විවිධ වැරැදි නිසා විදේශීය පරිත්‍යාග ලැබීම් අඩු වෙලා…

ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල වංචාව රටට හෙණයක් වෙලා…

මේ දිනවල වැඩියෙන්ම ඩොලර් එන්නෙ හිමිනමකට…

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් පොම්ප වෙන්නෙ යුරෝපයෙන්…

බෞද්ධ ආගම විවේචනය කරන්නන්ට ඩොලර් කුට්ටි…

නහය ළඟට එරිලා ඉන්න මිනිසුන්ට මේ කතාව ඇසීම ද හදවත කම්පා කරවන්නක් බව සැබෑය. එහෙත් නොකියා සිටීමට නොහැකිය. ලෝකයේ විවිධ රටවලින් මෙරට පාසල් ළමයින්ට ලබාදුන් ශිෂ්‍යාධාර මෙන්ම වෙනත් පරිත්‍යාග විශාල වශයෙන් අඩු වී තිබෙන බව වාර්තා වේ. එම පරිත්‍යාග අඩුවීමට හේතු රාශියක් බලපා ඇති බව ද සැබෑය. ලෝකයේ බොහෝ රටවල පවතින ආර්ථික අර්බුද, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන, ගිහි පැවිදි පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් විදේශීය පරිත්‍යාග වංචා කිරීම, පරිත්‍යාග ලබාදෙන්නන්ව රැවටීම සහ මෙරට ශිෂ්‍යාධාර ලබන ළමයින්, ඔවුන්ගේ දෙමවුපියන් විසින් පරිත්‍යාග ලබාදෙන පුද්ගලයන්ට, සංවිධානවලට කෘතවේදීත්වය නොදැක්වීම වැනි ගැටලු ඒ අතර ප්‍රධානය.

දුප්පත් දරුවන්ට ලැබුණු ශිෂ්‍යාධාරත් නවතින හැඩ

රාජ්‍ය නොවන සංවිධාන මෙරට මිනිසුන්ගේ දුප්පත්කම ලෝකයට ප්‍රදර්ශනය කරමින් මුදල් එකතු කිරීම පටන්ගෙන ඇත්තේ අද, ඊයේ නොවේ. කොළඹ ඇතුළු විවිධ නගරවල ප්‍රධාන කාර්යාල ද, දුෂ්කර ප්‍රදේශවල උප කාර්යාල ද පිහිටුවාගෙන හතර අතට මුදල් ලබාදෙමින් එම සංවිධාන මෙරට දිළිඳුකම නැති කිරීමට කිඹුල් කඳුළු වගුරුවන බව සැබෑය. එහෙත් එම සංවිධානවලට ලෝකයේ පරිත්‍යාගශීලීන් ලබාදෙන ආධාර මුදල්වලින් හතරෙන් එකක් හෝ මෙරට දිළිඳු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්, වෙනත් සමාජ සුබසාධන කටයුතු සඳහා වියදම් නොකරන බව වාර්තා වේ. ඔස්ට්‍රේලියාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් තන්තිරිමලේ දුප්පත් පවුලක පිරිමි ළමයෙක්ට ඉගෙනගැනීමට උපකාර කිරීම පටන්ගෙන ඇත්තෙ ඒ ළමයා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වීමත් සමගය. උත්සාහයෙන් සහ කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නියැළුණු ඒ ළමයා දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බව ද වාර්තා වේ. ඔස්ට්‍රේලියානු පරිත්‍යාගශීලී මිනිසා ඒ ළමයාට මාසිකව ලබා දී තිබෙන රුපියල් 10,000 ක මුදල් ඒවා ඇත්තේ මෙරට සුප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක ගිණුමකට ය. එකී රාජ්‍ය නොවන සංවිධානය විසින් තන්තිරිමලේ දරුවාට මාසිකව ලබා දී ඇත්තේ රුපියල් 2500 ක් වැනි සුළු මුදලකි. පසුගිය දිනෙක ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතිකයා මුදල් පරිත්‍යාග කළ තන්තිරිමලේ ළමයා සොයාගෙන ගොස් සියලු තොරතුරු අනාවරණය කරගෙන පරිත්‍යාග ගසා කෑ රාජ්‍ය නොවන සංවිධානයේ රෙදි ගැලවෙන්න විවේචනය කර ඇති බව ද වාර්තා විය. ඒ එක උදාහරණයක් පමණි. මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ගසා කෑම්වලට උදාහරණ බොහෝමයකි. එමෙන්ම මෙරට දිළිඳු පවුල් ගැන, ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා ආයතන ලෙස, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය ගැන වීඩියෝ නිර්මාණය කර යූටියුබ් මාර්ගයෙන් අන්තර්ජාලයට එකතු කර ලෝකය පුරා ජීවත්වන පරිත්‍යාගශීලී මිනිසුන්ගේ අවධානයට ලක් කර ඩොලර් ගරන ජාවාරමක් ද දැන් ක්‍රියාත්මක වන බව විදේශයෙන් ලැබෙන ආරංචි මාර්ගය. පසුගිය දිනවල මෙරට දුෂ්කර ගමක දුප්පත් පවුලකට ආධාර ඉල්ලමින් යූටියුබ් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබිණි. එම වීඩියෝව දැක හදවත උණු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙක් වීඩියෝවේ සඳහන් ගිණුමට මුදල් බැරකර සතියකට පමණ පසුව එහි සඳහන් දුරකථන අංකයට ඇමතුම් ලබාගෙන තිබිණි. එම අංකය ක්‍රියාවිරහිතව තිබිණි. අදට ද එම දුරකථන අංකය සක්‍රීය නැති බව සැල වේ. බොහෝ රටවල පරිත්‍යාගශීලීන් මෙරට දුප්පත් පවුල්වලට, අධ්‍යාපනය ලබන දරුවන්ට, ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට, විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් වෙනුවෙන්, පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට සහ වෙනත් සමාජ සුබසාධන වැඩසටහන් සඳහා මුදල් පරිත්‍යාග කරනුයේ නිවැරැදි තොරතුරු අනාවරණය කරගැනීමකින් තොරවය.

එමෙන්ම මෑතක සිට වැඩියෙන්ම ඩොලර් ලැබෙනුයේ බෞද්ධ ආගම, භික්‍ෂූන්වහන්සේ විවේචනය කරන ගිහි හා ඇතැම් පූජකයන්ටය. එය ඩොලර් පහ, දහය නොව ඩොලර් කුටිටිය. නම්, ගම්, පන්සල්, අසපුවල විස්තර ඇවැසි නැත. මේ දිනවල වැඩියෙන්ම විදේශීය ආධාර ලැබෙනුයේ බෞද්ධ නොවන ආගම් දෙකකට සහ ප්‍රසිද්ධ භික්‍ෂූන්වහන්සේ නමකටය. විවිධ අන්‍ය ආගම්, ලෝකයේ බලවත් රටවල් ගහන පදවලට තාල නොතබන දේශපාලනඥයන් බලයෙන් පහකිරීමට ද ඩොලර් වර්ෂා වස්සන බව පසුගිය කාලයේදී අපට දැකගැනීමට ලැබිණි. ඒ සිතැඟි ඉටු වූ පසු එම ඩොලර් වැසි නතර විය. එමෙන්ම මෙරට රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයකට ඩොලර් පොම්ප කරනුයේ යුරෝපීය රටවලින් බව ද වාර්තා වේ. දේශපාලන බල පෙරළි, බෞද්ධ ආගම විවේචනය කිරීමට ගලා එන ඩොලර් හැර මෙරට දිළිඳු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදුන් පරිත්‍යාග ද දැන් විශාල වශයෙන් නතර වී තිබේ. පසුගිය කාලය පුරාවට සමාජ සුබසාධනය වෙනුවෙන් ලැබුණු විදේශීය පරිත්‍යාග නිසියාකාරව කළමනාකරණය කරමින් සංවර්ධන කටයුතුවලට යොදවන්න මෙරට දුප්පත් ජනතාවට විශාල සුබසාධනයක් වනු නිසැකය. එහෙත් විදේශ පරිත්‍යාග රැස් කිරීම ද මහා පරිමාණයෙන් සිදුවන ජාවාරමකි. මෙරට ක්‍රියාත්මක අන්‍ය ආගම් ‘ශ්‍රී ලංකා’ නම විකුණා ලෝකයෙන් එකතු කරන ඩොලර් වියදම් කරනුයේ මෙරට විනාශ මුඛයට තල්ලු කිරීමටය. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල වැඩ සිටින නායක ස්වාමීන්වහන්සේ කිහිපනමක් හැර භික්‍ෂුන්වහන්සේ ද මෙරට සමාජ සුබසාධනය, ආගමික දියුණුව ඇති කිරීම සඳහා එකතු කරන ඩොලර්වලින් මෙරටට සෙතක් නොකරන බව ද වාර්තා වේ. උන්වහන්සේගේ සුඛවිහරණය උදෙසා පමණක්ම එම මුදල් පරිහරණය කරන බව ලැබෙන ආරංචි මාර්ගය. එමෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ගේ ශිෂ්‍යාධාර ලබන බොහෝමයක් පාසල් දරුවන්, ඔවුන්ගේ දෙමවුපියන් මාසෙ ශිෂ්‍යත්වය මුදල පරක්කු වෙන්න කතා කළොත් හැරෙන්නට ශිෂ්‍යත්වය ලබාදීම සම්බන්ධයෙන් වචනයකින් හෝ ස්තූති පූර්වක කතා නොකිරීම සම්බන්ධයෙන් පරිත්‍යාගශීලීන් පමණක් නොව එම ශිෂ්‍යත්ව මෙහෙයවන ලොව පුරා ජීවත්වන ගිහි පැවිදි පුද්ගලයන් දැඩි කනස්ල්ලෙන් යුක්තව අපට කරුණු පැහැදිලි කළහ. ඒ අතර ඔස්ට්‍රේලියාවේ වැඩසිටින දොරොව්වේ ඥාණරතන හාමුදුරුවෝ, එංගලන්තයේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක හිමියන් පැවසූ අදහස් පෙළගැසෙන කතාවට මුතු පෙළක් වූහ. ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක වල්පොල පියනන්ද නායක හාමුදුරුවන්ගෙ පැහැදිලි කිරීම පෙළගැසෙන සටහනට එකතු කිරීමට අපි අදහස් කළෙමු.

දුප්පත් දරුවන්ට ලැබුණු ශිෂ්‍යාධාරත් නවතින හැඩ

“1982 අවුරුද්දෙ ඉඳලා මෙරට දුප්පත් ගම්මානවලින් විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලවලට තේරෙන දරුවන් 25 ක් තෝරාගෙන මාසෙකට ඩොලර් 50 බැගින් ලබාදෙනවා. ඒ අනුව එදා ඉඳලා මේ වෙනකොට ළමයි 400 ට විතර වෛද්‍යවරු, වෛද්‍යවරියන් වෙන්න ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා. තවත් දිළිඳු පවුල්වල පහ ශිෂ්‍යත්වය සමත් දරුවන් විස්සකට රුපියල් 7000 බැගින් මාසික ශිෂ්‍යත්වයක් ලබාදෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්‍ෂුන්වහන්සේ දහනමකට මාසෙකට රුපියල් 10,000 බැගින් ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ සියලුම මුදල් පරිත්‍යාග කරන්නෙ ඇමෙරිකානු දායකයන් සහ වියට්නාම් දායකයන්. ඔවුන් වසරකට ප්‍රමාණවත් මුදල් එකවර පරිත්‍යාග කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ ගුරුවරියක් විදිහට සේවය කළ ශිරෝෂී ගුණතිලක මහත්මිය ශිෂ්‍යත්ව සම්බන්ධීකරණ කටයුතු කරගෙන යනවා. එතුමියත් වගකීමකින් යුක්තව එම කටයුත්ත කරගෙන යනවා. අවාසනාවකට අපි ශිෂ්‍යත්ව ලබාදෙන, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්න හෝ එයින් පිටව ගිය ළමයි හාරසීය දෙනාගෙන් කිසිවෙක් කෘතඥතාව ප්‍රකාශ කරලා මුදල් පරිත්‍යාග කරන අයට හෝ ශිෂ්‍යත්වය මෙහෙයවන මටවත් ලියුම් කඩදහියක්වත් එවලා නෑ. ලංකාවේ එම ශිෂ්‍යත්වය සම්බන්ධීකරණය කරන ශිරෝෂී මහත්මියටවත් දුරකථනයෙන් හෝ ස්තූති කරලා නෑ. පොළොන්නරුවේ, හිඟුරක්ගොඩ පදිංචි උපාලි බුලේගොඩ මගේ සහෝදරයා හඳුන්වා දුන්න දුප්පත් පවුලක වෛද්‍ය ශිෂ්‍යයෙක්ට එක පාර ඩොලර් 2000 ක් මම හොයලා දුන්නා. ඒ ළමයා සල්ලි ලැබුණු බවක්වත් දැන්නුවේ නෑ. ඊට පසු කාලයක මම ලංකාවට පැමිණ සිටින බව උපාලි ඒ වෛද්‍යවරයාට දැනුම් දීලා තිබුණා. ඒ පණිවිඩයට ප්‍රතිචාරයක් විදිහට ඔහු පවසා තිබුණේ සේවය කරන රෝහලට මට පැමිණ මුණගැසෙන ලෙසය. එවැනි සිද්ධි සම්බන්ධයෙන් මම බලවත් සංවේගයට පත් වෙලා ඉන්නවා. ඒත් ශිෂ්‍යත්ව ලබාදීම නතර කරලා නෑ. නතර කරන්නෙත් නෑ. ඔවුන් කෙළෙහිගුණ නොදත් අය වුණාට අපේ යුතුකම ඉටු කරනවා…”

“නාගරික, ගම්බද කියලා නෑ, මෙරට හැම තැනම ළමයින්ට කෙළෙහිගුණ දක්වන්න උගන්වලා නෑ. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙන බව සතුටින් කිව්ව ද, කන්නන්ගර මහතාගේ මැදිහත්වීමෙන් නිදහස් අධ්‍යාපනයක් ලබා දුන්න ද නිදහස්ව සිතමින්, නිදහස්ව වැඩ කරන කෙළෙහිගුණ දන්නා පරපුරක් නිර්මාණය වී තිබේද යන්න ගැටලුවක් පවතිනවා. රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම වෙන්නෙ කෙළෙහිගුණ දත් ජාතියක් නිර්මාණය කිරීමයි. නිදහස් අධ්‍යාපන ක්‍රමයේ පිහිටෙන් අධ්‍යාපනය ලැබූ මට තේරෙන ආකාරයට තවම මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමය හරි මඟට යොමු වෙලා නෑ. විශ්වවිද්‍යාලවලට යැවීම මුල් කරගෙන උගන්වනවා විනා දරුවන්ට ගුණධර්ම ඉගැන්වීමට දෙමවුපියොත් උත්සාහ කරන බවක් පේන්න නෑ. දහම් පාසලකට යවන බවක් පෙන්නෙත් නෑ. උපාධි ලබාගෙන ඉහළ තනතුරුවලට යනකොට ඉගෙනගන්න උදව් කරපු අයට කෘතවේදීවීම ඔවුන්ට මදිපුංචිකමක්. ඇමෙරිකාවේ ජීවත්වන ලංකාවේ උපාධිධාරියෙක්ට ග්‍රීන් කාඩ් එක ගන්න මම උදව් කළා. අන්තිමේ මුළු පවුලටම ඇමරිකාවේ ජීවත් වෙන්න ග්‍රීන් කාඩ් ලැබුණා. ඒත් අද මගතොටේදී මුණගැහුණත් අහක බලාගෙන යනවා. ලංකාවේ හිතවත් මහත්මයෙක්ගේ ඉල්ලීමට ඇමෙරිකාවේ ජීවත්වන ඔහුගේ දියණියට බැංකු ණයක් ලබාගැනීමට මම අත්සන් කළා. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා, උපාධි ලබාගෙන දැන් ඇමෙරිකාවේ හාවාඩ් විශ්වවිද්‍යාලයේ උගන්වනවා. අද වනතුරු ණයට අත්සන් කළාට ස්තූති කරලා නෑ. ණය මුදල ගෙවීමත් පැහැර ඇරලා. විටින්, විට බැංකුවෙන් කතා කරලා මට දන්වනවා. ඇමෙරිකානු ජාතික මවුපියො දරුවන්ට හොඳට ගුණ ධර්ම උගන්වනවා. කෙළෙහිගුණ දක්වන්න පුරුදු කරවනවා. මේ රටවල් මෙච්චර දියුණු වෙන්න පුරවැසියන්ගේ යහපත් ගුණධර්මත් ප්‍රධාන වෙලා තියෙනවා. බුදු බව ලබාගත් බුදු පියාණන්වහන්සේ එක රැයක් සෙවන දුන් බෝධියට සතියක් කෘතගුණ දැක්වූ ආකාරය ගැන බුදු බණෙහි ඉගෙනගන්න මෙරට බෞද්ධ ළමයින්ටත් කෙළෙහිගුණ දැක්වීම අමතක වෙනවා නම් ඔවුන් සැබෑ බෞද්ධයො වෙන්නෙ නෑ…” වල්පොළ පියනන්ද හාමුදුරුවන්ගේ කතාව ඇසෙනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සොළොස්වන ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් මහතා විසින් තම පුත්‍රයා අධ්‍යාපනය ලැබූ පාසලේ පන්ති භාර ගුරුවරයාට යැවූ ලිපිය මගේ මතකයට නැඟිණි.

දුප්පත් දරුවන්ට ලැබුණු ශිෂ්‍යාධාරත් නවතින හැඩ

“මුල් ගුරුතුමනි, මාගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙක්ම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව. ඒ වගේම හැම තක්කඩියෙකු, දුර්ජනයෙකු පාසාම ගුණයහපත් වීරවරයන් මේ ලෝකයේ සිටිනා බව ඔහුට උගන්වන්න. හැම දෙනාම තක්කඩිත් නොවේ. තක්කඩින් වාගේම යහපත් අයත් මේ ලෝකයේ සිටිනා බව මාගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලනඥයෙකු වෙනුවටම රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලනඥයෙකුත් ඉන්නා බව මාගේ පුතාට ඒත්තු ගන්වන්න. නොමිලයේ කාගෙන්හරි, කොහෙන්හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තමාගේ දහදිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බවත් කියාදෙන්න. එය ඔහුට ඒත්තු ගැන්වීමට වැඩි කාලයක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම සත්‍ය ඔහුට උගන්වන්න. පරාජය විඳ දරාගැනීමටත්, ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විඳීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියාකරන විට ඒවා ගැන කළකිරෙන්නෙ නැතිව සන්සුන්ව හ`ිදිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. ඔබට හැකි නම් ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙසින් සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත් මාගේ පුතා පුරුදු කරන්න. තමන් වටේ සිටින මිනිසුන් කරන දෙය අන්ධානුකරණයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම්, අයුතුකම් තේරුම්ගෙන ක්‍රියාකිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම කෙනෙකුටම සවන්දීමේ අගය ඔහුට වටහා දෙන්න. එහෙත් ඔහු අසන දෙයින් සත්‍යය පමණක් කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න…

මුල් ගුරුතුමනි, ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්න එපා. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත් වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවන ගමනේදී තමාට හැඩි දැඩි රස්නය දැනුණොත් එයින් තේරුම්ගන්න සලස්වන්න ඔහු කාටවත් වෙනස් කරන්න බැරි මිනිසෙක් හැටියට දියුණුවීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව…” ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ලෝක පූජිතව සිටින ඒබ්‍රහම් ලින්කන් මහතාගේ ලිපිය තව දීර්ඝය. විශිෂ්ටතම ලේඛන කෞෂල්‍යයෙන් පිරිපුන් ඒබ්‍රහම් ලින්කන් මහතාගේ ලිපියෙන් ගත යුතු කරුණු තව බොහෝය. කිසිවෙක්ට ද්වේෂ නොකළ, හැමටම කාරුණික වූ ඒබ්‍රහම් ලින්කන් තම පුත්‍රයාගේ ගුරුවරයාට යැවූ ලිපියෙන් ප්‍රකාශ කරනුයේ මිනිසෙකුගේ පැවැත්මට අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නොවන බවත් යහපත් ගුණ ධර්මවලින් පිරිපුන් වීර්යවන්ත මිනිසෙක් විය යුතු බවය. එහෙයින් ඒබ්‍රහම් ලින්කන්ගේ ලිපියෙන් දරුවන්ට මෙන්ම දෙමවුපියන්ට ද ගත යුතු ආදර්ශයන් බොහෝය. අන් අයට අත නොපා, උපකාරයක් හෝ නොලද ස්වශක්තියෙන් ජීවත්වන, රටට වැඩදායී පරපුරක් නිර්මාණය කිරීමට දෙමවුපියන් ඔබ ද උපරිම දායකත්වය ලබාදිය යුතුය.

මෙරට සමාජ සුබසාධනය, ආගමික දියුණුව වෙනුවෙන් ලැබෙන අති විශාල විදේශීය පරිත්‍යාගවලට වෙන දේ ගැන සෙවීමට පටන්ගත් ජනාධිපතිවරයා ගෙදර යැවීමට තරම් ප්‍රබල විදේශීය යාන්ත්‍රණය සහිත මේ ජාවාරම ගැන කතා කිරීම අවදානමකි. එහෙත් රට ගැන හිතා අවදානමට මුහුණ දිය යුතුය. මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ගසා කෑම, ගිහි පැවිදි පුද්ගලයන්ගේ, සංවිධානවල වංචාව සහ පරිත්‍යාගශීලීන් රැවටීම මෙන්ම මෙරට බොහෝ මිනිසුන් තුළ මුල් බැසගෙන තිබෙන පුහු මාන්නයෙන් පරිත්‍යාගශීලීන්ට හිත මතා ස්තූති කිරීම පැහැර හැරීම වැනි අකටයුතුකම් නිසා ඔබට පමණක් නොව අහිමි වී යන්නෙ මේ රටට ලැබෙන ඩොලර්ය.

එමෙන්ම වංචාවට, රැවටීමට වැඩි ආයුෂ නැත. විදේශීය පරිත්‍යාගශීලීන්ට ද මේ රටේ මිනිසුන්ගේ කල්කිරියාව, රාජ්‍ය නොවන සංවිධානවල හොරකම, නිලධාරීන්ගේ වංචාව හොඳින් අවබෝධ වී ඇත. අපට දුක මාසිකව ලැබුණු ශිෂ්‍යාධාරයෙන්, වාර්ෂිකව ලැබුණු පොත්පත් ඇතුළු වෙනත් අධ්‍යාපන උපකරණවල පිහිටෙන් අන්ධකාරයෙන් ලෝකය දකින්නට වීර්ය ගත් අසරණ දිළිඳු දරුවන් ගැනය. මෙරට දිළිඳු ජනතාව ගැන සංවේදී විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ පරිත්‍යාගයක් සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් හොඳට සොයාබලා එහි සත්‍යතාව නිවැරැදිව අවබෝධ කරගෙන උපකාර කරන ලෙසය. එසේ නොවෙන්න ඔබ පරිත්‍යාග කරන ඩොලරය වංචනික, රැවටිලිකාර හොරෙකුගේ ආදායමක් වනු ඇත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment