විස්සයි 20 කාන්තා ලෝක කුසලානයට – ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් ඉහළම සුදුසුකම ලබයි

223

චමරිගෙන් තවත් ශතකයක්

පන්දු වාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙරේදා (06 වැනිදා) පැවැති අවසන් මහා තරගයෙන් ජය ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව සිටී.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදියා ලෙස පසුගිය වර ශූරයන් වූ ඔස්ටේ්‍රලියාව මුණ ගැසීමට නියමිත අතර සත්කාරක දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීහු වෙති.

විස්සයි 20 කාන්තා ලෝක කුසලානයට - ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් ඉහළම සුදුසුකම ලබයි

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ශ්‍රී ලංකාව අතින් පරාජයට පත් වූ ස්කොට්ලන්තය දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

ඩුබායිහිදී පැවති එම අවසන් මහා තරගයේදී ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 68 ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 63 කදී ලකුණු 102 ක් රැස් කළ අතර ඒ සඳහා හතරේ පහර 13 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් වූයේය.

චමරිගේ දෙවැනි විස්සයි20 ශතකය වූ එම ශතකය මතින් ගොඩනැගුණු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 කට ලකුණු 169 ක් ලැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළේ ලකුණු 101 ක් පමණි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ උදේශිකා ප්‍රබෝදනී කඩුලු 3 ක් දවාගත් අතර අවසන් තරගයේ වීරවරිය සම්මානය චමරි අතපත්තු විසින් දිනා ගත් අතර තරගාවලියේ වීරවරිය සම්මානය කැත්රින් බ්‍රායිස් විසින් දිනා ගත්තා ය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 169/5 (පන්දුවාර 20)

චමරි අතපත්තු 102, නිලක්ෂිකා සිල්වා 26, කවීෂා දිල්හාරි 15,

පන්දු යැවීම

රැචෙල් ස්ලේටර් 2/35 (පන්දුවාර 4), කැත්රින් ෆ්‍රේසර් 1/18 (පන්දුවාර 3)

ස්කොට්ලන්තය 101/7(පන්දුවාර 20)

පී. චැටර්ජි 3, රැචෙල් ස්ලේටර් නොදැවී 15, ක්ලෝ අබෙල් 11,

පන්දු යැවීම

උදේශිකා ප්‍රබෝදිනී 3/13 (පන්දුවාර 4), ඉනෝෂි ප්‍රියදර්ශනී 1/13 (පන්දුවාර 4)

advertistmentadvertistment
advertistmentadvertistment