දෛවය සහ ඔබේ විඤ්ඤාණය

993

කේන්ද්‍රයෙන් විද්‍යමාන වන තොරතුරු රැඳී ඇත්තේ මේ කියන විඤ්ඤාණය තුළ බව ඔබ දන්නේද? ඇත්තෙන්ම නැත. විඤ්ඤාණය යනු ඔබේ මනසම ය. හැබැයි වෙනසක් තිබේ. මනසම නමුත් මනසේ අති විශේෂ කොටසකි. මෙය පිහිටා ඇත්තේ අපේ හදවත තුළ පවතින ලේ මත බව අභිධර්මයේ දැක්වෙයි. මෙය හදවතේ බිත්තියකට ඇලී නොපවතින අතර එහි ඇති ලේවල මැද කොටසේ පවතී. මෙය රූපයක් නොවන බවත් ස්පර්ශ නොවන නොපෙනෙන – නෙසෙල්වෙන දෙයක් බවත් සඳහන් වේ. එහෙම නම් මේක තරංග ශක්තියක් බඳු දෙයකි. කිරණයක් බඳුය.

ජීවිත කාලය තුළ කෙනෙක් ඉගෙන ගන්න දේවල් තැම්පත් වන්නේ මෙතැනය. ඉගෙනීම යනු සංඥා ගොඩනැඟීම බව අභිධර්මයේ දැක්වෙයි. අවබෝධතා ඥානය – මතකය රැඳී ඇත්තේ එතැනය. කෙනෙක් ජීවිත කාලය පුරා කරගත් හොඳ නරක තැම්පත් වන එකම තැන මෙතැනය. ඒ හොඳ නරක දෙක ද සංස්කාර හෙවත් චේතනාමය. කේන්ද්‍රයෙන් අපට පෙන්වන සුබාසුබ තත්ත්වයන් ඒ තැම්පත් වුණ හොඳ නරක දෙකය. සංස්කාර යනු “චේතනා” යන්නය.

මේ විඤ්ඤාණයට සමකළ හැකි තවත් වස්තුවක් මේ තුන් ලෝකයේම නැත. මිනිසෙකුගේ හෝ වෙනත් සත්ත්වයෙකුගේ හෝ ශරීරයටත් වඩා වටිනාම දේ මේ විඤ්ඤාණයයි. මිනිසාට මෙන්ම සෑම සියලු සත්ත්වයාට ම විඤ්ඤාණය පවතී. එය සිතක අති සුවිශේෂී කොටස වන අතර කරන කියන හිතන සියලු යහපත් අයහපත් චේතනා, තරංග වශයෙන් මේ විඤ්ඤාණය තුළ තැම්පත් වේ. මේ තැම්පත් වීම ගැන බුදුන් වහන්සේ මෙසේ වදාළහ. මේ විඤ්ඤාණයට කොපමණ චේතනා පිරුණත් අහසක් වගේ ඉඩ මදිවීමක් නැත” යන්නය. එසේම එහි තැම්පත් වන කර්ම හෙවත් චේතනා කුසල් අකුසල් ලෙස දෙආකාරයි. මේවා විශ්වයේ තමාට සක්‍රීය වන ක්‍රියාත්මක දේවල් බවට පත් වේ. කුසලයට වාසනාවත් අකුසලයට අවාසනාවත් ලෙස මේවා සත්ත්වයාට ක්‍රියාත්මක වෙයි. මේ ක්‍රියාත්මක වීම ජ්‍යොතිෂ ඍෂිවරුන් දකින්නේ විශ්ව බල ශක්ති සම්බන්ධයක් තුළින් බවය. එනම් ග්‍රහයෝ නම් පරමාණුක ශක්ති මේ විඤ්ඤාණයේ තැම්පත් වුණ හොඳ නරක තරංග ක්‍රියාකාරි කරන බවකි. ග්‍රහ බලය උපයෝගි කර ගනිමින් පලාපල එනම් කුසලාකුසලවල ඵල විපාක පැහැදිලි කිරීමය.

මේ සියලු ඵල විපාක මෙසේ මනුෂ්‍යයාගේ දෛවය බවට පත් වෙයි. ඒ දෛවය බවට පත්වන කර්ම හෙවත් කුසල් අකුසල් තරංග තැම්පත්ව ඇත්තේ හදවත තුළ පවතින මේ මනෝ විඤ්ඤාණය තුළමය. ඒවා විශ්ව බලවේග වූ රවි, චන්ද්‍ර, කුජ, ශුක්‍ර, ශනි, රාහු, කේතු නම් පරමාණුක බල සිරුරට සම්ප්‍රේෂණය වෙමින් ඒ කිරණ මනෝ විඤ්ඤාණය දක්වා ගමන් කර එහි කර්ම හෙවත් තරංග ලෙස තැම්පත් වුණ කුසල් අකුසල් නම් වූ වාසනා අවාසනා දෙක සක්‍රීය කරයි.

අවාසනාව හෙවත් අකුසල් වැඩි වශයෙන්ම සෙනසුරුගේ පරමාණුක කිරණවලින් වැඩිපුරම සක්‍රීය වනවායි කීමද නිවැරදිය. මේ ආත්මයෙන් සිතෙන් වචනයෙන් – ක්‍රියාවෙන් සිදුවන කුසල් අකුසල් දෙක කර්ම හෙවත් තරංග වශයෙන් තැම්පත් වන්නේත් මෙම මනෝ විඤ්ඤාණය තුළමය. ඒවායේ ප්‍රතිවිපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් කොටසක් මෙලොවදී විපාක අත් කරයි. මේවා ලග්න ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක කාලවල පැරණි කර්ම සමගම විපාක අකුසල විපාක ලෙස සක්‍රීය වෙයි.

කුසල් හෙවත් වාසනාවත් කේන්ද්‍රයේ සුබව පිහිටි ගුරු සිකුරු ආදී දශාවලදී මෙලොව කරන කුසල කර්මවල දිට්ඨධම්මවේදනීය කර්මය බවට පත් විය හැක. එම සුබ ඵල මෙලොවදීම අත් වේ. මේ මනෝ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය කෙනෙකුගේ මරණයේ දී විශේෂිත වෙයි. මරණය සිදුවීමට පහළ වන චුතිසිත හටගන්නෙත් මේ මනෝ විඤ්ඤාණය තුළමය. ඒ වනවිටම මේ මනෝ විඤ්ඤාණය හදවතින් මිදී පිටවෙයි. මෙසේ වීම අපි මරණය ලෙස හඳුන්වන්නෙමු. එවිට අපට තිබූ ජීවාත්මක බව එකී මනෝ විඤ්ඤාණයත් සමග පිට වෙයි.

මොළය ඇතුළු ශාරීරික සියලු ඉන්ද්‍රියන් අක්‍රීය වෙයි. ඒ නිසා අපට ප්‍රධානම ජීවනය මේ මනෝ විඤ්ඤාණය මිස අන්යමක් නොවේ. මොළය රඳා පවතින්නේ මෙම මනෝ විඤ්ඤාණය මතය. කෙනෙක් යම් තරමින් හෝ සිත, වචන, ක්‍රියාව සිල්වන්තව යහපත් දේ කර ගත්තේ නම් ඒවා මේ විඤ්ඤාණයේ තැම්පත් වී තිබේ. කෙරුණ අකුසල් ද එහි තැම්පත් වී තිබේ. මෙසේ අකුසල් බලයට වඩා කුසල් බල වැඩි නම්, සිල්වත් බව යම් මට්ටමකින් සුබව තිබුණේ නම් මේ විඤ්ඤාණය මෙසේ පිටවී ගොස් යළිත් මිනිස් මවු කුසකට ම ඇතුළු වී දශ මසකින් යළි මිනිසෙකු ලෙස උපදින්නේය.

අකුසලුත් ඇත්නම් ඒවා ඒ ජීවිතය තුළ ප්‍රතිවිපාක දෙයි. මෙසේ ප්‍රමාණාත්මකව කුසල් තිබුණ විඤ්ඤාණයක් මරණින් පිට වී ගොස් යළි මිනිස් මවු කුසකට ඇතුළු වී උපතක් ලැබීම ‘ජලාබුජ උපත්” සේ දැක්වෙයි. යම් කෙනෙක් ශීලයෙන් තොරව තණ්හාවෙන්ම කටයුතු කර තරහ වෛර ඉරිසියා පැවැත්වූවෙක් නම් ඒ අකුසල් මනෝ විඤ්ඤාණයේ පවතී. එය මරණයෙන් පිටවෙනවාත් සමග ඒ විඤ්ඤාණය ඒ පිටවෙන මොහොතේම ප්‍රේත ශරීරයක් බවට පත්වී ප්‍රේත ලෝකයට ඇදී යයි. ඒ උපත හඳුන්වන්නේ “ඕපපාතික” උපත් ලෙසය.

ප්‍රාණගාතය, හොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් නම් මරණෙන් පිට වන්නෙ මනාව ඒ සියල්ල තැම්පත් වුණ විඤ්ඤාණයයි. එය පිටවෙනවාත් සමග ඒ විඤ්ඤාණය නිරයගාමී ශරීරයක් බවට පත්වී නිරයට ඇදී යයි. එය ද ඕපපාතික උපතකි. කෙනෙක් මිනිස් ආත්මේ සිට තවත් අයට තිරිසන් වැඩ කළා නම් ඒවාත් අනිවාර්යයෙන් මේ මනෝ විඤ්ඤාණයේ අකුසල් ලෙස තැම්පත් වේ. එහෙම කෙනෙක් මිය යන කොටම එම විඤ්ඤාණය ඇදී ගොස් තිරිසන් මවු කුසකට ඇතුළු වෙයි. ඉන්පසු මනුෂ්‍ය විඤ්ඤාණය තිරිසන් විඤ්ඤාණයක් තිරිසන් සතෙක් බවට පත් වේ. යම් හෙයකින් ඒ විඤ්ඤාණය තුළ පිරුණ අකුසල්වල ස්වභාවය අනුව බිත්තරයකට රිංගා ගත හැක. ඒ සිදුවන උපත් “අණ්ඩජ උපත්” ලෙස දැක්වෙයි. එසේම පනුවන් ගසා ඇති තැන්වල පනුවෙක් ලෙසත් මේ උතුම් මනුෂ්‍ය භවය නැති කරගෙන ඉපදිය හැක. ඒ උපත් “සංසේජද උපත්” ලෙස දැක්වෙයි.

කෙනෙක් මිනිස් ආත්මය තුළ මනාව ශීලාදි ගුණවල හැසිරෙමින් දන් පැන් දීම් මනුෂ්‍යයින්ට උදව් උපකාර කිරීම් ආදියෙන් කුසල්ම වැඩි කර ගත්තේ නම් ඒවා ද මෙම විඤ්ඤාණයේ තරංග හෙවත් කිරණ ලෙස තැම්පත් වේ. කුසල කර්ම යනු ඒවාය. මරණයෙන් ඒ විඤ්ඤාණය පිට වෙන කොටම එම විඤ්ඤාණම දේව ශරීරයක් වී උතුම් සැප සහිත දෙවි ලොවකට පාවී යයි. එයත් ඕපපාතික උපතකි.

අපේ මනසේ අති සූක්ෂම කොටස වූ හදවතේ ලේ තුළ පවතින කිරණයක් බඳු මනෝ විඤ්ඤාණයක ඇති ක්‍රියාකාරි ස්වභාවය එයයි. අපි යම් දෙයක් කර ලෝකයාට කොපමණ හැංගුවත් මේ සත්‍යය තමාගේ මනෝ විඤ්ඤාණයේ තැම්පත් වේ. එය අකුසලයක් නම් අනාගතේ තමන්ට විඳීමට එමගින් දුක් සැලසේ. එය කුසලයක් නම් අනාගතේ තමන්ට සැප අත්කරයි.

ඔබේ දැන් ජීවිතයේත් සුබ අසුබ දෛවය සැකසෙන්නේ ඔබේ මනෝ විඤ්ඤාණය තුළ තැම්පත්ව ඇති කුසල් අකුසල් කිරණ (කර්ම) අනුවය. ඒවා ග්‍රහයින්ගේ කිරණ වැදීමෙන් ඔබට යහපත් හෝ අයහපත් දෛවයක් නිර්මාණය වේ. මෙම කුසල් හෝ අකුසල් සකස් වන්නේ අපේ චේතනා හෙවත් සංස්කාර අනුවය. මේ ගැන බුදුන් වහන්සේ මෙසේ වදාළහ.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.

“මහණෙනි මම කර්මය කියන්නේ චේතනාවටමයි” යන්නය. චේතනා (සිතුවිල්ල) චිත්ත තරංගයකි. චේතනාව යහපත් නම් කුසල තරංගයකි. අයහපත් නම් අකුසල තරංගයකි. එදා තරංග ලෙස නොව කර්ම ලෙස භාවිත වී ඇතැයි උපකල්පනය කළ හැක. මේ ලිපිය සකස් කිරීමට අභිධර්මය ඇසුරු කර ඔබට වඩාත් අවබෝධ වන පරිදි සරලව ලිවීමට උත්සාහ කළෙමි.

දෛවය සහ ඔබේ විඤ්ඤාණය

ජ්‍යොතිෂවේදී අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය
අසල අගලවත්ත
077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment