හරක් කටා ඔක්තෝබර් 6 දා උසාවි ගේන්න නියෝග

194

නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය එල්ල කර නිවෙස් හිමියා සන්තකයේ තිබූ රුපියල් විසිදහසක මුදලක් කොල්ලකා කාර් රථයක් පැහැරගෙන යාමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකාර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා ලබන ඔක්තෝබර් 6 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

මේ වනවිට මියගොස් සිටින හර්ෂ යසස් ශ්‍රී ජයම්භීර නමැත්තා සමඟ එක්ව 2015.06.10 වැනිදා මුල්ලේරියාවේ පිහිටි අනුර පාලිත පෙරේරා නැමැත්තාගේ නිවසට පැන එකී මංකොල්ලය සිදුකිරීමෙන් අනතුරුව පැමිණි ත්‍රිරෝද රථය අතහැර දමා නිවසේ තිබූ කාර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලෙන් කියවිණි. නඩුවේ නඩු භාණ්ඩයක් වන එම කාර්ය රථය හිමිකරුගේ අවශ්‍යතාවයක් මත අලෙවි කිරීමට අවසර දෙන ලෙසට කාර් රථයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චරිත් තුඩුවගේ මහතා කළ ඉල්ලීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නේය. මානුෂික හේතූන් ඉදිරිපත් කරමින් කර තිබූ එම ඉල්ලීමට පැමිණිල්ල වෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙන්ම විත්තිය වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතාද විරුද්ධත්වය නොදැක්වීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment