2024 අභියෝගාත්මක වසරක්

කෘෂිකාර්මික අංශය වර්ධනය වෙද්දී කාර්මික සහ සේවා අංශයේ පහළ යයි

වී වගාව, එළවළු, පලතුරු සත්ව නිෂ්පාදන වර්ධනය වෙයි

රටක දිශානතිය තීරණය කළ හැකි රටේ අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට හැකියාව ලැබෙන ප්‍රධාන සහ හොඳම නිදර්ශකය වන්නේ එම රටේ දළ දේශීය නිෂ්පාදිතයයි. ඒ පිළිබඳ සැලකිලිමත් වන කවුරුත් බලා සිටින්නේ ඒ පිළිබඳ රටේ පිළිගත් ආයතනයකින් වාර්තාවක් නිකුත්වන තෙක්ය. පසුගියදා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 වසරට අදාළව වාර්තාවක් ඉදිරිපත් කෙරිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ද ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන පුද්ගලයෙකි. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග කළ සාකච්ඡාවක සංක්‍ෂිප්තයයි.

මෑත දශකය හා සසඳා බලනවිට වැඩිම මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා වන වසර වන්නේ 2018 වසරයි. එය රුපියල් බිලියන 13,235කි. 2019 වසර වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 13206 දක්වා එම අගය අඩු වී ඇති අතර 2020 දී රුපියල් බිලියන 12,595 දක්වා තවදුරටත් පහළ වැටී ඇත. 2021 නැවතත් රුපියල් බිලියන 13,125 දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගොස් ඇති අතර 2022 දී නැවතත් රුපියල් බිලියන 12,161 දක්වා පහළ යෑමක් දක්නට ලැබේ. 2023 වසරේදී එම අගය රුපියල් බිලියන 11,881 දක්වා තවදුරටත් පහළ යෑමක් දක්නට ලැබේ.

2022න් පසු දළ දේශීය නිෂ්පාදිතයේ බරපතළ කඩාවැටීමක්

2022 වසරින් පසුව ලංකාවේ ආර්ථිකය පිළිබඳ සලකා බැලීමේදී සැලකිය යුතු කඩාවැටීමක් දක්නට ලැබේ. 2021 වර්ෂයේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ධන වර්ධනයක් දක්නට ලැබුණත් 2022 වසරේ කාර්තු හතර තුළම දකින්නට ලැබෙන්නේ සෘණ ආර්ථික වර්ධනයකි. එසේම 2023 වසරේ මුල් කාර්තු දෙක තුළද දකින්නට ලැබෙන්නේ සෘණ ආර්ථික වර්ධනයකි. නමුත් 2023 වසරේ අවසාන කාර්තු දෙක තුළ ධන ආර්ථික වර්ධනයක් දැකිය හැකිය.

2022 වර්ෂයේ මෙරට ආර්ථිකය පිළිබඳ සලකා බැලීමේදී එම වර්ෂයේ පළමු කාර්තුව තුළ 0.6% සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන අතර දෙවන කාර්තුව තුළ එය 5.3% සෘණ වර්ධනයක් පෙන්නුම් කරයි. තුන්වන කාර්තුව වනවිට එය 11.2% සෘණ වර්ධනයකුත් හතරවන කාර්තුව වනවිට එය සෘණ 12.4% වර්ධනයක් දක්වාත් වර්ධනය වී ඇත.

ආර්ථිකයේ කඩාවැටීම තවදුරටත් 2023 වසරේද එලෙසින්ම සිදුවී ඇත. 2023 පළමු කාර්තුවේදී සෘණ 10.7% ක් හා දෙවන කාර්තුවේදී සෘණ 3% වශයෙන් පෙන්නුම් කළත් තුන්වන කාර්තුව වනවිට ආර්ථිකයේ වර්ධනය ධන 1.6% ක් හා හතරවන කාර්තුවේදී ධන 4.5% වශයෙන් එහි වර්ධනයක් පෙන්නුම් කෙරේ.

කෘෂිකාර්මික අංශයේ වර්ධනයක්

රටක ආර්ථිකයක් ගොඩනැඟී ඇත්තේ ප්‍රධාන අංශ තුනක් යටතේ ය. ඒ කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය සහ සේවා අංශය වශයෙනි. මෙම අංශ තුනෙන් කෘෂිකාර්මික අංශය 2023 වර්ෂයේ කාර්තු හතරේම ධන වර්ධනයක් දැකගත හැකිය. මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රසායනික පොහොර තහනම ඉවත්කිරීම සහ රට තුළ යහපත් කාලගුණික තත්ත්වයක් පැවතීමය.

කාර්මික අංශයේ දැවැන්ත කඩාවැටීමක්

2023 පළමු කාර්තුව තුළ කාර්මික අංශයේ කඩාවැටීම 24.3% කි. එසේත් නැතිනම් එහි සෘණ වර්ධනයක් පෙන්නුම් කෙරේ. එනම් 2022 වසරට සාපේක්‍ෂව යම් වර්ධනයක් පෙන්නුම් කළත් පෙර වර්ෂ හා සැසඳීමේදී එහි කඩාවැටීමක් පවතී. එසේම එය දෙවැනි කාර්තුව වනවිට 11.7% ක කඩාවැටීමකුත් තුන්වන කාර්තුව වනවිට 0.7% කඩාවැටීමකුත් දැකගත හැකිය. නමුත් සිව්වන කාර්තුව වනවිට එය 7.9% ධන වර්ධනයක් දැකගත හැකිය.

සේවා අංශයත් පහුබහී

ලෝකෙට ණයවෙන 2023දී අපි කරපු හැටි

සේවා අංශය පිළිබඳ සලකා බැලීමේදී 2023 වර්ෂයේ දැකගත හැකිවන්නේ සෘණ වර්ධනයකි. එහි පළමු කාර්තුවේ වර්ධනය වාර්තා වන්නේ 4.6% සෘණ වර්ධනයක් ලෙසිනි. එය දෙවන කාර්තුව වනවිට 0.5% සෘණ වර්ධනයකුත් පෙන්නුම් කරයි. නමුත් තුන්වන කාර්තුව වනවිට 1.7% ධන වර්ධනයකුත් සිව්වන කාර්තුවේදී 2.8% ධන වර්ධනයක් පෙන්නුම් කෙරේ.

2023 වර්ෂය පිළිබඳ සලකා බැලීමේදී 2022 වර්ෂයට සාපේක්‍ෂව යම් ක්‍රමික වර්ධනයක් දක්නට ලැබේ. විශේෂයෙන් කෘෂිකාර්මික අංශය සලකා බැලීමේදී එහි වර්ධනයක් දැකගත හැකිය. අප තවදුරටත් කෘෂිකාර්මික අංශය පිළිබඳ විමසා බලමු.

වී වගාවට හොඳ කලක්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස වැඩිම බලපෑමක් එල්ල වූ ක්‍ෂේත්‍රයක් වූයේ වී ගොවිතැනයි. රසායනික පොහොර තහනම් කිරීමත් සමග රටේ වී ගොවිතැන නැත්තටම නැතිවිණි. එසේ කඩාවැටුණු වී වගාව 2023 දී යළි පණගසා නැගිට තිබේ. ඒ රට තුළ වැඩි මිලට හෝ ලබාගැනීමට රසායනික පොහොර පැවතීම නිසාය. 2023 වසරේ වී වගාවේ වර්ධනය 20%කි. එය හොඳ තත්ත්වයකි.

ස්ථිර භෝග වගාවේත් වර්ධනයක්

එසේම අනෙකුත් ස්ථිර භෝග වගාවේ වර්ධනය 8.9%කි. පලතුරු වගාවේ වර්ධනය 7.2%කි. එළවළු වගා කිරීම් හි වර්ධනය 3.2%කි. ධාන්‍ය වගාකිරීම්හි වර්ධනය 2.9කි. ඒ සඳහා ද රට තුළ පැවැති පොහොර තහනම ඉවත් කිරීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. කෘෂිකාර්මික සහාය සේවා කටයුතු 1.5% කින් වර්ධනය වී ඇත.

කරදිය ධීවර කර්මාන්තය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ 3.4%ක සෘණ වර්ධනයක් 2023දී වාර්තා වී ඇත. සත්ව නිෂ්පාදන කටයුතු ද 1.8%කින් වර්ධනය වී ඇත.

පැළ භෝග වගාකිරීම්වල සෘණ වර්ධනයක්

2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 වර්ෂයේදී පැළ භෝග වගාවන්හි පෙන්නුම් කරන්නේ 24.7%ක සෘණ වර්ධනයකි. රබර් වගාකිරීම්වලට අදාළව එය වාර්තා වන්නේ 7.7%ක සෘණ වර්ධනයක් ලෙසිනි. උක්, දුම්කොළ සහ අනෙකුත් ස්ථිර නොවන භෝග වගාකිරීම් 7.6% ක සෘණ වර්ධනයක් සහ කෝපි, කොකෝවා ආදිය 7.6%ක සෘණ වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම වනවගා සහ දැව කඳන් නිෂ්පාදනය 7.3% සෘණ වර්ධනයක් 2023 වසරේදී වාර්තා කර ඇත. පොල් ඇතුළත් තෙල් සහිත පලතුරු භෝග වගාවේ වර්ධනය 3.6%ක සෘණ වර්ධනයකි.

කුළුබඩු වගාකිරීම්හි වර්ධනය වාර්තා කරන්නේ 1.7%ක සෘණ වර්ධනයකි. අපේ ප්‍රධාන අපනයන භෝගය වන තේ වගා කිරීම්හි වර්ධනය 1.5%ක සෘණ වර්ධනයකි.

කෘෂිකාර්මික අංශයේ සමහර අංශවල යම් වර්ධනයක් පෙන්නුම් කළත් බොහෝ ක්‍ෂේත්‍රවල පෙන්නුම් කරන්නේ සෘණ වර්ධනයකි.

2022 වර්ෂය තුළ වැඩි වශයෙන්ම කඩා වැටුණු ක්‍ෂේත්‍රයක් වන්නේ කාර්මික අංශයයි. ආනයන සීමා කිරීම්, දේශීය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යෑම, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, විනිමය අනුපාතයන්ගේ සිදු වූ වෙනස්වීම් ආදී කරුණු කාරණා මත සහ ජලය, විදුලිය ආදී යටිතල පහසුකම්වල පිරිවැය ඉහළ යෑම නිසා 2022 වර්ෂයේදී වාර්තා වන්නේ 16% සෘණාත්මක වර්ධනයකි.

2023 දීත් කර්මාන්ත අංශයේ කඩාවැටීමක්

නිමැවුම් කර්මාන්ත කටයුතුවල සමස්ත පසුබැසීම 3.2%ක් ලෙස වාර්තා කර ඇත. ඒ අතරින් දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන 20% ක පසුබැසීමක් 2023 වර්ෂයේදී වාර්තා වී ඇත. රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය 16.8%ක පසුබැසීමක් වාර්තා කරන අතර වෙනත් නිමැවුම් කර්මාන්ත 15.6% පසුබැසීමකුත් යන්ත්‍ර සූත්‍ර උපකරණ නිෂ්පාදනය 15.1%ක රෙදිපිළි, නිමිඇඳුම් සහ සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු 12%ක කඩදාසි සහ ඒ ආශ්‍රිත කටයුතු 9.2%ක ගෘහභාණ්ඩ නිෂ්පාදනය 7.8% සහ වෙනත් ලෝහ නොවන ඛනිජ 0.6%ක පසුබැසීමක් 2023 වසරේදී වාර්තා වී ඇත.

නමුත් 2023 වර්ෂයේදී පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන කර්මාන්තවල සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇත. එසේම නිමැවුම් කර්මාන්තවල දළ දේශීය නිෂ්පාදිතයට 7%ක දායකත්වයක් දක්වන ප්‍රධාන නිමැවුම් ආර්ථික කටයුත්ත වන ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදනය 3.5%ක ධන වර්ධනයක් දැකගත හැකිය.

එසේම මූලික ලෝහ සහ ව්‍යුහාත්මක ලෝහ නිෂ්පාදනය 2.6%ක වර්ධනයක්, රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග නිෂ්පාදනය 0.7% වර්ධනයක් වාර්තා කර ඇත.

ඉදිකිරීම් කර්මාන්තය තවමත් ඉබිගමනේ

දළ දේශීය නිෂ්පාදනයෙන් 5.1%ක දායකත්වයක් දක්වන ඉදිකිරීම් කර්මාන්තයෙහි වාර්තා වන්නේ 20.8% සෘණ වර්ධනයකි.

සිමෙන්ති, යකඩ, ගල්, වැලි ආදී අමුද්‍රව්‍ය මිල තුන් හතර ගුණයකින් ඉහළ යෑම මේ සඳහා දැඩිව බලපා ඇත.

මේ සම්බන්ධයෙන් අප එම ක්‍ෂේත්‍රයේ නිරත කිහිප දෙනකුගෙන්ම විමසා බැලූ අතර බොහෝ පිරිස් මේ වනවිට එම ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී වෙනත් රැකියා සඳහා යොමුවී ඇති ආකාරය දැකගත හැකිය. තවත් පිරිසක් තමන් කළ කාර්යයන් වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා දස අතේ ණය වී මේ වනවිට රට පවා හැරගොස් තිබේ.

පතල් හා කර්මාන්තවල 2023 වසර කඩා වැටීම 22.3% වාර්තා කරන අතර විදුලිය, ගෑස්, වාෂ්ප, වායු සැපයුම වැනි සැපයුම් ද 2.3% සෘණ වර්ධනයක් වාර්තා කර ඇත. ජලය එක්රැස් කිරීම, පිරිපහදු කිරීම හා බෙදාහැරීම 17.6% පසුබැසීමක් වාර්තා කර ඇත.

ඒ අනුව බලන කල 2022 වර්ෂයේදී හා 2023 වර්ෂයේදී වැඩිම කඩාවැටීම වාර්තා කරන්නේ කර්මාන්ත අංශයේය.

කර්මාන්ත අංශය සැලකීමේදී එය රටකට ඉතා වැදගත් අංශයක් වේ. ඒ රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් 25%ක පමණ දායකත්වයක් කර්මාන්ත අංශය විසින් සපයන බැවිනි.

සේවා අංශයෙත් සුළු පසුබැසීමක්

සේවා අංශය පිළිබඳ සලකා බැලීමේදී පෙනීයන්නේ 2022 ට සාපේක්‍ෂව 2023 වර්ෂයේදී 0.2%ක් වැනි සුළු පසුබැසීමක් වාර්තා කර ඇති බවයි. තොරතුරු තාක්‍ෂණ කටයුතු සැපයීම 21.4%කත් මූල්‍ය සේවා ක්‍රියාකාරකම් 10% කත් දේපළ වෙළෙඳාම් කටයුතු සහ නිවාස අයිතිය 6%කත් විදුලි සංදේශ සේවා 2.2%කත් වැඩසටහන් සම්පාදන හා ගුවන්විදුලි රූපවාහිනි විකාශන කටයුතු 2.1%කත් රාජ්‍ය පරිපාලනය 1.7කත් සෞඛ්‍ය සේවා 0.7%කත් සෘණ වර්ධනයක් පෙන්නුම් කෙරේ. සේවා අංශය සැලකීමේදී ඒ තුළත් දක්නට ලැබෙන්නේ සෘණ වර්ධනයකි.

වර්ධනය වූ සේවාවන්

නවාතැන් හා ආහාර සැපයීම 26%කින් වර්ධනය වී ඇත. රක්‍ෂණ සේවා ද 26%කින් වර්ධනය වී ඇත. භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය හා ගබඩාකරණ කටයුතු 3.9%කත් තැපැල් හා කුරියර් සේවා 2.9%කත් වෘත්තිය සේවා 2.4%කත් අධ්‍යාපන සේවා 1.8%කත් අනෙකුත් පෞද්ගලික සේවා 0.4ක් වශයෙනුත් ධන වර්ධනයක් දැකගැනීමට හැකිය.

මීට අමතරව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%කට වඩා දායකත්වයක් සැපයූ තොග හා සිල්ලර වෙළෙඳාම ද 0.1%ක වර්ධනයක් දැකගැනීමට හැකිය.

ලංකාවේ ආර්ථිකය පිළිබඳ සමස්තයක් ලෙස ගෙන බැලුවහොත් කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය සහ සේවා අංශය තුළින් ඇතිකරන ලද මූර්ත නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 11881කි. ඒ අතරිනුත් කෘෂිකාර්මික අංශයෙන් රුපියල් බිලියන 934ක් එසේත් නැතිනම් 8% වැනි දායකත්වයකුත් කාර්මික අංශයෙන් රුපියල් බිලියන 3003ක එසේත් නැතිනම් 25%ක දායකත්වයකුත් සේවා අංශයෙන් රුපියල් බිලියන 7300ක් දළ දේශීය නිෂ්පාදිතයෙන් 61%ක දායකත්වයක් මෙවර වාර්තාව අනුව දැකබලා ගැනීමට පුළුවන.

මෙරට ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් සහ මේ වනවිට රට ගමන් කරන දිශානතිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

ශ්‍රී ලංකාව 2019 වර්ෂයේදී පාස්කු ප්‍රහාරයට ලක්වුණා. ඒ හේතුවෙන් විශාල වශයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටුණා. 2020 දී කොරෝනා වසංගතයටත් 2021, 2022 වන විට ලෝකය තුළ ඇති වූ යුදමය වාතාවරණය හේතුවෙනුත් මෙරටට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා.

2023 වසර පිළිබඳ සලකා බැලීමේදී පාස්කු ප්‍රහාරය හැර අනෙක් සියලුම අර්බුදවලට ලෝකයේ අනෙකුත් රටවලටත් මුහුණ දෙන්න සිදුවුණා. නමුත් එම රටවල් ඉතා ඉක්මනින් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. චීනය, ඉන්දියාව, පාකිස්තානය වැනි දකුණු ආසියානු රටවල් පිළිබඳ සලකා බැලුවත් එම රටවල් මෙවන් තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. එම රටවල් ධන ආර්ථිකයක් කරා යොමු වුණත් ශ්‍රී ලංකාවේ පැවති ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් අපට මෙම ආර්ථිකය ධන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමට නොහැකි වුණා.

2023 වසරේ අවසන් කාර්තු දෙක තුළ යම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළත් එය අප සංසන්දනය කරන්නේ දැඩි ලෙස ආර්ථිකය කඩා වැටුණු 2022 වසරේ අවසන් කාර්තු දෙක සමග නිසා සංඛ්‍යාත්මකව ධන අගයන් පෙන්නුම් කළත් තවමත් අපට එයින් සෑහීමකට පත් වෙන්න බෑ. එයට ප්‍රධාන හේතුව වන්නේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් තවමත් යථා තත්ත්වයට පත්වීමක් දැකගන්නට නොලැබීමයි.

ඒ වගේම කර්මාන්ත අංශයේ වැසී ගිය කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමක් සිදුවන්නේත් නැහැ. මේ වෙනකොටත් මෙරට තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා 260,000 අධික සංඛ්‍යාවක් වැසී ගොස් අවසන්. මීට අමතරව මහා පරිමාණ කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවකුත් වැසී ගොස් තිබෙනවා. තවමත් ඒවා යථා තත්ත්වයට පත් වීමක් අපට දැකගන්නට නොහැකියි. සේවා අංශය සැලකීමේදී සේවා අංශයේ උප අංශයන්හි වර්ධනයක් තවමත් අපට දකින්නට නැහැ. මේ නිසා 2024 වර්ෂය අපට ඉතාමත් අභියෝගාත්මක වර්ෂයක් වෙනවා.

2024 වර්ෂය මැතිවරණ වර්ෂයක්. අනෙක් පසින් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු වර්ෂයක්. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා කොන්දේසි ඉෂ්ට කළ යුතු වර්ෂයක්. ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සාදා ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment