අවදානමට පිළියම රක්ෂණයයි

160

ලෝකයේ කිසිවක් ස්ථිර නැත. සනාතන දහම එයයි. හැමතැනම ඇත්තේ අවදානම් සහගත බවකි. ජීවිත ගත්තත්, දේපළ ගත්තත් මේ සියල්ලටම එය පොදුය. ව්‍යාපාරවලට ද එය එසේ ම බලපායි. එයට හේතු කාරණා බොහෝ තිබේ. ස්වාභාවික විපත්, අනතුරු, කැරලි කෝලාහල, හදිසි ගිනිගැනීම්, රෝගාබාධ ඇතුළු බොහෝ දේවල් මෙම අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.

මෙම අවදානමෙන් යම් තරමක් දුරට සහනයක් ලබාගැනීමට අවදානම පැවරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. අවදානම පැවරීමේ යාන්ත්‍රණයට අපි රක්ෂණය කියා කියන්නෙමු. මෙහිදී රක්ෂිතයාට සිදුවන අලාභය මුදලින් තක්සේරු කෙරෙන අතර අවදානම ලක්වන්නාට වන හානිය පූර්ව වශයෙන් හෝ අර්ධ වශයෙන් පියවා ගැනීමට එමගින් අවස්ථාව හිමිවෙයි. එම හානිපූරණය තීරණය වන්නේ තමා විසින් ගනු ලබන රක්ෂණ ආවරණ ක්‍රමය අනුවය.

වාණිජ ලෝකය දියුණු වීමත් සමග බොහෝ අවදානම් දේ රක්ෂණය කිරීමට මිනිසුන් පෙළඹුණි. එය තම ජීවිතය පමණක් නොව දේපළ ඇතුළු බහුවිධ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස නොයෙක් රක්ෂණ ක්‍රම මේ වන විට හඳුන්වා දී තිබේ.

ජීවිත රක්ෂණයක් ගත් විටද තමන්ට සිදුවන රෝගාබාධ අනතුරු සහ ජීවිත හානිවීමේදී පවා පිහිටට එන්නේ රක්ෂණයයි. එබැවින් රක්ෂණය යනු කළු වලාවක රිදී රේඛාවකි.

දේපළ රක්ෂණය වගා රක්ෂණය යානවාහන බහුවිධ යන්ත්‍රෝපකරණ ඇතුළු ඕනෑම දෙයක් රක්ෂණය කිරීමෙන් කෙරෙන්නේ ඒවාට ඇති අවදානම අවම කිරීමකි. එහිදී තමන්ට දැරිය හැකි මුදලකට රක්ෂණ ක්‍රමවේදයන් කළ හැකිය.

නමුත් රක්ෂණය කිරීමේදී බොහෝ රක්ෂිතයන්ට වරදින තැන් බොහෝය. තමන්ට සිදුවන හානිය ගැන නිවැරදි අවබෝධයක් රක්ෂිතයාට අනිවාර්යයෙන් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ගතහොත් තම වාහන රක්ෂණය කිරීමේදී කැරලි කෝලාහලවලට එය රක්ෂණය කර නැතිනම් එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් ඔහුට රක්ෂණයෙන් ලැබෙන මුදල් ලැබෙන්නේ නැත. ඔහුගේ හානිය ප්‍රතිපූරණය වන්නේ නැත. සෑම විටම රක්ෂිතයාට තමන් ලබාගන්නා රක්ෂණය ගැන මනා අවබෝධයක් තිබිය යුතුමය. තමන්ට එසේ එම අවබෝධය නැත්නම් ඒ පිළිබඳව දැනීම තිබෙන අයෙකුගෙන් උපදෙස් ගැනීම අනිවාර්ය කරුණකි. නැතිනම් ඔහුගේ රක්ෂණයෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබී යෑමට ඇති ඉඩකඩ බොහෝ ය.

ඒ නිසා තමන්ට ආවරණය කරගැනීමට අවශ්‍ය කුමක්ද යන්න ගැන නිසි අවබෝධයක් ඇතිව තම රක්ෂණය තෝරාගත යුතුය.

උදාහරණයක් ලෙස ගතහොත් බොහෝ පවුල්වල තම ස්වාමියා මියගිය විට ඔවුන්ට ජීවත්වීමට නොහැකි වාතාවරණයක් ඇති වෙයි. ඒ පවුල් කුඩුම්බයේ ධනය උපදවන්නා වූයේ තම ස්වාමියා නම් එම ධන උත්පාදනය නැති වීම පවුලේ ඉතිරි අයගේ ජීවිතවලට එල්ල වන්නේ විශාල අභියෝගයකි. එම අභියෝගය සුළුපටු එකක් නොවේ. එක වරම තම පවුලට ලැබෙන ආදායම නැතිවීම සිතා ගැනීමටත් නොහැකිය. එහිදී තම ස්වාමියාට නිසි පරිදි ජීවිත රක්ෂණයක් තිබුණේ නම් එය එම පවුලේ ජීවත් වන සියලු දෙනාටම මහා අස්වැසිල්ලකි.

මෙලෙස ගත් විට තම ව්‍යාපාර වේවා මහා පරිමාණ හා කුඩා පරිමාණ ගොවිබිම් ඇතුළු මේ සියල්ල රක්ෂණය කර ගත් විට එහිදී සිදුවන ධන හානිය යම් තරමක් දුරට හෝ සම්පූර්ණයෙන්ම හෝ දරා ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ ගොවීන් ගත් විට ඔවුන් නිතර නිතර බොහෝ කරදර වලට මුහුණපායි. එහිදී සිදුවන්නේ ඔවුන්ගේ අස්වනු නෙළා ගැනීමට නොහැකි වීමය. නැතිනම් යොදා ගත් බීජවල ඇති අකාර්යක්ෂමතාවය ය. නැතිනම් කෘමි උවදුරු ය. කුමන හේතුවකින් හෝ ඔවුන්ගේ වගාවන්ගෙන් ලබාගත හැකි ආදායම ගිලිහී යයි. එහිදී ඔවුන් මෙම ව්‍යසනවලට මුහුණපාන විට රක්ෂණය වී සිටියා නම් මෙහි වගකීම එම ආයතන දරයි. එබැවින් සිදුවන හානිය යම් දුරකට හෝ සීමා කර ගැනීමට හැකිවීම මහත් රුකලකි.

මෙලෙස ගත් විට අවදානම් බොහොමයකින් අත්මිදීමේ පහසුම ක්‍රමය රක්ෂණයයි. මේ වන විට රක්ෂණය පුළුල් පරාසයක් දක්වා විහිදී තිබේ. එබැවින් ඕනෑම අවදානමකට කිසිදු බියක් නොමැතිව මුහුණ දීමට හැකිය. එබැවින් රක්ෂණය යනු අවදානමින් මිදීමේ කෝකටත් තෛලය වී හමාරය. තමන්ට මුහුණදීමට සිදුවන අවදානම වෙන අතකට හරවා ගෙන ඒ මුදල් වලට පරිවර්තනය කර ගැනීමට හැකිවීම ඉතාමත් වාසිදායක ක්‍රමෝපායකි. එබැවින් ඕනෑම අවදානමකට පෙර සූදානමක් ලෙස රක්ෂණය හඳුන්වා දිය හැක.

නමුත් තවමත් අප රටේ මෙම රක්ෂණ ක්‍රමවේදය භාවිතයට ගැනෙනුයේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. එයට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ හානි පරිපූර්ණයේදී රක්ෂිතයාට මුහුණ පෑමට සිදුවන නොදැනුවත්කම නිසාය. එබැවින් ජනතාව දැනුවත් කිරීමේ දී ඇතැම් රක්ෂණ ආයතන ඇත්තේ ඉතාමත් පසුගාමීවය. එබැවින් ජනතාව මෙම රක්ෂණ ධූරාවලිය සඳහා පෙළඹවීමට නිසි ක්‍රමවේදයන් සොයා ගත යුතුය. එහිදී ඔවුන්ගේ හානි ප්‍රතිපූරණය කිරීම වඩාත් කාර්යක්ෂම සහ අවංක භාවයෙන් යුතුව කිරීමට වග බලා ගත යුතුය.

● රුවන් කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment