රට පුරාම රනිල් ජනතාව මර්දනය කරමින් ඉන්නවා. මෙතරම් අපරාධ සිදුවෙන මොහොතක ඇමරිකානු තානාපතිය නිහඬ ඇයි? දුක් විඳින ජනතාව ශක්තිමත් පුරවැසියෝ වෙනවාට, දුක් විඳින ජනතාව දේශපාලනයේ ක්‍රියාකාරිත්වයට එනවාට මේ පාලකයෝ කැමති නැහැ. ඒ නිසා තමයි මේ මැතිවරණ වළක්වන්න උත්සාහ ගන්නේ. මේ රනිල් හුදකලාව ගහන තුරුම්පුවක් නොවෙයි. මේක අපි තේරුම් ගනිමු. පාර්ලිමේන්තුව, අධිකරණය අතර ගැටුම් ඇති කරලා, මැතිවරණ කල්දාන්න කරන උපක්‍රම, සකල විධ කුමන්ත්‍රණ පරද්දලා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන පාලනයක් ඇති කර ගන්න මාලිමාවේ අපි සූදානම් වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment