වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි ශ්‍රීපාද චාරිකාව මේ වන විට ශීඝ්‍ර ප්‍රවර්ධනයට ලක් වෙමින් තිබේ. මෙවර සිරිපා සමය තුළ මිලියන තුනක් ඉක්මවන පිරිසක් සිරිපා චාරිකාවේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාති, ආගම් භේදයකින් තොරව වුව මෙය ශ්‍රී ලාංකේය ජනගහනයෙන් 13% ක පමණ වන ප්‍රතිශතයකි. එහෙත්, ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙතරම් සුවිසල් ජනතාවක් ඒකරාශි වීම ශ්‍රී ලාංකේය සමාජ හෝ සංස්කෘතික පදනමට කෙසේ බලපාන්නේ ද? යන්න පිළිබඳව මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදුව ඇති බවක් අපට නොහැඟේ. එය එක්තරා අන්දමක ජාතික උදාසීනත්වයකි. නමුත්, මේ වන විට එළැඹී ඇති තත්ත්වය අනුව අතීතයේ සිරිපා වන්දනාව යන ආගමික, සංස්කෘතික හා සමාජමය ප්‍රවර්ධනාත්මක සංසිද්ධිය තුළ පැවැති සියලු අගයන් ශීඝ්‍රයෙන් සෝදා පාළු වෙමින් පවතින බවක් ඉතා පැහැදිලිව පෙනෙයි. නිසැක ලෙසම එය සංස්කෘතික හා සමාජමය අවනතියකට මුල පුරන්නකි.

ඒ සඳහා වන මූලික හේතුව වශයෙන් අප දකිනුයේ ශ්‍රී පාද වන්දනා ගමන නැතහොත් සිරිපා කරුණාව යන්න අද වන විට එම ස්ථානය කේන්ද්‍ර කර ගත් විනෝද ගමනක් හෙවත් ට්‍රිප් එකක් බවට පත් වීම ය. එහෙත්, වන්දනා ගමන සහ ට්‍රිප් එක අතර ඇති විෂමතා කොතෙක් ද යත් වන්දනා ගමනක ඇති පරමාර්දර්ශ කිසිවක් විනෝද ගමනක ගෑවී වත් නැත. ඒ අනුව සිරිපා වන්දනාවෙන් ලද හැකි ආධ්‍යාත්මික හා සදාචාරාත්මක ප්‍රවර්ධනය ‘සිරිපාදේ ට්‍රිප්’ එකකින් අපේක්ෂා කිරීම සිසිල් දිය නෑමෙන් ඉටු කර ගත හැකි අරමුණු මිරිඟු දිය නෑමෙන් අපේක්ෂා කරන්නාක් මෙනි.

වන්දනා ගමන් සම්බන්ධයෙන් ලොව පුරා සමාජ මානව සහ මනෝ විද්‍යා ක්ෂේත්‍රයන් හි පුළුල් පර්යේෂණ සිදුවී තිබේ. වන්දනා ගමනකින් හිමි වන ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ සමාජමය ප්‍රතිලාභ පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජ යහපතට ඉවහල් කර ගත හැකි අන්දම ලොව පුරා විවිධ පර්යේෂණ මගින් ඉදිරිපත් කොට තිබේ. කැලිෆෝනියාවේ ඇන්ටියොක් විශ්වවිද්‍යාලයේ උපදේශන මනෝ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ ආයතනයේ සහාය මහාචාර්යවරියක වන හෙදර් වෝෆීල්ඩ් වන්දනා ගමනක ඇති සමාජ, මානව සහ මනෝ විද්‍යාත්මක මූලයන් එක් කොට 2013 වසරේ සම්පාදනය කරන ලද The Therapeutic value of Pilgrimage Ground Theory Study නම් නිබන්ධනය ඒ සම්බන්ධ ප්‍රශස්ත අනාවරණයක් බව කිව යුතු ය.

සිරිපා වන්දනාවේ සොඳුරු ආඥාදායකයා නඩේ ගුරා කෝ සිරිපා වන්දනා අසිරිය නැති වුණේ නඩේ ගුරා නැති නිසයි

අප ජන සංස්කෘතියට අනුව වුව වන්දනා ගමන යනු නෙක්ඛම්ම, නිස්සරණ (නික්මීම, ලෞකික ප්‍රතිලාභ නොතැකීම) යන බෞද්ධ පරමාදර්ශයන් අරමුණු කර ගත් සංසිද්ධියකි. එය මානසික ආතතිය දුරලන අති ප්‍රබල සමාජ මනෝ චිකිත්සාවක් ද වෙයි. එනිසාම එමඟින් සමාජය තුළ සදාචාර ප්‍රවර්ධනයක් ඇති වූ බව සහේතුකව පිළිගත හැක.

ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජයේ අනේක විධ වන්දනා ගමන් අතුරින් ශ්‍රීපාද වන්දනාවට හිමි වනුයේ සුවිශේෂත්වයකි. ශ්‍රී පාද වන්දනාව මුල් කොට ගත් උප සංස්කෘතියක් ගොඩනැගීමෙන් ඒ බව සිරිපා වන්දනාවට ආවේණික වෙනම ජන විශ්වාස පද්ධතියක් බස් වහරක් සේම චර්යා සහ චාරිත්‍ර සම්ප්‍රදායන් බිහි වීමෙන් පෙනෙයි. නමුත් වර්තමාන සමාජ, ආර්ථික ක්‍රමය තුළ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් සේ ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ‘සිරිපාදේ ට්‍රිප් එක’ මඟින් ඉහත සඳහන් උප සංස්කෘතිකාංග වේගවත් සෝදාපාළුවකට ලක් වෙමින් පවතින අයුරු පැහැදිලිවම දැක ගත හැක. සිරි පා සේම සෙසු බොහෝ වන්දනා ගමන් සඳහා වන පූර්ව සූදානම හෙවත් ‘පේ’ වීම මෙම වන්දනා ගමනක් සම්බන්ධ සමාරම්භක කාරිය සේ සැලකේ. දොලොස් වන සියවසේ ලියැවුණු දහම් සරණ වැනි ග්‍රන්ථවල ශීල සමාදානය (පෙහෙව විසීම = පෙහෙ වස්) ලෙස දක්වා ඇති අතර සමයේ දීම ලියැවුණු බුත්සරණ කෘතියේි‘පෙහෙ’ යන්න සූදානම් වීම යන අරුතින් දක්වා තිබේ. ඒ අනුව එම පේ වීම යන්න ආධ්‍යාත්මිකව කායිකව සහ මානසිකව හැඩ ගැසීම ලෙසින් හැඳින්විය හැක. සිරි පා වන්දනාව සැලසුම් කිරීමෙන් ඇරඹෙන මෙම පේ වීම ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට පෙර ශීත ගඟුලෙන් දිය නෑමෙන් නිමාවෙයි.

ඒ හැරුණු කොට ශ්‍රී පාද වන්දනාව සඳහා පමණක් භාවිතා කෙරෙන, එයටම ආවේණික බස් වහරක් තිබේ. පොදුවේ වන්දනාවේ යන කණ්ඩායම හැඳින්වෙන නඩය යන වදන පාද චාරිකාව යන්න හැඟවෙන නඩෙයි යන ද්‍රවිඩ වචනයට අනුරූපව සැකසුනකි. වන්දනා ගමන යන්න ‘කරුණාව’ යන තනි වදනින් හැඳින්වීම ද ශ්‍රී පාද වන්දනාවටම ආවේණික වූවකි. එම වන්දනා ගමනේ දී උරෙහි එල්ලා ගෙන යන බර පොදිය හැඳින්වෙනුයේ ‘සැහැල්ලුව’ ලෙසිනි.

එමෙන්ම සිරිපා වන්දනාව සඳහා එක් වන පිරිස් කෝඩු හෙවත් කෝඩුකාරයන් ලෙස හඳුන්වනු ලැබේ. මෙහි දී ළාබාල දරු දැරියන් ‘කිරි කෝඩු’ ලෙසත් මුල් වරට සිරිපා වන්දනාවේ යෙදෙන වැඩිහිටියන් ‘දඬු කෝඩු’ ලෙසත් හඳුන්වනු ලැබේ. එමෙන්ම සිරිපා කරුණාවේ දී හදිසි නොවිය යුතු බවට ඇති සම්මතය හෙවත් නිවී සැනසිල්ලේ ඒ කරුණාවේ යෙදීම ‘පමා කරුණාව’ ලෙස හඳුන්වනු ලැබේ. සිරි පා වන්දනාවේ දී සෙසු වන්දනාකරුවන් ගෙන් ඉඩ ඉල්ලා සිටිනුයේ ‘දෙන්න අපට සංහිඳේ-දුන්න අයට පින් පිදේ” යනුවෙනි. ඒ අනුව සිරිපා වහරට අනුව “සංහිඳ” යනු ඉඩ, අවකාශය හැඳින්වීමට යෙදෙන බව පැහැදිලි ය. එමෙන්ම එම ශ්‍රී පාද ස්ථානය මස්තකයෙහි පිහිටුවා ඇතැයි සැලකෙන බුදුන් ගේ ශ්‍රී පාද ලාංඡනය සිරිපා වන්දනා උප සංස්කෘතිය තුළ නෙළුම් මල යන අරුත ගෙන දෙන ‘පද්මය’ ලෙස හැඳින්වීම විශේෂත්වයකි. එපමණක් නොවේ. ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කොට ගත් සිරිපා අඩවිය නම් වන, වන කලාපය හඳුන්වනුයේ හිමය, හිමේ යන වදනිනි. තුෂාරය ශීත පින්න ආදිය සඳහා යෙදෙන හිම යන්න ශ්‍රීපාද අඩවියට යෙදීම ඉන්දියාවේ හිමාල කඳුවැටිය මුල් කොට පබැඳුනක් බව අපගේ වැටහීම ය. ඒ අනුව වර්තමාන සිරිපාද චාරිකාව හෙවත් ‘ට්‍රිප්’ එක තුළ මෙවන් ශ්‍රීපාදය සම්බන්ධ වදන් කෙතරම් දුරට භාවිතා වන්නේ ද යන්න විමැසීමෙන් අප සමාජයේ ශ්‍රී පාද වන්දනා උප සංස්කෘතියට සිදුව ඇති ඛේදවාචකය මැනැවින් වටහා ගත හැක.

අතීතයේ සිට මෑතක් වන තුරු ශ්‍රී පාද වන්දනාව හා සම්බන්ධ අති ප්‍රබල කේන්ද්‍රීය භූමිකාවක් ගැමි සමාජයේ දක්නට ලැබිණ. ඒ නඩේ ගුරා ය. නූතනයේ ශ්‍රී පාද උප සංස්කෘතිය තුළ සරදම් හෝ උපහාස වදනක් බටව පත්ව ඇති ‘නඩේගුරා’ භූමිකාව මෑතක් වන තුරුම ගැමි සමාජයේ අතිශය ගෞරවාදරයට පත් වූවක් විය. ශ්‍රී පාද සේම අනෙකුත් වන්දනා කණ්ඩායම් හෙවත් නඩවල මාර්ගෝපදේශකයා, ආරක්ෂකයා සේම දැහැමි ආඥාදායකයා ද වූ නඩේ ගුරා බොහෝ විට ජීවිතයේ මැදි විය ඉක්මවූ කායික, මානසික නිරෝගී බවකින් හා සදාචාරාත්මක ශික්ෂණයකින් යුතු අයෙක් විය. එමෙන්ම මනා පෞරුෂයක්, සංවිධාන ශක්තියක් සේම එඩිතර බවක් ද තිබිය යුතු නඩේ ගුරාගේ භූමිකාවට පිවිසිය හැකි වූයේ ගම්මුන් දහසකගෙන් පමණ අයකුට පමණි. එමෙන්ම ශ්‍රී පාදය සම්බන්ධ පුද සිරිත්, ඉතිහාස කතා, ජන ප්‍රවාද සේම සිරිපා අඩවියේ ස්ථාන, භූ විෂමතා, දේශගුණික හා කාලගුණික තත්ත්වයන් සේම සුළු අසනීප සඳහා වන අත් බේත් ගැන ද නඩේ ගුරකු දැන සිටිය යුතු විය. ඇතැම් විට එවන් වන්දනා ගමන් මෙහෙය වීමෙන් ගැමියන් ගේ විශ්වාසය දිනා ගත් නඩේ ගුරකු වූයේ ගම් කිහිපයකට එක් අයකු වශයෙනි.

සිරිපා වන්දනාවේ සොඳුරු ආඥාදායකයා නඩේ ගුරා කෝ සිරිපා වන්දනා අසිරිය නැති වුණේ නඩේ ගුරා නැති නිසයි

මීට වසර තිහකට ඉහත 1994 වසරේ සබරගමුව ආශ්‍රිත ශ්‍රී පාද ජන විශ්වාස සම්බන්ධයෙන් ම’විසින් කරන ලද විමසුමක දී මෙම නඩේ ගුරු භූමිකාව පිළිබඳ බොහෝ තොරතුරු අසා දැන ගත හැකි විය. ඒ වන විට ශ්‍රීපාද මළුවේ සමන් දේවාලයේ කපු තනතුරක් හෙබ වූ රත්නපුර, වෙරළුපේ, ඩබ්ලියු. ජී. පොඩි මහත්තයා ශ්‍රී පාද ජන සංස්කෘතිය ගැන බොහෝ තොරතුරු දැන සිටි අයෙකි. ඔහු එම කපු තනතුරකට පත් ව ඇත්තේ 1981 වසරේ ය. “ඔය නඩේ ගුරා කියන මනුස්සයා ගමේ මිනිස්සු අතරේ හොඳ නමක් දිනා ගත්තු ඒ වගේම පස් පව් දස අකුසල් නොකරන කෙනෙක් වෙන්න ඕනේ. හුඟක් වෙලාවට ඔය ගිහි පිරිත්, බුදුගුණ ශාන්තිකර්ම කරපු අය තමයි ඔය නඩේ ගුරුකමට පත් වුණේ. සාමාන්‍යයෙන් සිරිපාදේ එන නඩයක් දහයක් දොළහක් වගේම හතළිහක් පනහක් වුණත් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම ගැන එක විදිහටම බලා කියා ගෙන කිසිම නපුරක්, විපතක්, ආරෝවක්, අතුරු අන්තරාවක් නැතුව ඒ නඩේ සිරිපා කරුණා කරවලා ආපහු ගමට ගිහින් දාන එක තමයි නඩේ ගුරකුගේ වගකීම. එහෙම නඩේ ගුරුන්ට ඒ ගම්වලින් තුටු පඬුරු වගේම ගරු සැලකිලිත් නොඅඩුවම ලැබුණා.” ඩබ්ලියු. ජී. පොඩි මහත්තයා කපු මහතා කී අන්දමට ඔහු එහි කපු පදවියට පත්වීමට පෙර සිටම ශ්‍රී පාදස්ථානය හොඳින් හුරු පුරුදුව සිටි අතර ඔහුගේ මිතුරන් අතරේ ද නඩේ ගුරුන් කිහිප දෙනෙකුම හිඳ තිබේ.

ශ්‍රී පාද වන්දනා නඩයක් තෝරා ගැනීමේ දී සිට සිරිපා කරුණාව නිමවා එම නඩය නැවත නිදුකින් නිවෙස් බලා රැගෙන යන තුරුම නඩේ ගුරා වෙතින් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් බොහොමයකි. ඉන් පළමු වැන්න වනුයේ සිරිපා කරුණාව සඳහා ඉදිරිපත් වන්නවුන් තුළ ඒ සම්බන්ධ යෝග්‍යතාව විමසා බලා ඔවුන්ගෙන් සුදුසු පිරිස් පමණක් ඒ සඳහා තෝරා ගැනීම ය. එහිදී කායික වශයෙන් රෝගී අබල දුබල සේම බොහෝ වියපත් වූවන් ද සිරිපා කරුණාවට එක් කර ගැනීම නොගැනීම පිළිබඳ වගකීම නඩේ ගුරා වෙත පැවරුණි. පසුව සිරිපා කරුණාවට මාසයකට අඩුම තරමින් දෙ පෝයකට වත් පෙර ගමේ විහාරස්ථානයට සිරිපා කරුණා කරන පිරිස කැඳවා එහි විහාරාධිපති හිමියන් වෙතින් ඔවුන් පංච ශීලයේ පිහිටුවා එම සිරිපා කරුණා කරන එම නඩයට පිහිටාරක්ෂාව දෙන ලෙස අයැද සමන් දෙවියන් උදෙසා පඬුරක් ගැට ගැසීම මෙම නඩේ ගුරා ගේ පළමු කාරියයි. එම විහාරස්ථානයේ සමන් දේවාලයක් තිබේ නම් එම පඬුර ගැට ගසා යාතිකාවක් කිරීම එහි කපු මහතාට පැවරුණු අතර එසේ නොමැති නම් ඒ වගකීම නඩේ ගුරා විසින්ම දරන ලද බව පැවසෙයි. එහෙත්, වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ පැරණි ගැමියන් සිරිපා කරුණාවට පෙර තම ගමේදී පඬුරු බැඳ බාර හාර වූයේ ගම්බාර දෙවියන්ට බව මගේ උපන් ගම වන ගණේමුල්ලේ, තිබ්බටුගොඩ විසූ ගුප්ත ශාස්ත්‍ර හා සම්බන්ධ පරපුරකට අයත් පියදාස විද්‍යාරත්න මහතා (විපුලසේන අයියා) මා හා කියා තිබේ. ඔහු කී අන්දමට වන්දනා නඩය සමන් දෙවියන් උදෙසා පඬුරු බැඳිය යුත්තේ සමන් දෙවියන් ගේ අඩවිය වන සබරගමුවට පිවිසීමෙන් පසුව ය.

ඒ කෙසේ හෝ වන්දනා නඩය එසේ පේ වීම ඇරඹුණු පසුව සිතින්, කයින්, මනැසින් පැහැදිලි වෙනසකට ලක් විය යුතුම ය. ඒ වෙනස කොතෙක් ද යත් පේවීමේ සිට සිරිපා කරුණාව නිම වන තෙක්ම මස් මාංශ ආදී කිළි කුණු සහිත ආහාරවලින් පවා ඔවුන් වැළකී සිටිය යුතු බව නියමයක් තිබූ බව ද පැවසෙයි. ඒ ඇතැම් විට එවැනි රළු ආහාරවලින් උදරාබාධ ආදිය වැළඳීමේ වැඩි නැඹුරුවක් පැවතීම නිසා එවන් අවදානම්වලින් තොරව වන්දනාකරුවන් ගේ කායික මානසික යහ පැවැත්ම රැක ගැනීම පිණිස විය යුතු ය.

මෙම සිරිපා කරුණාව ඇරඹීම පිණිස කලින් නියම කර ගත් දිනයක හිමිදිරි යාමය යොදා ගැනෙන අතර ඉන් පෙර ද ගමේ විහාරස්ථානයට ගොස් පංචශීලය සමාදන්ව මල් පහන් පුදා බුදුන් වැඳීම ගමනාරම්භ කළ යුතු ය. එමෙන්ම එම සිරිපා කරුණාවට භික්ෂූන් වහන්සේ නමක එක් වුව ද උන්වහන්සේ වත් නඩේ ගුරාගේ භූමිකාවට අත නොපෙවූ බව ඩබ්ලියු. ජී. පොඩි මහත්තයා කපු මහතා කීය.

අතීතයේ ශ්‍රීපාද කරුණාව බොහෝ විට සිදුව තිබුණේ පා ගමනිනි. ගණේමුල්ල, හොරගොල්ලේ විසූ එස්. ඒරිස් සිල්වා (ඒරිස් සීයා) ද තම ජීවිතයේ ළමා වියේ දී එලෙස පා ගමනින් සිරිපා කරුණා කිරීමේ භාග්‍ය ලත් ගැමියෙකි. 1980 වසරේ අසූ තුන් හැවිරිදිව සිටි ඒරිස් සීයා පා ගමනින් සිරිපා කරුණාවේ අසිරිය සහ ආස්වාදනීය එවක ගැටවරයන් වූ අප හමුවේ කියා “කොල්ලනේ තොපිත් එහෙම පලයව්. ඒ ගමන තමයි රහ” යනුවෙන් අපට නොයෙක් වර කී අයුරු මට තාම මතක ය. එහෙත්, ඒ වන විට ඒ පාරම්පරික උරුමය අත්විඳීමේ භාග්‍යය වාසනාව අප කෙරෙන් ගිලිහී තිබිණ.

සිරි පා කරුණාව නමින් හැඳින්වෙන වන්දනා චාරිකාවේ දී ‘කරුණාව’ යන පරමාදර්ශය කෙතෙක් මස්තකප්‍රාප්ත වී තිබුණේ ද යත් නඩේ ගුරා තම නඩයට ආමන්ත්‍රණය කළ සෑම වදනකම කරුණාව ඇති පමණට ගැබ්ව තිබිණ. “නඩේ දැන් ඉතින් කරුණා කරන්න පටන් ගත්තොත් හොඳයි”යනුවෙන් සිරිපා මඟේ අම්බලමක ලැගුම් ගන්නා නඩයට පවසන නඩේ ගුරා “ඔය දරුවෝ ටිකත් පමා කරුණා කළොත් හොඳයි” යනුවෙන් කියමින් තම කායික ශක්තිය යොදා දඩිබිඩියේ සිරිපා කරුණා කළ ගැටවරයන් නික්ම වීම ද සුලබ දෙයක් විය. ඒ සෑම සන්නිවේදනයක්ම “හොඳයි” යනුවෙන් නිම කිරීම මත එය තරවටුවක් සේ කිසිවකුටත් නොහැඟෙයි. එය නඩයේ මානසික ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් විය. එමෙන්ම යමක් වටහා දීමේ දී දුර්වලම ශිෂ්‍යයා කේන්ද්‍ර කර ගැනීමෙන් සියල්ලටම ඉතා යහපත් අධ්‍යාපනයක් ලබා දීමට හැකිවේ යන අධ්‍යාපන මූලධර්මය මත සිරිපා කරුණාවේ නඩේ ගුරා ද නඩයේ සිටින දුබලම තැනැත්තා කෙරෙහි රහසින් ඇස ගසා ඒ අනුව නඩය හැසිර වූ බව ද පැවසෙයි. එමෙන්ම මෙම සිරිපා කරුණාව අතර තුර මානසික පසුබෑමකට ලක් වන එකම වදනක් වත් පැවසීමට නඩේ ගුරා ගෙන් ඉඩක් නොලැබීම ද විශේෂත්වයකි. අදත් බොහෝ දෙනා අතරේ පවතින

“කට වරද්දා ගැනීම” ලෙස හැඳින්වෙන මෙය කාගේවත් සිත නොරිදවා පාලනය කිරීමේ හැකියාවක් නඩේ ගුරාට තිබිය යුතුම විය.

එමෙන්ම, සිරිපා ගමනේදී ඒ හා සම්බන්ධ පැරණි වෘත්තාන්ත කියා දෙමින් වන්දනා නඩයේ අවධානය ඒ වෙතට යොමු කරමින් නඩේ ගුරා සිදුකරන ඒ සුවිශේෂ කාර්ය වන්දනා ගමනේ වෙහෙස නිවන නොවිධිමත් මනෝ චිකිත්සාවක් බව මගේ ඒකායන පිළිගැනීම ය. රත්නපුර පලාබද්දල ශ්‍රීපාද මාර්ගයේ ලීනි හෙලේ දී වන්දනාකරුවන්ට අසන්නට ලැබෙන ‘ලීනි අක්කා’ පිළිබඳ ප්‍රවාදය සහ එම ප්‍රපාතය දෙසට මුව හරවා ලීනි අක්කේ යැයි කෑගැසීමට වන්දනා නඩය පෙළඹවීම හා ඉන් මඳ වේලාවකින් ද ඒ ප්‍රපාතයෙන් නැඟෙන “ඕ… ඕ… ඕ” හඬ ඇගෙන් ලැබෙන ප්‍රතිචාරය ලෙස හැඟවීම වන්දනා නඩයේ ගමන් වෙහෙස නිවීම සම්බන්ධ නඩේ ගුරා සිදු කරන නොවිධිමත් මනෝ චිකිත්සාවන් බව පැහැදිලි ය. එමෙන්ම එම මාර්ගයේ හමුවට ධර්ම රාජ ගලේ ගල්පඩි ගණන් කිරීමට නොහැකි බවට නඩයට අභියෝග කොට ඔවුන් ඒ සඳහා පෙළඹවීම ද නඩේ ගුරුන් විසින් නොවරදවාම කරන ලද්දක් බව පැවසෙයි. මෙය ද සිරිපා කරුණාවේ ගමන් වෙහෙස නිවාලන සරල විනෝදාත්මක උපාය මාර්ගයකි.

රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ගජමන් අම්බලම අද්දර දිය බෙත්ම සමීපය ශ්‍රී පාද කන්ද ඉතා හොඳින් දර්ශනය වන අතර එහි උස් බව දකින කෝඩුකාරයකු තුළ එය තරණය කිරීම අසීරු බවට ඇතිවන හැඟීම සම්බන්ධ යම් මානසික පසුබෑමක් ඇතිවිය හැක. “ඕං අපේ නඩේ කෝඩුලාට සමන් දෙයි හාමුදුරුවෝ දෝත දික් කරන්නේ දැන් තමයි” යනුවෙන් පැරණි නඩේ ගුරුන් එහිදී කෑගසා කී බව ශ්‍රී පාද සංස්කෘතිය සම්බන්ධ එම ගවේෂණයේ දී මා හා කීයේ ශ්‍රී පලාබද්දල, ගල්කනු මඩමේ කේ.පී. කර්තේනිස් (කර්තේනිස් මාමා) මහතා ය. 1994 වන විට ඔහු එම ස්ථානයේ ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා කඩමැස්සක් පවත්වා ගෙන ගොස් වසර පනහක් සම්පූර්ණ වී තිබිණ. සිරි පා මඟෙහි හමුවන ගෙත්තම් පාන අද්දර දී ද වන්දනා නඩය ගෙන යන නූල් කෝඩුකාරයන් කවාකාරව හිඳුවා ඔවුන් ගේ හිස් වටා එතීමේ චාරිත්‍රයක් ද අතීතයේ තිබූ බව ඔහු කීය. මෙය ද නොවිධිමත් මනෝ චිකිත්සාවකි.

එහෙත්, නූතන සමාජ ආර්ථික විපර්යාස හමුවේ නඩේ ගුරා මුල් කොට ගත් එම ශ්‍රීපාද වන්දනා උප සංස්කෘතිය පිළිබඳ තොරතුරු සෙවීමට වඩා ගෙවත්ත පුරා ඇවිදිමින් අපේ මී මිත්තනිය සුද්ධ කළ රතු ලූනුවල පොතු තිබේදැයි සොයා බැලීම නුවණක්කාරකමකැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment