අනුරගේ ඉන්දියානු සංචාරය:

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් එන්පීපී (ජාතික ජන බලවේගය) නියෝජිත පිරිසක් පසුගියදා සිදු කළ ඉන්දීය සංචාරය රටේ දේශපාලන කව තුළ උණුසුම් සංවාදයක් නිර්මාණය කර තිබේ. ඇතැම් පාර්ශ්ව 1980 ගණන්වල ඉන්දීය විරෝධී ස්ථාවරය සිහිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කිරීමට මෙම අවස්ථාව තෝරාගෙන ඇති අතර තවත් සමහරක් ඉන්දීය කලාපීය ආධිපත්‍යවාදයට යටවීමේ අවදානම පිළිබඳව අදහස් මතු කරති. කෙසේ වෙතත් ඉන්දියානු රජය එන්පීපී නියෝජිත පිරිසකට සාකච්ඡා සඳහා ඉන්දියාවට ආරාධනා කරනු ලැබීම ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුව තුළ සිටින්නේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමණකි. එසේම ලාංකේය දේශපාලනය තුළ මෑතක් වන තුරුම එන්පීපීය සලකනු ලැබුවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට අභියෝග කළ නොහැකි කුඩා දේශපාලන පක්ෂයක් ලෙසය.

එහෙත් එවකට සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතා අරගලයකින් පලවා හරිනු ලැබූ ඓතිහාසික 2022 වසරත් සමග නිදහසින් පසුව ලාංකේය දේශපාලනය තුළ ආවේණික ලක්ෂණයක් වූ ද්වීපක්ෂ ක්‍රමයේ පැහැදිලි බිඳවැටීමක් සලකුණු වී ඇත. එහි තර්කානුකූල ප්‍රතිඵලය වී ඇත්තේ ජාතික ජන බලවේගය තීරණාත්මක දේශපාලන බලවේගයක් ලෙස කරළියට පැමිණීමය.

ඉන්දියාව දැනට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ නායකයාට ආරාධනා කර නැති නමුත් එන්පීපීයේ නායකයා ඇතුළු නියෝජිත පිරිසකට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබේ. (ලිපිය ලියන මොහොත වන විට ‘නිල’ විපක්ෂ නායකයා අනුරට ලබා දුන්නා හා සමාන සංචාරයක් තමාටද ලබා දෙන ලෙසට ඉන්දියාවට ඇවටිලි කර ඇති බවටද එයට ඉන්දියාව යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබේ.) කෙසේ වුවද මෙයින් පෙනී යන්නේ නවදිල්ලි පාලනයට දැනටමත් තම අසල්වැසි රටේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් ඇති දේශපාලන භූ දර්ශනය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ඇති බවය. එය හුදු ප්‍රකාශයට පත් වී ඇති ජනමත විමසීම්වල ප්‍රතිඵලවලින් ඔබ්බට ගිය ගණන් බැලීමක් විය හැකි බව විචාරකයන්ගේ අදහසයි.

එන්පීපීය ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ස්ථානගත වී ඇත්තේ ප්‍රගතිශීලී, වාම නැඹුරුවක් සහිත විකල්ප දේශපාලන බලවේගයක් ලෙසය. වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලන බලවේගයක් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රධාන බලවේගය බවට පත්වීම මීට පෙර සිදු නොවූ තත්ත්වයක් වන නිසාම එවැනි පාලනයක් විසින් අනුගමනය කරන (හෝ කළ යුතු) විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ යුතුව තිබේ.

බහු ධ්‍රැවීය ලෝකයක නැගීම

වත්මන් ජාත්‍යන්තර සංදර්භයේ ආවේණික ලක්ෂණයක් වන්නේ ඒක ධ්‍රැවීයතාව සහ බහු ධ්‍රැවීයතාව අතර ප්‍රතිවිරෝධයයි. සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳ දැමීමත් සමග මතු වූ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරේ ආධිපත්‍යය සහිත ඒක ධ්‍රැවීය ලෝක රටාව පවතින්නේ ක්‍රමික බිඳ වැටීමකය. එයට සමගාමීව ලෝකය අධිපතිවාදී කණ්ඩායම් කිහිපයකින් සමන්විත බහු ධ්‍රැවීය ලෝක රටාවක් බවට පත්වෙමින් තිබේ. එක් අතකින්, මෙම බහු ධ්‍රැවීකරණය තම ගතිකත්වය අත්පත් කර ගෙන ඇත්තේ චීනයේ නැගීම මගිනි. 2009 වසරේදී එක්සත් ජනපදයෙන් පැනනැගි ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් බටහිර ආර්ථිකයන් බිඳ වැටෙද්දී චීනය අනතුරකින් තොරව අර්බුදය පියමන් කරගැනීමට සමත් විය. එම ආර්ථික වර්ධනය හේතුවෙන් චීනය බටහිර ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් ලෙස වර්ධනය වෙමින් සිටියි.

අනෙක් අතට ගෝලීය දකුණේ ප්‍රධාන ආර්ථිකයන් අතර ක්‍රමයෙන් ශක්තිමත් වන එකතුවක් ගොඩනැගෙමින් පවතී. 2009 වසරේ ගොඩනැගුණු BRICS සංවිධානය මෙම එකතුවේ වේදිකාව සහ ප්‍රකාශනය බවට පත්ව ඇත. BRICS සංවිධානය, නැගී එන ආර්ථිකයන් පහකින් සමන්විත විය. එම මූලික රටවල් වූයේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවය. මෑතකදී, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් BRICS වේදිකාවට ගොඩවිය. ජාත්‍යන්තර ලෝක රටාව තුළ බටහිර ආධිපත්‍යයට විකල්පයක් අපේක්ෂා කරන BRICS, ගෝලීය දකුණේ පාලන හැකියාව ශක්තිමත් කිරීම සඳහා එ.ජ. ඩොලරයේ භාවිතයෙන් ඉවත් වීම සහ නව සංවර්ධන බැංකුවක් පිහිටුවීම වැනි ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරමින් සිටී.

වර්ධනය වන බහු ධ්‍රැවීකරණ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට වෙළෙඳ, ආයෝජන සහ සංවර්ධන මූල්‍ය විවිධාංගීකරණය යන ක්ෂේත්‍ර තුළ බහුවිධ අවස්ථා නිර්මාණය කරයි. සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු ප්‍රධාන ධාරාව බවට පත් වූ අධිපති නව ලිබරල් ආර්ථික ක්‍රමයට විකල්පයක් නොමැති බවටත් කොන්දේසි විරහිතව එය පිළිගන්නා ලෙසටත් බල කරන මාග්‍රට් තැචර්ලා හඳුන්වා දුන් ‘විකල්පයක් නැත’ – TINA – There Is No Alternative – මූලධර්මය, ශ්‍රී ලංකාව වැනි රටවලට සංවර්ධනය සඳහා වූ ස්වාධීන මාවතක් පිළිබඳව සිතා බැලීමට දැඩි බාධාවක් වී තිබේ.

ඉන්දියාවේ ද්විත්ව භූමිකාව

මෙම නැගී එන ලෝක රටාව තුළ ඉන්දියාවේ භූමිකාව කුතුහලය දනවන සුළුය. ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ දක්නට ලැබෙන ද්විත්ව හැසිරීම ශ්‍රී ලංකාව වැනි රටවලටද බලපෑම් ඇති කරයි. නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ඉන්දියාවේ ඓතිහාසික අධිරාජ්‍ය විරෝධී හැසිරීම අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. එක් අතකින් ඉන්දියාව BRICS හි කොටසක් බවට පත්වීමෙන් සහ බටහිර බලපෑම් තිබියෙදීම රුසියාව-යුක්රේන යුද්ධය වැනි ගැටලු සම්බන්ධයෙන් වඩාත් ස්වාධීන ස්ථාවරයක් ගනිමින් තමන්ගේ පූර්ව ස්ථාවරය දිගටම පවත්වා ගෙන යන බව පෙනී යයි.

කෙසේ වුවද අනෙක් අතට තමන්ගේ පූර්ව මිත්‍ර පාර්ශ්වය වූ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳවැටුණු 1990 දශකයෙන් පසු ඉන්දියාව එක්සත් ජනපදයේ සමීප මිතුරෙකු බවට පත්ව සිටියි. ආසියාව තුළ වර්ධනය වන චීනයේ බලපෑම පාලනය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලද QUAD සංවිධානය සඳහා ඉන්දියාව සහභාගි වේ. ඉන්දියාව තම ඓතිහාසික නොබැඳි ප්‍රවේශයෙන් බැහැර වන මෙම ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරන්නේ ‘බහු පෙළගැස්මක’ අවශ්‍යතාව ලෙසය.

එමෙන්ම ඉන්දියාවට චීනය සමඟ ඇත්තේ සංකීර්ණ සබඳතාවකි. 1962 ඉන්දු-චීන යුද්ධයෙන් පසු දෙරට අතර සබඳතා හැමවිටම පළුදු වෙමින් යන තත්ත්වයක පවතී. චීනය, ඉන්දියානු සාගර කලාපය තුළ සිටීම ඉන්දියාව දකින්නේ සැකයෙන් බව කිසිවෙකුටත් රහසක් නොවේ. මෙම එදිරිවාදීකම බොහෝදුරට කුඩා අසල්වැසි රටවල ආණ්ඩු කෙරෙහි ඉන්දියාවේ ආකල්පය තීරණය කිරීමට බලපානු ලබයි. වර්ධනය වන චීන ආර්ථිකය සමඟ පුළුල් ගනුදෙනුවක නියැළීම කුඩා දකුණු ආසියානු රටවලට නව අවස්ථා ලබා දෙන නමුත් එම තත්ත්වය ඉන්දියාවේ සැකයටද අතවැනිය හැකිය. බලය ගැනීමේ වැඩි විභවතාවක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඕනෑම අනාගත ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවනු ඇති භූ-දේශපාලන යථාර්ථයන් මෙබඳුය.

ප්‍රතිවිරෝධතා තුලනය කිරීම

මේ අනුව මෙම ප්‍රතිවිරෝධතා තුලනය කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්වනු ඇත. නැගී එන කලාපීය බලවතෙකු ලෙස ඉන්දියාවට අධිපතිවාදී වුවමනාකම් ඇති බව නොරහසකි. ඉන්දියාවේ වර්ධනයේ දයලෙක්තිකය වන්නේ එය අසල්වැසි රටවල අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීම් සිදු කරන අතරම තමන්ගේ වෙළඳපොළ පුළුල් කරමින් ආර්ථික පෙරමුණේ නව ශක්‍යතාවන් විවෘත කිරීමය. 1960 ගණන්වලදී ජපානය ‘පියාඹන පාත්තයින් පිළිබඳ ආකෘතිය’ ගැන කතා කළේය. එයින් නිරූපණය වූයේ ජපානය සහ අනෙකුත් කාර්මීකරණය වෙමින් ඇති නැගෙනහිර ආසියානු ආර්ථිකයන් අතර සම්බන්ධතාව විස්තර කරන රූපකයකි. මෙම ආදර්ශය තුළ ඉදිරියෙන්ම පියාඹන ප්‍රමුඛ පාත්තයා ජපානයේ වර්ධනයයි‘ දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව සහ හොංකොං වැනි අනෙක් කුඩා පාත්තයින් වර්ධනය හා සංවර්ධනය කරා කැටුව යන්නේ ඔවුන්ය.

දකුණු ආසියානු සංදර්භය තුළ පියාඹන පාත්තයින් පිළිබඳ ආකෘතිය ගැන සිතීමට වර්ධනය වන ඉන්දියාව අපට ඉඩ සලසනු ඇත්ද? ශ්‍රී ලංකාව ඉන්දියාවේ වර්ධනය වන අභ්‍යන්තර වෙළෙඳපොළ තමන්ගේ කාර්මික සහ ආර්ථික වර්ධනය සඳහා යොදා ගන්නේ කෙසේද? මේවා ප්‍රවේශමෙන් සාකච්ඡා කළ යුතු සහ විද්වත් අවධානය යොමු කළ යුතු බරපතළ ප්‍රශ්න වේ.

ඉන්දියාවේ වර්ධනය සහ වර්ධනය වන ගෝලීය බහු ධ්‍රැවීයභාවය වැනි විවර වන නව අවස්ථා තුළින් වාසි ලබා ගැනීමට තරම් ශ්‍රී ලංකාව බුද්ධිමත් විය යුතු අතරම තමන්ගේ ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වයට හානියක් කර ගත යුතු නොවේ. ඇත්ත වශයෙන්ම සම්මුතීන් රාජ්‍යතාන්ත්‍රිකභාවයේ කොටසක් වන නමුත් ඇතැම් සීමා මායිම් ඉක්මවීමට ඉඩ දිය නොහැකිය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද ගිවිසුමක කොටසක් වීම හෝ ශ්‍රී ලංකාව තුළ විදේශීය හමුදා කඳවුරුවලට ඉඩ දීම එවැනි සීමා මායිම්වලට නිදසුනකි. ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිශීලී රජයකට අවශ්‍ය වන්නේ විදේශ සබඳතා සම්බන්ධයෙන් ලූලා ද සිල්වාගේ ප්‍රවේශයකි. බ්‍රසීල ජනාධිපතිවරයා ඔහුගේ පළමු වාර දෙකේදී (2002-2010) එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රසිද්ධියේ විවේචනය කළේය. කෙසේ වුවද ඔහු සිය ධුරය දරන අතරතුර එක්සත් ජනපදය සමඟ සෘජු ගැටුමක් වළක්වා ගනිමින් බ්‍රසීලය සාර්ථකව මෙහෙයවීමට ඔහු සමත් වී තිබිණි. මේ සියල්ල අතර චීනය, රුසියාව සමග මෙන්ම අසල්වැසි කියුබාව සහ වෙනිසියුලාව වැනි රටවල් සමඟ මිත්‍ර සබඳතා පළුදු වූයේ නැත.

ඓතිහාසික එදිරිවාදිකම්

ජාතික ජන බලවේගය රාජ්‍යතාන්ත්‍රික පෙරමුණ තුළ වැඩි ක්‍රියාකාරිත්වයෙන් පෙන්නුම් කරන්නේ පක්ෂය හුදු විපක්ෂයේ පක්ෂයක් ලෙස පමණක් සිතීම නතර කර ආණ්ඩු බලය හොබවන පක්ෂයක් ලෙස බරපතළ ලෙස සිතීමට පටන් ගෙන ඇති බවය. 1960 ගණන්වල ජවිපෙ පිහිටුවන විට ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ පිළිබඳ අදහස ජනතා විමුක්ති පෙරමුණේ කතිකාවේ කොටසක් වූ බව දේශපාලනය පිළිබඳ උනන්දු බොහෝ දෙනා දන්නා කරුණකි. මෙම යෙදුම, 1962 ඉන්දු-චීන ගැටුමේදී මාඕවාදී චීනයේ භාවිතයක් වූ අතර ජවිපෙට එය තම පූර්වගාමියා වන ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් (පීකිං පිල) උරුම වන්නට ඇත.

එසේ වුවද ඇතැම් විචාරකයන් උපකල්පනය කරන පරිදි ජවිපෙ ඉතිහාසය තුළ පවා සෑම විටම ‘ඉන්දියානු විරෝධී’ නොවූ බව සඳහන් කිරීම සිත්ගන්නා කරුණකි. 1977න් පසු ජවිපෙ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමත් සමඟ ඉන්දීය ව්‍යාප්තවාදය පිළිබඳ අදහස ඉවත දැමුවේ එය කඳුකර දෙමළ ප්‍රජාව කෙරෙහි සතුරු මානසිකත්වයක් දිරිමත් කළ බවට එල්ල වූ විවේචනය හේතුවෙනි. ජාතික ගැටලුව පිළිබඳ රෝහණ විජේවීරගේ ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද? ’ කෘතියේ ඉන්දියාව පිළිබඳ ඉතා සානුකම්පිත අදහස් ඇතුළත්ව තිබීම කෙනෙකු විමතියට පත් කළ හැකි තරම්ය. විජේවීර සිය කෘතියේ තර්ක කරන්නේ, එකල සෝවියට් හිතවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි ඉන්දියාව අස්ථාවර කිරීම සඳහා බටහිර අධිරාජ්‍යවාදය විසින් දෙමළ බෙදුම්වාදය තමන්ගේ හවුල්කරුවෙකු බවට පත්කර ගැනීමේ ඉඩක් ඇති බවය.

ජනතා විමුක්ති පෙරමුණේ කතිකාවත තුළ ඉන්දීය ව්‍යාප්තවාදය පිළිබඳ කතාබහ යළි මතු වූයේ 1987 වර්ෂයේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට ගොඩබට පසුවය. ජනතා විමුක්ති පෙරමුණ මෙම මැදිහත්වීම දෙස බැලුවේ සතුරු ආකල්පයකිනි. 1990 ගණන්වල යළි පිහිටුවන ලද ජවිපෙ සිය දේශපාලන සාහිත්‍යයෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ සඳහන ඉවත් කළ නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රබල අසල්වැසියාගේ ඇතැම් ආධිපත්‍යවාදී හැසිරීම් පිළිබඳ විවේචනාත්මකව බැලීය.

මෙම ඓතිහාසික ආස්ථානයන්හි හොඳ නරක කුමක් වුවත් යම් ඓතිහාසික සන්දර්භයක් යටතේ පවතින එදිරිවාදිකම් සදාකාලික එදිරිවාදිකම් ලෙස පැවතිය නොහැකි බව හෝ පැවතිය යුතු බව සාධාරණ මනසක් ඇති ඕනෑම අයකු එකඟ වනු ඇත. වියට්නාම් යුද්ධයේදී වියට්නාම ජනතාව වීරෝදාර ලෙස එක්සත් ජනපදයට එරෙහිව සටන් කර රට නිදහස් කර ගත් නමුත් එම කොමියුනිස්ට් පක්ෂය 1986 ඩොයි-මෝයි ප්‍රතිසංස්කරණවලින් පසුව එක්සත් ජනපදය සමඟ ආර්ථික සහයෝගීතාවට එළඹුණි. මෙයට හේතුව වියට්නාමය ඇමරිකාව අධිරාජ්‍යවාදී වීම නතර කර ඇතැයි සිතූ නිසා නොව, ඔවුන් පරමාදර්ශීවීම සහ යථාර්ථවාදය තුලනය කිරීමට තරම් උපායශීලී වී තිබීමය. ජාත්‍යන්තර සබඳතාවලදී පරමාදර්ශී වීමෙන් තොර යථාර්ථවාදය සදාචාර විරෝධී වන අතර යථාර්ථවාදයෙන් තොර පරමාදර්ශී වීම මාරාන්තික විය හැකිය.

රමිඳු පෙරේරා
ජ්‍යෙෂ්ට කථිකාචාර්ය
නීති අධ්‍යයන අංශය
ශ්‍රී’ලංකා විවෘත විශ්ව’විද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment