මවගේ අනියම් සැමියාගේ පහරදීමෙන් 7 හැවිරිදි දැරියක් මියයයි!

444

පහරදීමකින් 7 හැවිරිදි දැරියක මිය ගොස් ඇති බවට සැකපිට මවකගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.

අමානුෂික පහරදීමකට ලක්ව හත් හැවිරිදි දැරියක නිවසක් තුළ මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව හිරණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පැල්පොලගේ යොෂින් ශවිස්කා පෙරේරා නමැති හත් හැවිරිදි දැරියකි. මරණය සම්බන්ධයෙන් දැරියගේ මවගේ අනියම් සැමියා බව කියන 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැරිය ගල්තුඩේ ප්‍රදේශයේ පාසලක විශේෂ අධ්‍යාපන ඒකකයක ඉගෙනුම ලබන බවත් නිතර නිතර අසනීපයෙන් පෙළෙමින් සිට ඇති බවත් පොලිසිය කියයි. දැරියගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සැකකරු දැඩි වෛරයකින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් කීය. දැරිය සහ මව බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ඔවුන් දෙදෙනා සති තුනකට පෙර පානදුර හිරණ පිහිටි සැකකරුගේ මවගේ නිවසට කැටුව විත් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දරුවාගේ ශරීරයේ පහරදීම් සහ සපාකෑම් තුවාල කැළැල්ද දක්නට ලැබෙන බවද සඳහන් වේ.

පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ සිදුකරනු ලැබේ. සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment