අපාය!

මහ දවාලේ මං නපුරු හීනයක් දැක්කා. මං සිටියේ අපායේ. ඒක අන්ධකාර ලෝකයක්. යම රජ්ජුරුවො, යමපල්ලො මං දිහා බලාගෙන සිටියා. කටුඉඹුල්, ලෝදිය හැළි, ඉරුම් කියත් ආදිය මගෙ වටේ ගොරහැඩි මුඛ ඇරගෙන. සැරින් සැරේ යටිගිරියෙන් මිනිස්සු කෑගහනවාත් ඇහුණා. ඒත් මං බය වුණේ නෑ. හැබෑ ලෝකෙත් මං ඉන්නෙ අපායක. යම රජ්ජුරුවො, යමපල්ලො මං හොඳට අඳුරනවා. මං යන්නෙ කොතැනටද එතන යම රජෙක් ඉන්නවා. යමපල්ලො කොහොමත් ඉන්නවා. ඔවුන් කරන කියන ඒවා මං හොඳට දන්නවා. ඉතිං මොකට බය වෙන්නද! ඒත් මේ හීනෙ හිටපු යමයො මාව බය කළා වගේම සන්ත්‍රාසයට පත් කළා. ඒ කිව්වෙ ඔවුන් මාව කටුඉඹුලෙ ඇරියාද? මට ලෝදිය පෙව්වාද? මාව කියත් තලේ දෙපැත්තට දාලා දෙකට ඉරුවාද? නැත්නම් ගස් දෙබලක ගැටගහලා ගස් දෙක ඈත් කළාද? නෑ, ඒ කිසිවක් කළේ නෑ. ඒ වෙනුවට කළේ මාව යම ලෝකෙ ලේඛකයෙක් ළඟ වැඩට යවපු එක. යම ලෝකෙ වුණත් ලේඛකයො ඉන්නවා. ලේඛකයෙක් ළඟ වැඩ කරන එක කොච්චර දෙයක්ද? ඒක සන්ත්‍රාසජනක වෙන්නෙ කොහොමද? නෑ, ඒක ගොරබිරම් නරකාදියක්. නියම අවීචි මහා නරකයක්. මට තිබුණෙ යම ලේඛකයා මේ නරකයේ අණවන, පනවන දේ ලිවීම කිරීම. යම ලේඛකයා ඇත්ත වශයෙන් මෙලෝ රහක් නැති මිනිහෙක්. මෙලෝ ප්‍රතිභාවක් නැති මිනිහෙක්. මිනිහෙක් නෙවෙයි, යමයෙක්. ඔහුට ලේඛකයෙක් කියන්න බෑ. ඒත් යම ලෝකෙ එහෙම අය තමයි ලේඛකයො විධියට හඳුන්වන්නෙ. මොකද ඔවුන් පොත් ලියනවා. පොත් ලියන හැම එකාම ලේඛකයෙක්ද කියල එහෙ කවුරුවත් ඇහුවෙ නෑ. එහෙම අහන මිනිස්සු ඉස්සර ඉඳලා තියෙනවාලු. ඒත් දැන් නෑ. ඒ හින්දා එහෙ ලේඛකයෙක්ද නැද්ද කියල මැන්නෙ ලියපු පොත මොකක්ද කියල බලලා නෙවෙයි, ඒකට ලැබෙන ප්‍රචාරය සහ ලේඛකයා ලියපු පොත් ගණන බලලා. යම ලෝකෙ ලේඛකයෙක් සාමාන්‍යයෙන් මාසෙකට පොත් හත අටක් ලියනවා. අවුරුද්දට පනහක් හැටක් ලියනවා. කොච්චර ලිව්වත් ඒවා පළ කරන්න ප්‍රකාශකයොත් ඉන්නවා ඕන තරම්. ඒවගේම ලිව්වෙ කොච්චර දුර්වල පොතක් වුණත් එය මහා නවකතාවක් කියල උස්සලා ලියන විචාරකයොත් ඒ විචාර සහ යම ලේඛකයාගේ සම්මුඛ සාකච්ඡා පළ කරන මාධ්‍යකරුවොත් ඇති තරම් ඉන්නවා. එහි කවුරුහරි පොතක් ලිව්වාද – ලියලා මාධ්‍ය ප්‍රසිද්ධිය ගත්තාද – ඔහු පහුවදා වෙද්දි ප්‍රවීණ ලේඛකයෙක් වෙලා ඉවරයි. ඒවගේම සාහිත්‍යයට කිසි සම්බන්ධයක් නැති මාධ්‍ය මත විමසුමකදීත් – ව්‍යවස්ථා සංශෝධනය වගේ – මොවුන්ගේ අදහස් මාධ්‍යකරුවො අරගන්නවා.

ඉතිං එහෙම තැනක මං වැඩ කළේ. මුලදි මට තිබුණෙ යම ලේඛකයාව සම්මුඛ සාකච්ඡාවට ලක් කරලා පත්තරවලට ලිපි ලිවීමත් ඔහුගේ පොත්වලට පිටකැසීමේ විචාර ලිවීමත් කරන්න. ඔහුට මාසෙකට හුඟක් පොත් ලියන්න වෙන නිසා ඔහු පහුවෙන් පහුවට තනියම ලියනවා වෙනුවට ඔහුගේ කතා හඬනඟා කියවන්න වුණා. මට සිදු වුණේ ඒ කියවන දේ ලිවීම. ඒ කිව්වෙ කියවන විට ලිවීම. ඔහුගේ නමින් හුඟක් පොත් පළ වෙලා තියෙනවා. ඒත් බොහෝ විට ඒවා ඔහු ලියපුවා නෙවෙයි, ඔහු වෙනුවෙන් වෙන කවුරුවත් ලියපුවා – මං වගේ අපායේ පැහෙන මිනිස්සු තවත් ඉන්නවා අවීචි මහා නරකාදියේ. මේ කී දේට අමතරව තවත් අපායසහාය දෙයක් මට අපායේ කරන්න සිදු වුණා: යම ලියන්නාට මෑතක අලුත් තනතුරක් හම්බුණා යම රජ්ජුරුවන්ගෙන්. ඒ තමයි යම රජුගේ මාධ්‍ය හා කලා කටයුතු අධ්‍යක්ෂ ධුරය. මට ඔහු වෙනුවෙන් කඩේ යනවාට අමතරව ලියන්නා ඉදිරියට බා යම රජු වෙනුවෙනුත් කඩේ යන්න සිදු වුණා. ඒ කිව්වෙ යම මාධ්‍ය ඒකකය නමින් යම රජුගේ දේශපාලන කතා ලිවීම, රජාට ප්‍රශස්ති ගී ලිවීම, රජුගේ ජාතිය අමතා කරන ප්‍රකාශ ලිවීම ආදිය කරන එක. කොටින්ම රජා වෙනුවෙන් චිත්‍රපට පිටපත් ලියන්න තරම් වරෙක මං නරකාදියට වැටුණා. හැබෑ ලෝකයේ මං මහ රජාණන්ටත් සිංදු ලියලා තිබුණු නිසා රජාට කඩේ ගියා කියල මං නරකයට වැටෙයි කියල මං හිතුවෙ නෑ. ඒත් ඔහොම ඉඳලා වැඩි දොහක් යන්න කලින් මට පැහැදිලි වුණා මං මේ කරන්නෙ කවදාවත් අපායෙන් ගැලවෙන්න බැරි පාපකාරී දෙයක් කියල. ඒ කිව්වෙ මහ යමපල්ලාට මං රත්තරන් සළුපිළි, කුරහන් සාටක පලන්දලා මහ රජෙක් විධියට ඔහු ඉදිරිපත් කරන්නෙ අහිංසක මිනිස්සු ලෝදිය බොමින්, කටුඉඹුලේ බඩගාමින් නරා දුක් විඳින අතරේ නේද කියල. වෙන විධියකට කියනවා නම් මං අපාය සුන්නද්දූලි කර දානවා වෙනුවට මං අපාය නඩත්තු කරනවා නේද කියල. අන්න ඒ මොහොතේ මං හැබෑ ලෝකයේ කරන වරද ආයෙත් කළා: මං යම ලේඛකයා පවරන සමහර රාජකාරි කරහැරියා සහ යම රජු යමපල්ලෙක් බව හැඟවෙන විධියට ඔහුගේ දේශපාලන කතා විකෘති කර ලිව්වා. අපායේ ගියත් මං හැදෙන මිනිහෙක් නොවන විත්තිය පැහැදිලියි නේද!

ඉතිං ඔන්න ඔතනින් වැඩේ පටන්ගත්තෙ. ඒ කිව්වෙ මං කරපු වැඩේ අතේ මාට්ටු වුණාම යම ලේඛකයා කුපිත වුණා. “දැන්මම මං උඹව කටුඉඹුලෙ යවනවා! ඒත් ඊට කලින් මට උඹට ලෝදිය පොවන්න ඕන!” කියල මං දිහා බලාගෙන ඔහු දත්මිටිකෑවා. ක්රීරීරීක්…. ක්රීරීරීක්…. ගාලා ඔහු දත්කූරු කන සද්දෙ පවා මට ඇහුණා. මං සන්ත්‍රාසයට පත් වුණා. ඒ සන්ත්‍රාසයත් එක්ක මට මළමුත්‍රා ගියේ නෑ. ඒත් මං මම කළ වරද මොකක්ද කියල කල්පනා කළා. යමයාගේ ඇස් බැලූ විට මට පැහැදිලි වුණේ මං සමාව දෙන්න බැරි වරදක් කරලා කියල. ඒත් ඒ වරද මොකක්ද කියල මට තේරුම් කරගන්න බැරි වුණා. ඉතිං යමරාල මට ලෝදිය පොවන්න කලින් මංම ලෝදිය හැළියක් කටට වක්කර ගත්තා. ඔව්, මං ලේඛක යමයාගෙනුත් ඔහුගේ කාර්ය මණ්ඩලයෙනුත් ඔහුගේ සට්ටඹියාගෙනුත් ඔහු සේවය කරන යම රජ්ජුරුවන්ගෙනුත් කොන්දේසි විරහිතව සමාව ඉල්ලලා සංදේශයක් ඇරියා – යමයන්ට සංදේශ, ලියුම් කියුම් කියවීමේ හැකියාවකුත් තිබුණා. ඒත් සමාව ඉල්ලුවාට මට සමාව ලැබුණෙ නෑ. යමයා රත් වූ ඇසින් ලෝදිය හැළිය ළඟ ගිනි පිඹ පිඹ මං එනකන් බලාගෙන සිටියා. ඔහු අතේ ලෝදිය වෑහෙන සරලුවකුත් තිබුණා. මට විකල්පයක් තිබුණෙ නෑ. මං එක හුස්මක් වැටෙන්න කලින් යමයාගේ දෙපා මුල වැඳ වැටිලා මෙසේ කනිපින්දම් ගැසුවා:

“අනේ! පස්වහාන් දහසකට බුදුවණ්ඩ යම ගත්කරුවන් වහන්ස මගෙන් සිදු වූ වරදට මං මේ අපායේ අට ඉස්බක් උඩට පැන තව යට ඉස්බක් නරකාදියට බැහී පපුවේ අත්ගසා පොළොවත් ඉඹ ඉල්ලා හිටිනවා මින් මනත මගෙන් කිසිම රාජකාරි කරහැරීමක් වෙන්නේ නැත කියා. ඒවගේම පවරන ඕනෑම රාජකාරියක් නොපිරිහෙළා ඉටු කරන බවටත් පිළින දෙනවා. ඒ විතරක් නෙවෙයි, මගෙන් සිදු වූ වරදට තුහ්! ගා මට කෙළ තලියක් ගැහුවත් මගේ කිසිම අමනාපයක් නැහැ.” මේ එක්කම මගෙ දෙකම්මුල් පුරා යමයාගේ කෙළ තැම්බක් වැදී ගියා. ඒවගේම මගේ හිස මත්තට ලෝදිය වෑහෙන සරලුව උඩට යනවාත් පෙනී ගියා. ඒ මොහොතේ මං ජීවිතාශාව අත්හැරියා. ඒත් ඒ අවිනිශ්චිත නිමේෂයේ මට යම ලේඛකයාගෙන් ඇසුණෙ මෙවැනි වදනක්: “මං උඹට ලෝදිය පොවන්නෙවත් උඹව දෙකට ඉරන්නෙවත් නෑ! ඒත් උඹ එකක් කරන්න ඕන. උඹ මේ අපායේ හැම පොර පිටියකම හක්කලම් ගහලා හැම දේශපාලක උතුමෙකුගේමත් හැම යමයෙකුගේමත් කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න ඕන!”

අන්න තීන්දුව නිවාරණය වෙච්ච හැටි! ඇත්ත වශයෙන් යමපල්ලො කියන්නෙ හිතක් පපුවක් නැති සත්තු ජාතියක්. ඔවුන්ට සමාව දෙන්න බෑ. ඒත් මගේ පූරුවේ වාසනාවට නෙවෙයි, පූරුවේ කරුමෙට මට යමයාගෙන් සමාව ලැබුණෙ ඒ විධියට. එහෙම කොන්දේසියකට. ඒ කිව්වෙ වරදක් කළත් නොකළත් හැම බලවතා ඉස්සරහාම වැඳ වැටිලා සමාව යදින එක. ඉතිං තීන්දුව නිකුත් වූ මොහොතේ හිටං මං අපායේ හැම ඉසව්වකම හක්කළං කර කර හැම යමයාටම වැඳ නමස්කාර කර කර මං ඇවිදින්න වුණා. මං යමයන්ගේ ඉස්සරහටත් වැන්දා. පස්සටත් වැන්දා. මේ අතරේ දවසක් මට එක අමුතු යම දේශපාලකයෙක් හම්බුණු බවත් කියන්න ඕන. ඔහු ඉස්සරහා මං වඳින්න සැරසෙන කොටම ඔහු පස්සට පැනලා මගෙ අතේ තිබුණු බුලත් කොළේත් කාණුවකට විසි කරලා මට මෙහෙම කිව්වා: “මිනිහෝ, උඹ මොකාට වැන්දත් දේශපාලකයන්ට නම් වඳින්න එපා. දේශපාලකයො වඳින්න සුදුසු එවුන් නෙවෙයි!” මං ගල්ගැසුණා. හුඟක් වෙලා කල්පනා කළා. මට ඇත්ත වශයෙන් මෙහෙම යමයෙක් හම්බෙලා නෑ. මේ යම මහතාගේ කටේ මසුරන් දාන්න මට හිතුණා. ඒත් මසුරන් තිබුණෙ නෑ. ඒ හින්දා මං කකුල කටේ දාන්න බැලුවා. එතකොටම යම දේශපාලකයා සමනල්ලු රෑනක් එක්ක පියාඹලා ගියා කිලිනොච්චි දිහාවට. ඒකෙන් ඒක ඉවරයි. ඒත් මගෙ වැඳිල්ල නැවතුණේ නෑ. මං තවමත් වඳිනවා යමයන්ට. කොච්චර වඳිනවාද කිව්වොත් මගෙ ඔළුව ඇඳ විට්ටමේ ඇනිලා මං ඇහැරුණත් මට අපායෙන් චුත වුණා නේද කියල හෑල්ලුවක්, සහනයක් නෑ. දැනුත් මං වඳිනවා. දැන් වඳින්නෙ යමයන්ට නෙවෙයි, මිනිස්සුන්ට. ඒත් මට හැම වෙලාවෙම දැනෙන්නෙ මං ඉන්නෙ මිනිස් ලෝකෙ නෙවෙයි, යම ලෝකෙ කියල සහ මං වැඳ වැඳ යන්නෙ මිනිසුන්ට නෙවෙයි, යමපල්ලන්ට කියල. කාරණාකාරණ සිද්ධ වෙන විධියට මට හිතෙන්නෙම ඒ ලෝකයත් මේ ලෝකයත් අතර වෙනසක් නැත්නම් ඇයි මං මිනිස් ලෝකෙ දුක් විඳ විඳ පව් ගෙවන්නෙ අර යම ලෝකෙට යන්නෙ නැතුව කියල.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment