ළමා අපචාර සිද්ධියකට දඹුල්ල හිටපු නගරාධිපතිගේ මල්ලී අත්අඩංගුවට

413

දොළොස් හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන සිද්ධියකට දඹුල්ල හිටපු නගරාධිපතිවරයාගේ සොහොයුරා දඹුල්ල මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (30 දා) අත්අඩංගුවට ගෙන ඇත.

දරුවාට සිදුවූ අපයෝජනය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට තොරතුරක් ලැබීමත් සමග එම අධිකාරිය 29 වැනිදා දඹුල්ල මූලස්ථාන පොලිසියට සිද්ධිය දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදු කරමින් සිටියදී 50 හැවිරිදි සැකකරු පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පසුගිය වසරේදී අවස්ථා කීපයකදීම මෙම දරුවා අපයෝජනය සඳහා යොදාගෙන ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය කළ දැනුම් දීමකට අනුව දඹුල්ල මුලස්ථාන පොලිසිය පසුගිය දින කීපය පුරා සැකකරු අත්අඩංගුවට ගැනීමට නිවසට හා සැකකරු රාජකාරි කළ වැඩ පරිශ්‍රයට ගියද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම සැකකරු පිළිබඳව ප්‍රචාරය වීමට පටන් ගැනීමත් සමග සැකකරු පොලිසියට පැමිණ භාර විය.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂක නිලූකා විජේසුන්දර මහත්මිය ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 12 හැවිරිදි පිරිමි දරුවාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සැකකරු මීට පෙර ද මෙවැනිම සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment