ඉතාලියේ රස්සා හාරලක්ෂ පනස්දාහක්…අයැදුම් කිරීම ඔක්තෝබර් මාසයේ සිට…

2006

මිලියන හැටකට ආසන්න ජනග්‍රහණයකට හිමිකම් කියන යුරෝපයේ සුන්දරම දේශය ඉතාලිය මෙවරත් ලෝකවාසී සහෝදර රටවලට මනුෂ්‍යත්වයේ දෑත දිගුකරමින් වර්ෂ 2023, 2024 සහ 2025 සඳහා රැකියා අවස්ථා 452,000 ලබාදීමට එරට රජය මගින් කටයුතු සූදානම් කොට ඇත. ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය මේ වනවිටත් නිකුත්කොට ඇති අතර අයැදුම් කිරීමේ දිනය තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.

යුරෝපයේ මේ වනවිට පවතින අධික උණුසුම නිසා වැඩි පිරිසක් නිවාඩු කාලයේ ගතකරන බැවින් රැකියා ආයතනවල රාජකාරි කටයුතු අගෝස්තු මාසයේ ඉතා මන්දගාමී තත්ත්වයක් පවතින හෙයින් ඊට අදාළ ඉල්ලුම් කිරීමේ දිනය (CLICK DATE) සැප්තැම්බර් අගභාගයේදී හෝ ඔක්තෝම්බර් මසදී සිදුවන ඇතැයි විශ්වාසය පලකළ හැක.

452,000 රැකියා අවස්ථාවන් පෙර වර්ෂවලට සාපේක්ෂව මෙවර බෙදී යන්නේ වර්ෂ 2023 සඳහා අවස්ථාවන් 136,000 ක් වර්ෂ 2024 සඳහා 151,000 ක් සහ වර්ෂ 2025 සඳහා රැකියා අවස්ථාවන් 165,000 ක් ආදී වශයෙන් ය. 452,000 රැකියා අවස්ථාවන් සියල්ලම පෙර වර්ෂය මෙන් ඉතාලි රජය මගින් තෝරාගත් රටවල් තුළ බෙදීයන අතර අපේ රටේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මත එකී රැකියා අවස්ථාවන් තුළින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

ඉතාලියේ රස්සා හාරලක්ෂ පනස්දාහක්...අයැදුම් කිරීම ඔක්තෝබර් මාසයේ සිට…

මෙකී රැකියා අවස්ථාවන් පෙර පරිදිම මෙවරත් බර වාහන රියැදුරු, ඉදිකිරීම් අංශය, ගෙවතු අලංකාරය, හෝටල් කර්මාන්තය, මෝටර් කාර්මික, කෘෂි කර්මාන්තය, ග්‍රෝසරි ආයතන වශයෙන් කොටස් කර ඇති අතර ඊට අලුතින් එකතුවන රැකියා අවස්ථාවන් වන්නේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් බලාපොරොත්තු වන ගෘහ සේවය සහ වැඩිහිටි සත්කාර රැකියා අවස්ථාවන් ය.

මීට අමතරව මේ වසරේ මාර්තු මාසේ 27 දින ලබාදුන් රැකියා අවස්ථාවන් සඳහා අයැදුම්කොට නිර්දේශිත රැකියා කෝටාවට ඇතුළුවීමට නොහැකි වූ අයැදුම්කරුවන් සඳහා මෙවර ප්‍රකාශිත රැකියා කෝටාවට නැවත වරක් අයැදුම් කිරීමකින් තොරව සෘජුවම ඒ සඳහා ඔවුන් වෙත ප්‍රමුකත්වය ලබාදීමට ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගිය වසරේ මෙන්ම මේ වසරේ මාර්තු මාසයේ දී ඉතාලි රජය මගින් ලබාදුන් රැකියා සඳහා අයැදුම්කොට ඒ සඳහා තේරීපත්වුණ අයැදුම්කරුවන් වෙත වීසා ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීමට ලබාදෙන රැකියා බලපත්‍රය තානාපති කාර්යාලයට භාරදී වීසා බලාපොරොත්තුවෙන් පසුවන අයැදුම්කරුවන් සඳහා ජුලි මස 23 දින සුවිශේෂී නීතිකෙටුම්පතක් ඉතාලිය තුළදී සම්මත කරන ලදි. ඉතාලියේ රැකියා සඳහා යෑමට බලා පොරොත්තුවන සියලුම අයැදුම්කරුවන් තනාපති කාර්යාලයේ නිලලත් V.F.S. ආයතනයේ ලබාදෙන පෝරමය නිසි පරිදි පුරවා ඊට අදාළ සියලුම ලියැකියවිලි සත්‍ය ලෙස තහවුරු වෙන අයැදුම්කරුවන් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව විසා බලපත්‍රය නිකුත් කරන ලෙසය.

ඉතාලියේ රස්සා හාරලක්ෂ පනස්දාහක්...අයැදුම් කිරීම ඔක්තෝබර් මාසයේ සිට…

එබැවින් රැකියාවන් සඳහා අයැදුම් කරන අයැදුම්කරුවන් V.F.S. ආයතනය වෙත තමන්ගේ ලියැකියවිලි භාරදීමේ දී නිවැරදි සහ පැහැදිලිව ලබාදීමට කටයුතු කිරීම තුළ ඉතා කෙටි කාලයක් තුළදී තම රැකියාවට අදාළ වීසා බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනු ඇත. කිසිදු අයැදුම්කරුවකු ව්‍යාජ ලේඛන ලබාදීම තුළදී ඔහුට හෝ ඇයට ඉතාලියට පැමිණීමේ අවස්ථාව පැහැදිලිව අහිමිවෙන අතර ඒ සඳහා අවශ්‍ය දැඩි නීති කෙටුම්පත් ඉතාලි රජය මඟින් තානාපති කාර්යාල වෙත ඍජුවම ලබා දී ඇත.

මෙවර ගෘහ සේවය සඳහා අයැදුම් කිරීමේදී අවම ආදායම වාර්ෂිකව යුරෝ 25,000ට නොවැඩි විය යුතු අතර වාර්ෂික ආදායම සනාථ කිරීමට නොහැකි වන සේවාදායකයන්ට එකම පවුලේ (දෙමාපියන් දූ දරුවන්) දෙදෙනකුගේ ආදායම ඉදිරිපත් කොට ගෘහ සේවය සඳහා සේවා යෝජකයන් ලබාගැනීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් අවස්ථාව සලසා දී ඇත. එබැවින් මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ වාර්ෂික ආදායම ඉදිරිපත්කොට යම් සේවා යෝජකයෙක් ශ්‍රී ලංකාවෙන් අයැදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අනිවාර්යකොට ඇති ප්‍රාදේශීය රැකියා ලබාදෙන CENTRO PER I.IMPIEGO ආයතනයේ ලියාපදිංචි වීම සහ CERTIFICATO IDONEITA ALLOGGIATIVA සඳහා අවශ්‍ය මාර්ග උපදේශකයන් අනුගමනය කිරීම තුළ වසර ගණනාවකින් පසු ගෘහ සේවය සඳහා සේවා යෝජකයෙක් ලබාගැනීමට ඔබටද අවස්ථාව හිමිවෙනු ඇත.

ලලිත් හෙට්ටිආරච්චි
ඉතාලියේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment