රුසියාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ගොඩනැඟිලිවලට හානි

350

රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට ඊයේ (30දා) එල්ල වූ ඩ්‍රෝ යානා ප්‍රහාරයකින් නගරයේ පිහිටි ගොඩනැඟිලි ගණනාවකට සුළු හානි සිදුව ඇති අතර නගර වැසියන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බව මොස්කව් නගරයේ නගරාධිපති සර්ගේ සොබියනින් විදෙස් මාධ්‍යයට පවසා තිබේ. මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් කිසිවකුටත් බරපතල තුවාල සිදුව නොමැති බව සඳහන් කර ඇති මොස්කව් නගරාධිපතිවරයා හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම් ප්‍රහාරය; එල්ල වූ ගොඩනැඟිලි වෙත කඩිනමින් යවා ඇති බව අවධාරණය කර තිබේ. ප්‍රහාරය එල්ල වූ ගොඩනැඟිලි තිබෙන ප්‍රදේශවල නිවැසියන් රැසක් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. කෙසේ වුවද සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර ඇති මෙම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධ ඡායාරූපවල අදාළ ප්‍රහාරයෙන් පසු මොස්කව් නගරයේ අහසට කළු පැහැති දුමක් පිටවන ආකාරය හා ගොඩනැඟිලිවල ජනෙල් කැඩී ගොස් තිබෙන අයුරු දක්නට ලැබී ඇත.

රුසියානු ගුවන් හමුදාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයට මිසයිල ප්‍රහාරයන් එල්ල කරමින් සිටින අවස්ථාවක මොස්කව් නගරයට එල්ල වී ඇති මෙම ප්‍රහාරය සිදු කළ ඩ්‍රෝන යානා පැමිණි රට පිළිබඳව ඊයේ (30දා) දහවල් වන විටද අනාවරණය වී නොතිබිණි. කෙසේ වුවද මොස්කව් නගරයට ප්‍රහාරය සඳහා පැමිණෙමින් තිබූ ඩ්‍රෝන යානා 10ක් පමණ රුසියානු ගුවන් හමුදාව විසින් පහර දී බිම හෙළා ඇති බව වාර්තා වී තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ප්‍රහාරය යුක්‍රේනය විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම ප්‍රහාරය මොස්කව් නගර බලධාරීන් විසින් සුළු ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇතත් නගරයේ සිටින විදෙස් මාධ්‍යවේදීන් එය නිර්වචනය කර ඇත්තේ ඔවුන් සිටි නිවාස පවා සෙලවීමට ලක් කළ පිපිරීම් ප්‍රහාරය හේතුවෙන් සිදු වූ බවයි. රුසියානු හමුදා විසින් දින ගණනාවක සිට යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයට දිගින් දිගටම එල්ල කරමින් සිටින ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයන්ට එරෙහිව සිදු කරන ප්‍රති ප්‍රහාරයක් වශයෙන් යුක්‍රේනය මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව බොහෝ විචාරකයන්ගේ මතය වුවද මේ සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් විසින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

කෙසේ වුවද යුක්‍රේනයේ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වන ජෙනරාල් කයිරිලෝ බුදනොව් ඉකුත් සඳුදා රුසියාවේ මිසයිල ප්‍රහාරයන්ට එරෙහිව ඉක්මන් ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා තිබිණි. මේ අතර පෙරේදා (29දා) රාත්‍රියේ යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයට රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් 33 හැවිරිදි කාන්තාවක් මිය

ගොස් තිබේ. යුක්‍රේන ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි රුසියානු ඩ්‍රෝන යානා 31කින් 29ක් පෙරේදා දිනයේ(29දා) පහර දී බිම හෙළු බව නිවේදනය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment