මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

171

ගොළු වීම

අද භයානක දෙයක් සිද්ධ වුණා. අද මං ගොළු වුණා. උදේ ඇහැරෙද්දි ගෙදර හිටියේ මං විතරයි. වෙනදා වැඩට යද්දි මට කථා කරලා ගෙයින් එළියට බහින බිරිඳ අද කතාවක් බහක් නැතිව පිටත් වෙලා ගිහින් තියෙන්නෙ. ගෙදර කථා කරන්න කෙනෙක් නැති හින්දා මං හන්දිය දිහාට ගියා. හන්දියේ ජිනදාස මුදලාලිගේ කඩේ පුරුදු විධියටම ඇරලා. කඩේට ආ මිනිස්සුත් වෙනදා වගේම වඩේ කාකා ප්ලේන්ටි බිබී හිටියා. මං ප්ලේන්ටියක් තොල ගගා උන්නු ගුණදාසගෙන් නිකමට මෙන් ඇහුවා “දැන් ප්ලේන්ටිත් හරි ගණන් නේද?” කියල. ගුණෙයා මං දිහා හැරිලා බැලුවා, උත්තරයක් දුන්නෙ නෑ. මං කොට්ටම්බා ගහ යට දුම්වැටියක් උරමින් සිටි ඥානෙයා ළඟට ගියා. “ඉඩෝරය ඉඩෝරය කියල කිව්වාට ඔහෙ ඇති ඉඩෝරයක් නෑ නෙවෙද ඥානෙ?” මං යොමු කළ ප්‍රශ්නෙට ඥානපාලත් ඇහුණා නෑහුණා වගේ හිටියා විතරයි. මේකා මං අඥානයි කියලවත් හිතුවාද? මට එහෙම හිතුණා. ඒ හින්දා මං ඌට වෙනස් කතාවක් දැම්මා: “මෙතන වෙලා තියෙන්නෙ බෙංගාල බොක්කෙ පීඩන අවපාතයක් තියෙනවා. ඒ හින්දා මෙහෙට වහිනවා අරෙහෙට පායනවා.” ඒක දැම්මෙ මගෙ ඥානය පෙන්වන්න. ඒකට ඥානපාල මං දිහා බැලුවා. හැබැයි අමුතු සතෙක් දිහා බලනවා වගේ බැලුවේ. “හැබෑට ඥානෙටවත් මාව වටින්නෙ නැද්ද එහෙනම්?” මං කල්පනා කළා.

ඊළඟට මං හැරුණේ කඩේ ළඟ පත්තර කියවන විමලෙ දිහාට. මොනවා වුණත් පත්තර කියවන්න බුද්ධියක් ඕන. විමලෙ හුඟක් බුද්ධිමත් මිනිහෙක්. නැත්නම් පාස්පෝට් දෙකක් තියාගන්නෙත් නෑනෙ. “ඒෂියා කප් එකේ මොනවාද ආරංචි විමලෙ?” මං විමලෙගෙන් ඇහුවා. ඒ, ඔහු ක්‍රීඩා පිටුව බලමින් සිටි හින්දා. ඒත් ඔහුත් මාව තැකුවේ නැහැ. “ශකිබුල් හසන් ආපහු නයි පෙනේ අකුළගෙන නේද දැන් ඉන්නෙ?” මං එවර ටිකක් හඬ උස් කරලා ඇහුවා. මෙතන මොකක්හරි අවුලක් ඇති බවක් මට දැනුණා. විමලෙ මගෙ හඬට කියවමින් සිටි පත්තරෙන් ඔළුව ඉස්සුවා. හැබැයි ආයෙ පත්තරේටම එබුණා. හැබෑට මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ? එක්කො මං කියන දේ මොවුන්ට ඇහෙන්නෙ නෑ. නැත්නම් මොවුන්ට මාව වටින්නෙ නෑ. මට ඒ වෙලාවේ සැකයක් පහළ වුණා මං ගැන. මගේ කටහඬ ගැන. මගෙ කටහඬ නැති වෙලාද? මං ගොළු වෙලාද? මං මගේ කටහඬ ගැන හිතුවා. ඒත් මං කියන වචන මොවුන්ට ඇහෙන්නෙ නැතුව තියෙන්න පුළුවන්ද? ඊයේත් මං හන්දියට ඇවිත් මුදලාලි එක්ක කථා කළානෙ. මුදලාලි ගැන කල්පනා වෙද්දි මට මතක් වුණා අද දෙන්නම් කියල ඊයේ ණයට සිගරට්ටුවක් ගත්තා නේද කියල. මං ආපහු හැරිලා මුදලාලි දිහාට ගියා. “මුදලාලි, තවම පඩි හම්බුණේ නෑ අපේ වයිෆ්ගේ. සමහර විට හෙට හම්බෙයි. නැත්නම් අනිද්දා. අනිද්දා නැති වුණොත් ඉන් අනිද්දා. එහෙම නැති වුණොත් මං එන්නම් උදැල්ලක් අරගෙන ගෙවල් පැත්තෙ.” තවම මට වතු නෙළන්න පුළුවන්. මං බැගෑපත් වුණත් මුදලාලි මගෙන් ඇහුවේ මං නොහිතපු ප්‍රශ්නයක්: “මහත්තයාට මොනවා හරි ඕනද?” මං විපිළිසර වුණා. කථා දෙකක් නෑ, මං ගොළු වෙලා. මං කථා කරපුවා මුදලාලිට ඇහිලා නෑ. මං අහන දේට නෙවෙයි මුදලාලි උත්තර දෙන්නෙ. මං තව මොහොතක්වත් හන්දියේ රැඳුණේ නෑ. කෙළින්ම ගෙදර ආවා.

මං ගියේ ඉස්සරහා කාමරේ ඇඳට. ඇඳේ හාන්සි වුණු වෙලාවේ ඇඳ ළඟ කනප්පුව උඩ පොඩි කොළ කෑල්ලක් දැක්කා. “අපි වැඩට යනවා.” කොළේ ලියලා එහෙම තිබුණා. එහෙනම් අනුමානය නිවැරදියි. බිරිඳට මා එක්ක කථා කරන්න වෙන ක්‍රමයක් තිබිලා නෑ. මට බයක් දැනුණා. මං මැදිවියේ තමයි. ඒත් තව ජීවත් වෙන්න කාලයක් මගෙ ඉස්සරහා වැටිලා තිබුණා. දැන් මං මොකද කරන්නෙ? මං කොහොමද ගොළුවෙක් වගේ ජීවත් වෙන්නෙ! මං ඉස්සරත් ගොළුවෙක් වගේ නේද හිටියේ කියල මට මතක් වුණා. ඒත් එදා මං ගොළු වෙලා වගේ හිටියාට ඇත්තටම හිටියේ ගොළුවෙක් වෙලා නෙවෙයි නේද? මම නේද එදා මිනිස්සු එක්ක කථා කරන එක අත්හැරියේ? ඒකත් නොකර හිටියේ මගෙ හොඳට වඩා අනුන්ගේ හොඳට නේද කියල මගේ සිහියට ආවා. මොකද මං කථා කළොත් මගෙන් වැරදි වචන පිට වෙන්න පුළුවන්, මිනිස්සු මං කියන ඒවාට තරහා ගන්න පුළුවන්. අනික මං නොකියා හංගන්න ඕන දේවල් පවා කියනවා, කටට එන දේ කියනවා. මගේ කටට බ්‍රේක් නෑ. බ්‍රේක් ඔයිල් ගණන් ගිහින්. රෝල බෙයාරින්, බෝල බෙයාරින් එහෙමත් ගණන්. ටයර් නම් ළඟදි අඩු වුණා. ඒ වුණාට ගමේ ටයර් කඩේ අඩු වෙලා නෑ. ඒවා එහෙම තමයි. ඉතින් දැන් මං නියම හුදකලා මිනිහෙක්. ඒත් තමුසෙ හුදකලාව නේද හොය හොයා සිටියේ මෙච්චර කාලයක්? එහෙනම් මේක ස්වර්ණමය අවස්ථාවක්නෙ ඕයි තමුසෙට. ඊටත් තමුසෙගේ බිරින්දෑගෙ කන්කරච්චලෙනුත් දැන් තමුසෙ ගැලවෙනවා. ඉතිං මේකත් ගන්නවාකො සුබවාදී විධියට. මගෙ හිත මුරගෑවා. ඒත් අනික් පැත්තට හිතත් කෑමොර දුන්නා. නෑ, ඒක එහෙම සුබවාදී දෙයක් නෙවෙයි. හුදකලාව සොයා යෑමයි හුදකලාවට පත් වීමයි දෙකක්. දැන් වෙලා තියෙන්නෙ දැන් මං හුදකලාවට පත් වෙච්ච මිනිහෙක්. මිනිස්සු මින් මනත මට කථා කරන්නෙ නෑ. මං දිහා බලන්නෙ නෑ. බලයි, බලලා කියයි “අන්න පුතේ ගොළුවෙක්!” යනවා කියල. මං එහෙම වෙන්න කැමති නෑ. මට ඕන මිනිස්සු අතරේ ජීවත් වෙන්න. මාත් ඔවුන්ගේ කෙනෙක් කියල දනවන්න. ඒත් දැන් පැහැදිලියි. මං නිකං ගොළුවෙක්. ගොළුබෙල්ලෙකුටත් වඩා අන්ත අඳ – ගොළු – බිහිරි පාසලකට යවන්න ඕන ගොළු මිනිහෙක්. හැබැයි මතක තියාගන්න. මං අන්ධ නෑ. මං බිහිරිත් නෑ. මං බිහිරියි කියල තමයි හුඟක් දෙනා හිතන්නෙ. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න බඩතඩියො ටික හිතන්නෙ මං මෙලෝ මළදානයක් ඇහෙන්නෙ නැති ගොනෙක් කියල. ඒත් මට හොඳට ඇහෙනවා. මට ඊයේ ඔවුන් කියපු කරපු දේත් මතකයි. අද කියපු කරපු දේත් මතකයි. ඒත් ඒ මතකෙන් ඇති කෙහෙම්මලකුත් නෑ. ඊයේ උන් කියපුවා අදත් උන් කියනවා. හෙටත් කියනවා. අනිද්දාත් කියනවා. කියල නවතින්නෙ නෑ. ඒ කියන හැම දහදුරා වැඩක්ම කරනවා. ඒවා නවත්වන්න මට හැකියාවක් නෑ. මං එතන නිකන් බලා සිටින්නෙක් විතරයි. නිකමෙක් විතරයි. මං අදත් නිකමෙක්. හෙටත් නිකමෙක්. අනිද්දාත් නිකමෙක්. එහෙම බැලුවාම මගේ ඇස් පෙනුණත් වැඩක් නෑ. කන් ඇහුණත් වැඩක් නෑ. කථා කරන්න පුළුවන් වුණත් වැඩක් නෑ. ඒ අතින් මට ටිකක් සැනසීමක් තියෙනවා. ඒත් මිත්‍රවරුනි, කථා කරන්න බලු බල්ලෙක් නැතිව හුදකලාව ඉන්න එක ලේසු පාසු නෑ. මොකද මොනවා වුණත් අපි ජීවත් වෙන්න ඕන. අපි දැන් බිරන්තට්ටු වෙලා, සසල වෙලා, අරාජික වෙලා, නන්නත්තාර වෙලා. ඒ ඔක්කොම ඇත්ත. ඒත් අපට ගොළු වෙලා ඉන්න බෑ. කාට වුණත් මට බෑ. දෙයියනේ! මට බිරිඳ නැතත් මට පොඩි එකා එක්ක වචනයක් කථා කරන්න ඕන. මට මගෙ දරුවා එක්ක කථා කරන්න ඕන.

ඇඳේ එහා මෙහා එකල මෙකල වෙමින් ඉද්දියි මට කාමරේ දොරට තඩිබානවා ඇහුණෙ. කවුද මේ දොරට ගහන්නෙ? දොර ඇරියත් මං දොරට ගසන්නා එක්ක කථා කරන්නෙ කොහොමද? මං ගොළු බස දන්නවාද! විචිකිච්චා කප්පරක් කර තියාගෙන මං දොර අගුල ඇරියා.

“මොකද අනේ කරන්නෞ උදෙත් නිදි, දැනුත් නිදි, හැම වෙලාවෙම නිදි. මොකක්ද මේ වැඩේ!” ඔව්. ඇවිත් තිබුණෙ බිරින්දෑ. ඈ දැක්කාම හිතට සහනයක් දැනුණා. ඒත් හිතේ සැකය දුරු වෙලා තිබුණෙ නෑ. ඒ හින්දා දොර ඇරගෙන ගේ ඇතුළට ගිය ඈ පස්සෙන් මාත් ඇවිදන් ගියා. “මේ…. මේ…. පොඩ්ඩක් ඉන්න!” මං මට අහන්න ඕන ප්‍රශ්නයට උත්තරයක් ගන්න බැලුවා. ඒත් ඈ නෙවෙයි මට ඇහුන්කම් දෙන්න නැවතුණේ. ඈ පාරෙ ඇවිදිනවා වගේ ගෙයි ඇවිදිනවා නොනැවතී. “සොඳුර නවතින්න! ඔහොමම නවතින්න!” “මා නැවතී ඇත. ඔබ නවතින්න!” “නෑ. මම නැවතිලා. ඔබ දුවනවා. ඔබ නවතින්න!” මේ මොනවත් අහලා වැඩක් නෑ ඈ එක්ක. ඈට ඕන නෑ මට ඇහුන්කම් දෙන්න. මගෙ කටහඬ අහන්නවත් ඕන නෑ. මං ගොළුද නැද්ද කියල දැනගන්නවත් ඕන නෑ. අන්තිමේ මං ඇගේ අතින් ඇද ඈ නතර කළා. ඒ එක්කම මං කථා කළා: “ඔයාට මගෙ කටහඬ ඇහෙනවාද?” ඈ මං දිහා බැලුවා අන්න ඒ වෙලාවේ. මගේ හඬ ඇයට ඇහිලාද මං දන්නෙ නෑ. ඒත් ඈ උත්තරයක් දුන්නා. ඒත් ඒක අහපු ප්‍රශ්නෙට අදාළ උත්තරයක් නෙවෙයි: “මට හැමදාම පෝළිම්වල ඉන්න බෑ!ට්”

ඉතිං මෙන්න අපේ ප්‍රශ්නෝත්තර පොත:

“මං කියන වචන ඔයාට ඇහෙන්නෙ නැද්ද?”

“මට මෙහෙම තවත් ඇවිදින්න බෑ. මට කාරෙකක් අරන් දෙනවා!ට්”

“කටහඬ කියන එක කොච්චර වැදගත්ද අපට? මගේ කටහඬ ඇහෙන්නෙ නැත්නම් එතන ජීවිතයක් නෑ.”

“බලන්න, මගෙ කන – කර දිහා. ඔයාට නිකන්වත් දුක නැද්ද ඒ දිහා බලද්දි? අඩු ගානෙ අර කැඩිච්ච සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ල දිහා බැලුවාම!”

“දැන් මට තේරෙනවා. මං පිට කරන වචන නිකන් බල් බල් සද්දයක් විතරයි ඇහෙන්නෙ. එහෙම නේද සොඳුරිය?”

“හෙට අනිද්දා ලයිට් කපනවා. දැනටම ටෙලිපෝන් කපලා. ටීවී එක කපලා. ටීවී නොබලා අවුරුද්දකට වැඩියි. මේක ජීවිතයක්ද!”

“ඇත්තටම මේක ජීවිතයක්ද!”

“ඔව්. මොන ජීවිතයක්වත් මෙතන නෑ. මේක අපායක්. අපායේ අපි ජීවත් වෙනවා.”

“සම්පූර්ණ ඇත්ත. අපි ජීවත් වෙන්නෙ අපායේ! අපි මැරිලා. අපි මැරිච්ච මිනිස්සු!”

අන්තිමේ මං ආපහු ඇඳට ගියා. මං තීරණයකට බැස්සා. හෙට ඉඳලා ගොළු සමාජයක ගොළුවෙක් හැටියට ජීවත් වීමේ නීති පොත ඉගෙනගන්න මං තීන්දු කළා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment