රස්සාවක් සෙවීම

“දැන් නම් මොනවාහරි රස්සාවක් හොයා ගන්නවා! තවත් නම් නිකන් ඉඳලා හරියන්නෙ නෑ!”

බිරිඳ උදේ පාන්දරම ගෝරනාඩු කරනවා. මං මුලින් කනේ ඇබ ගහගෙන ඉන්න බැලුවා. පස්සෙ ඇහැ පියාගන්න බැලුවා. ඊටත් පස්සෙ ටීවී එක සද්දෙට දාන්න බැලුවා. ඒත් ගෝරනාඩුව නතර වුණේ නෑ. පිරිමි ගෑනු ගන්නෙ මොකටද කියල මට හිතුණා. ඒත් පස්සෙ හිතුණා ගෑනු නැත්නම් පවුලක් නෑ නේද කියල. ඒත් පවුලක් නැත්නම් නරකද කියලත් හිතුණා මට. ඇත්තටම කාටද මේකට බැණ අඬගාන්න ඕන? බැණ අඬගාන්න ඕන අර රොකට් යවපු එවුන්ට කියල කියන්න මං කැමති නෑ. හිටුවා පස් ගහන්න ඕන බැංකුව කොල්ලකාපු එවුන් කියල කියන්නත් කැමති නෑ. උල තියන්න ඕන කඩේ ගිය ලොක්කන්ට බදු සහන දුන්නු එකාට කියන්නත් කැමති නෑ කොහොමටවත්. ඒත් එකෙක් මං මෙතනදි චූදිතයා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, මහත්මා ගාන්ධි. ඇත්ත වශයෙන් මං එයාට මහත්මා කියන්න කැමති නෑ. ඒත් නිකන් ගාන්ධි කිව්වොත් තවත් ගාන්ධිලාට බෝලෙ පාස් වෙනවා. ඒත් ගාන්ධිතුමා ඇයි අපේ කරුමෙට වගකියන්න ඕන? ඒ මනුස්සයා මොන වරදක් කළාටද? එතුමා නේද අවිහිංසාවාදී ව්‍යාපාරය පටන්ගත්තෙ? උන්නාන්සේ නේද දකුණු අප්‍රිකාවේත් වර්ණභේදවාදයට විරුද්ධව සටන් කළේ? ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයා කරපු නරකම දේ ඉන්දියාවේ නිදහස් අරගලේ දියත් කරපු එක. නිදහස් අරගලේ ඉස්සරහින්ම හිටියේ ගාන්ධි බව අපි දන්නවානෙ. එයා අරගලේ පෙරමුණ නොගත්තා නම් ඉන්දියාව තවමත් සුද්දා අතේ. අඩු ගානෙ හුඟ කාලෙකට එහෙම වෙන්න තිබුණා. එහෙම වුණා නම් අපිත් අද මේ කම්බ හොරුන්ට අහු වෙනවාද? නෑ. ඉන්දියාවට බත් හැන්දක් බෙදුව හින්දානෙ අපට බත්පත ලැබුණෙ.

බිරිඳගේ කෑකොස්සම්වලට මං විරුද්ධ වෙන්නෙ නෑ. විවාහ ජීවිතේ ආණ්ඩු පක්ෂයට විරුද්ධ පක්ෂයක් නෑ. විරුද්ධ පක්ෂයක් තියෙනවා. ඒත් ඒකට නිශේධ බලයක් නෑ. මොනවා වුණත් ඈ කියන දේ ඇත්ත. ඉක්මනින් සොයාගන්න වෙනවා මොනවාහරි රස්සාවක්. පාර අතුගෑවත් කමක් නෑ. පොල් කැඩුවත් කමක් නෑ. කරෝල වික්කත් කමක් නෑ. මොකක් වුණත් කමක් නෑ. ඉතින් මං ගෙයින් එළියට බැස්සා. මං ගියේ හන්දියේ සුදාගේ සැලුන් එක ගාවට. සුදාත් කොණ්ඩෙ කපන්න ගාණ උස්සලා හින්දා මිනිස්සු කොණ්ඩෙ කපන්න නෙවෙයි සැලුන් එකේ ඉන්නෙ, අමුක ඩුමුක අමල් ඩුමල් අහන්න සෙට් එකේ. මටත් හිතුණා රස්සා ප්‍රශ්නෙට උත්තර හොයනවාට වඩා හොඳයි අමල් ඩුමල් අහන්න ඇත්නම් කියල. ඒත් කරුමෙට මට ඒ සිංදු අහන්න බෑ. ඔළුව අමුක ඩුමුක වෙනවා.

“වැටෙන්න එපා මහත්තයා. ඔක්කොම මේ අවුරුද්දෙ විසඳෙනවා. ඡන්ද දෙකක්ම එනවානෙ.”

සුදා කිව්වෙ මගෙ මානසික අවුල තේරුම් අරගෙනද මන්දා. සුදා හරි. මේ අවුරුද්දෙ මොනවාහරි දෙයක් වෙන්න ඕන. ඒත් මොනවාහරි වෙන කොට අපි ජීවත්ව ඉඳීද? ඒක තේරෙනවා ලොකු සර්ට. තේරෙන නිසානෙ තිස්පන්දාහක් පඩි වැඩි කරලා තියෙන්නෙ දොස්තර මහත්තුරුන්ට. එතකොට අපි මැරෙන්නෙ අපි අපිම කාකොටාගෙන. ඇත්ත වශයෙන් ආණ්ඩුවක් තියෙනවා කියල හිතෙන්නෙ අන්න ඒ වගේ උත්තර එනකොට. විදුලි බිල්කාරයා, වතුර බිල්කාරයා, වරිපනම්කාරයා ගෙදරට බිල් ගෙනත් දෙනකොට.

“මං බැලුවෙ රස්සාවක් හොයාගන්න පුළුවන්ද කියල.”

බැරිම තැන මං කිව්වා සුදාට.

“රස්සා හොයන්න බෑ මහත්තයා. රස්සා හදන්න ඕන අද කාලෙ.”

උත්තර ලැබුණේ කඩේ ගාවට බීඩි උරන්න ආපු ජයසේනගෙන්. ජයසේන කුරුඳු තලන්නෙක්. මිනිහා වාඩියක් දාගෙන ගෑනියි, ළමයි හතර දෙනායි බල්ලායි බළලායි ඔක්කොම එකතු වෙලා කුරුඳු තලනවා. හැබෑට ජයසේන හරි නේද? මිනිහා කරන්නෙත් රස්සා හදන එකනෙ. මටත් බැරිද කුරුඳු තලන්න එකතු වෙන්න ජයසේන එක්ක? ඒත් කුරුඳු තලන්නත් පුහුණුවක් ඕන වෙනවා. කොකැත්ත හරි විධියට අල්ලන්න ඕන වෙනවා. කට්ට – පතුරු ගාණට මදින්න ඕන වෙනවා. කුරුඳු හන්දි කරන්න ඕන වෙනවා. මට ඒවා කරන්න පුළුවන්කමක් නෑ. මට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මට විභාග ප්‍රශ්න පත්තර හොරකම් කරන්න පුළුවන්. කෘෂිකර්ම එක පේපර් එක නෙවෙයි, කෘෂිකර්ම මුළු පේපර් එකමත් අනික් ඔක්කොම පේපරුත් උස්සන්න පුළුවන්. දැන් ඔහෙලා කියනවා නම් හෙට තියෙන උසස් පෙළ ප්‍රශ්න පත්තරේ අද හොරට උස්සන්න කියල මට ඒක සුළු දෙයක්. මොකද විභාග ශාලාධිපතිලා වුණත් මනුස්සයො. ප්‍රශ්න පත්තර පරීක්ෂකලා වුණත් මනුස්සයො. විභාග දෙපාර්තමේන්තුවේ ලොක්කලා වුණත් ටිකක් අතදිගෑරලා කන්න බොන්න කැමතියි. ඉතින් සල්ලි දැක්කාම ඕන පේපර් එකක් එළියට දෙනවා. මතකනෙ ‘සන්නස්ගලගේ ප්‍රශ්න පත්තර හොරකම’? ඒක නම් මරු පොතක් අප්පා. එකම දේ ඒක ලියන්න තෝරපු මිනිහා. දැන් මිනිහා රටෙනුත් පැනලා ලබු කබල් හින්දා. කොහොම වුණත් දැන් මං ප්‍රශ්න පත්තර හොරකම් කරන්නෙ නෑ. හැබැයි මං කැමතියි යූටියුබ් චැනල් එකක් නම් පටන් ගන්න. එතනදිත් පොඩි බයක් තියෙනවා. වීඩියෝ කැමරාව ඉස්සරහා වාඩි වුණාම මොනවා මගෙන් පිට වෙයිද කියල බයක් දැනෙනවා. මේ කාලෙ ඒ හැම දේමත් හිතන්න ඕනනෙ. පොලිසිය යුක්තිය ඉටු කරන්න ඉඩ තියෙනවා ඕන වෙලාවක.

ඇත්තටම ලියන්න කියන්න ඉගෙනගත්තු මිනිහෙකුට ගැළපෙන රස්සාවක් නැද්ද අද? මං මේ ගැන කල්පනා කළා. කල්පනා කරන්න කල්පනා කරන්න මගේ ඔළුවට ආවේ එහෙම මිනිහෙකුට කරන්න පුළුවන් එකම රස්සාව වීඑයිට් කට්ටියගේ මාධ්‍ය ඒකකයක ප්‍රශස්ති ලියන එක විතරයි කියල. ඇත්ත වශයෙන් මට හොඳට ප්‍රශස්ති ලියන්න පුළුවන්. මං කාලයක් පොත් ප්‍රකාශක අධිපතිතුමෙක් ළඟ ප්‍රශස්ති ලිව්වා පත්තරවලට. ඒ, පොත් අධිපතිතුමා බෝධිසත්ත්වයෙක් කියල. අවලෝකිතේශ්වර නම් නෙවෙයි. ඒවා ලිව්වාට මට ලොකු ගතමනාවක් හම්බුණු නැති එක ඇත්ත. ඒත් ඒ පුහුණුව හින්දා මට අන්දරේ වැඩ අමාරු නෑ. එකම දේ මාධ්‍ය ඒකකවල ඉන්දැද්දි හුස්ම හිර වෙනවා මගෙ. එතනදි හෘද සාක්ෂිය අල්ලලා විසි කරලා දාන්න සිද්ධ වෙන හින්දාද මන්දා.

“කරනවා නම් හොඳ රස්සාවක් තියෙනවා මහත්තයා.”

මං බැලුවා කවුද කථා කරන්නෙ කියල. ඒ, සුදාගේ බිරිඳ කමණි. කමණි දැක්කෙ නෑනෙ මෙතන ඉන්නවා මං. සමහර විට කමණි මැකිලා ඉන්න ඇති මෙතන. මොකක්ද කියන්නෙ ඈ?

“මහත්තයාට පුළුවන් ටීවී එකේ නිව්ස් කියන්න යන්න. මේ දවස්වල නිව්ස් කියන්න නළු නිළියොත් අරන් තියෙනවා සමහර චැනල් කට්ටිය. ඒ කියන්නෙ නිව්ස් කියන්න කට්ටිය නෑ කියන එකනෙ.”

පිස්සුද මන්දා මේ ගෑනිට! මං නළුවෙක්ද, නිළියක්ද නිව්ස් කියන්න යන්න? ලිය ලියා ඉන්නෙ නැතුව රඟපාන්න ඉගෙනගත්තා නම් ඔන්න සමහර විට මං ප්‍රවෘත්ති පූරකයෙක් වෙන්න සුදුසු වෙන්න තිබුණා. ඇරත් මේ පනහ පැනපු මිනිහෙකුට ප්‍රවෘත්තිකාරයෙක් වෙන්න! ඇත්තටම පනහ පැන්නා කියන්නෙ මිනිහෙක් විශ්‍රාම යන්න නියමිතයි කියන එක. විශ්‍රාම වයස කියන්නෙ ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න ඕන කාලයක්. එහෙම ඉන්න ඕන මිනිස්සු රස්සා හොයනවා! මොන විහිළුවක්ද! ඒත් ඒ විහිළුව කරන්න වෙලා අපි හැමෝටම. හැබෑට බැරිද අර යාපනේ සරුංගලේ නැඟලා අහසට ගිය මලෙයා සොයාගන්න? මලෙයා හම්බුණා නම් සෙල්පි ගහන්න නෙවෙයි, වෙන ග්‍රහලෝකයකටම යන්න සරුංගලේ එල්ලෙනවා.

“මං මහත්තයාට කිව්වා වගේ ඉස්සරහදි රස්සා ප්‍රශ්නෙ හුඟක් දුරට විසඳෙයි. මොකද ඡන්දයක් තියෙනවා කියන්නෙ රස්සා ගාණක් හම්බෙනවා කියන එකනෙ.”

සුදා නේද කිව්වෙ ඒක? සුදාට තියෙන දේශපාලන ඥානය අපට නෑ නෙව! රස්සා මවන එක විතරක් නෙවෙයි, ගැහැනියෙක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගැහැනියක් කරන එකයි වුණත් කරන්න පුළුවන් විධායක පුටුවේ ඡන්දෙ එනකොට. නැත්නම් මොන ගොන් වස්සෙක්ද මිනිස්සු වේලක් හැර වේලක් පිරිමහගනිද්දි චැනල් දාලාත් සාක්කු පුරෝගන්න කට්ටියකට තිස්පන්දාහක් පඩි වැඩි කරන්නෙ! මොනවා වුණත් එක දෙයක් හිතෙනවා මට. රස්සා කළත් වළේ අපි. රස්සා නොකළත් වළේ අපි. දෙකෙන්ම වෙන්නෙ ගොනා සෙක්කුවේ යන එක විතරයි.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment