සජිත් දිනවන්න ෆොනී බෑ කියයි

1240

සජබ තීරණවලටත් දෙහි කැපිල්ලක්

ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇත.

ෆොන්සේකා මහතා පක්ෂයට විරුද්ධව සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමට සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගෙන් සමන්විත පිරිසක් සමග පසුගියදා පාර්ලිමේන්තු කාමරයකදී පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

සමගි ජන බලවේගය පසුගිය කාලයේදී ගනු ලැබූ විවිධ දේශපාලන තීන්දු සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා දැඩි විවේචනයට ලක් කළ බව මෙම සාකච්ඡාවට සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්දයේදී සජබය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කිරීම වැරදි සහගත බව කියමින් ඒ පිළිබඳ පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය ප්‍රධාන වශයෙන්ම ෆොන්සේකා මහතා විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත. එම අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ලෙස පත්වූයේ නම් ජනාධිපති වී මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා කරනු ලබන කාර්යභාරය සිදු කිරීමට ඔහුට හැකි දැයි කියා ෆොන්සේකා මහතා ප්‍රශ්න කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා ගන්නා ලෙස කළ ඇරැයුම ප්‍රතික්ෂේප කිරීම ද ඔහුගේ විවේචනයට ලක් වී තිබේ. පක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන් තිදෙනකුට ද එහිදී ෆොන්සේකා මහතා දැඩි ලෙස චෝදනා කර ඇති අතර “එම ආර්ථික ඔස්තාර්ලාගේ කීම අසා සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන තීන්දු ගැනීම ඉතා වැරදියි” යැයි ඔහු සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා යම් තරමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් පාලනයට සහාය පළ කරන අන්දමින් අදහස් පළ කළ බව ඉහත ජ්‍යෙෂ්ඨයා කීය.

කෙසේ වෙතත් පක්ෂය විශේෂ තීන්දු තීරණ ගනු ලබන අවස්ථාවලදී ෆොන්සේකා මහතා එම අවස්ථා මග හරින බවත් යම් සාකච්ඡාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම ප්‍රමාද වුවහොත් ෆොන්සේකා මහතා බලා නොසිට අදාළ සාකච්ඡාවන්ට සහභාගි නොවී ඉවත්ව යන බවත් ඉහත ජ්‍යෙෂ්ඨයා පැවසීය.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට ඇති මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ වී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment