ජ්‍යොතිෂ ඇසින් දුටු කඳසුරිඳුන්

1059

ජ්‍යොතිෂයේදී කතරගම දෙවියන් උදෙසා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි- කඳසුරිඳු තරම් ලංකාවේ බැතිමතුන් අතර ඇදහීමටත් විශ්වාසයටත් පාත්‍ර වූ වෙනත් දේවාත්මයක් නැති තරම් ය- ජාති ආගම් කුල භේද නොතකා සෑම සියලු දෙනාම තමන්ට කරදරයක් බාධකයක් වූ සැම විටම කඳසුරිඳුගේ පිහිට පැතීමට අමතක නොකරයි- අනෙකුත් බොහෝ දෙවියන් අල්පේච්ච ජීවිතයක් ගත කළ ද කතරගම දෙවිඳු කාම සුඛල්ලිකානු යෝගය බැහැර නොකළ දේව ආත්මයක් නිසාවෙන් උන්වහන්සේ අනික් දෙවියන් මෙන් නොව තමාගෙන් සෙත ශාන්තිය බලාපොරොත්තු වන බැතිමතුන්ට ඔවුන්ගේ ලෞකික කාරණා උදෙසා ද ආශිර්වාද කරනු ඇත. විවිධ වූ ආකාරයට පුදපූජා පවත්වමින් එම දේවනාමයට සෙත්කවි ගායනා කරමින් බැතිමතුන් උන්වහන්සේගෙන් අනේකවිධ වූ ඉල්ලීම් කරනු ලබයි.

කතරගම යනු නම කියූ පමණින් අපේ මතකයට එන්නේ සිංහල බෞද්ධ ජනතාවටත් දෙමළ හිංදු ජනතාවටත් එකසේ වැදගත් වන අති උතුම් ස්ථානයකි. කතරගම රාජධානිය කොටගෙන විසූ මහාසේන නම් දෙව් රජු දැනට කිරිවෙහෙර පිහිටි ස්ථානයට වැඩි බුදුරජානන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් වූ බවත් එම මහසෙන් දෙවියන් කතරගම දෙවියන් වී කදිරදේව වූ බවත් සිංහල ජනයා අතර පිළිගැනීමක් ඇත. මහාසේන නම් වූ සිංහල රජතුමා පසුකලෙක එසේ දේවත්වයට පත් වූ බවත් ඔහු වැඩසිටි කන්ද සිය වාසභූමිය කරගත්තා වූ බවත් ජනප්‍රවාදයේ කියවෙයි. දුටුගැමුණු මහ රජතුමා යුද්ධයෙන් දිනා කතරගම මහා දේවාලය කර වූ බවත් මැණික් ගඟට කප්කර කන්දර නදී යනුවෙන් ව්‍යවහාර වූ බවත් වැඩි දෙනාගේ පිළිගැනීමයි.

දකුණේ තිස්සමහාරාමයට සැතපුම් 10 ක් පමණ දුරින් මැණික් ගඟ අසබඩ ඓතිහාසික කතරගම පූජා භූමිය පිහිටා ඇති අතර, කාන්තාර ගම, කදිර ගාමර්, ක්‍ෂත්‍රීය ග්‍රාම යන යෙදුම්වලින් බිඳී විත් ඓතිහාසික කතරගම බවට පත් මෙම පුරවරය බොදු හා දෙව් බැතිමත්හු සිය අනේක විධ දුක් ගැනවිලි බාරහාර පුද පූජා තබා ජීවිතයේ සතුට සැනසුම හා ප්‍රාර්ථනා සාර්ථක කර ගැනීම සඳහා යන එකම ස්ථානය ලෙසද හැඳින්විය හැකිය. බෞද්ධයන් වන අප ප්‍රථමයෙන් තෙරුවන් විෂයෙහි මල් පහන් සුවඳ දුම් පූජා කර උචිත ඇඳුමකින් සකස් විය යුතුය. දේව පූජාවකට ප්‍රථමයෙන් නිර්මාංශව පෙහෙවීම ඉතාමත් වැදගත් වේ. ඉන් අනතුරුව පහත සඳහන් මන්ත්‍රය ජප කිරීම ඉතාමත් ප්‍රතිඵල දායක වනු ඇත.

කතරගම දෙවිදුන් අපට ඉතාම හුරු පුරුදු මෙන්ම අසරණ ජනතාවට නිරන්තරයෙන් පිහිට වන දෙවි කෙනෙකි. එමෙන්ම ජනතාව නිතරම තම දුක්ගැනවිලි පවසා සහනයක් අපේක්ෂා කරන ඉතා බලවත් දෙවිකෙනෙක් ලෙසද හඳුන්වා දිය හැකිය. නිවැරදි ආකාරයෙන් පුදපූජා තැබීම මගින් උන් වහන්සේගේ දේව ආකර්ෂණය අපට නොමඳව ලබා ගත හැකිය. එවන් බලවත් කතරගම දෙවිඳුන් උදෙසා නිවැරදිව පූජාවක් තබන ආකාරය හා මංත්‍රයක් ජප කරන ආකාරය මෙම ලිපිය මගින් සලකා බැලේ.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් මෙන්ම බොදු දනන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව වඩවන බොහෝ බෞද්ධ සිදුවීම්වලට මුල්වන පුණ්‍යවන්ත සමයක ඇරඹුම ඇසළ සමයත් සමගින් සනිටුහන් විය. අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුතව මහාමයා දේවියගේ මවුකුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම, ඉන් අනතුරුව අප මහා බෝසතාණන් වහන්සේ බුදු වූ පසු ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කිරීම, මෙන්ම බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහැර පෑමද මෘතෘදිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට අභිධම් දෙසීමද, ඇසළ පුන් පොහෝදා සිදු වූ සුවිශේෂි සිදුවීම් ලෙස අපට හඳුනාගත හැකිය. ඉහත දැක්වූ සිදුවීම් හා තවත් බොහෝ සෙයින් වැදගත් බෞද්ධාගමික සිද්ධීන් රැසකට මුල් වූ ඇසළ සමය තුළ බොහෝ බෞද්ධ උත්සව ඈත අතීතයේ සිටම පැවැත්වේ.

කතරගම පුදබිම සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව උතුරුකරයේ ද්‍රවිඩ හිංදු ජනතාවගේද නොමඳ ගෞරවාදරයට පත්ව ඇති පුද බිමකි. ලංකා ඉතිහාසයේ දඹදෙනි යුගය වන විට මෙම ඇසළ උත්සවය දෙවියන් උදෙසා පවත්වනු ලබන්නක මුහුණුවරක් ගනු ලබයි. ඒ අනුව සුමන සමන් දෙවියන් විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් යන දෙවිවරු උදෙසා පවත්වන පෙරහැර ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ අතරින්ද මෙරට දකුණුලක ඓතිහාසික පූජනීය ස්ථානයක් වන කතරගම දේවාලයේ කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන කතරගම ඇසළ පෙරහැර සුවිශේෂී පෙරහැර මංගල්ලයකි. දුටුගැමුණු මහා රජතුමන් යුද්ධයෙන් දිනා කතරගම මහා දේවාලය කරවූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. රමණීය කප්පරකන්දර නදීය හෙවත් මැණික් ගඟ අසබඩ මෙම සුන්දර කතරගම මහ දේවාලය පිහිටා ඇත. එම ඓතිහාසික දේවාලය මගින් වාර්ෂිකව අතිඋත්කර්ෂවත්ව ඇසළ පෙරහැර මංගල්‍ය පවත්වනු ලබයි.

ඔබේ පැතුම් ඉටු කර ගැනීමට
කතරගම දේව පූජාව හා දේව
කන්නලව්වක් නිවැරදිව තබමු …

රැකියාවන්ට ඉදිරිපත් වී රැකීරක්ෂා ලබා ගැනීමට, විභාගවලට පෙනී සිටීමෙන් ජය ලබා ගැනීමට, නඩුවලට පෙනී සිටීමෙන් ඒවා ජයග්‍රහණයට (සාධාරණ), මෙන්ම ව්‍යාපාර දියුණුකර ගැනීමට, වාහන ආරක්ෂාවට, අඩපණ වූ වෙළෙඳාම් දියුණු කර ගැනීමට හා විවාහ ප්‍රමාදවීම් වළක්වා ගැනීමට කතරගම දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොමඳව ලබා ගැනීමට හැකි ඉතා සාර්ථක හා ප්‍රතිඵලදායක අත්දුටු සත්‍ය වූ පහත සඳහන් මංත්‍රය හා දේව පූජාව නිවැරදිව ඉටු කිරීම තුළින් සුභදායක ප්‍රතිඵල ලබා ගත හැකිය.

කතරගම දෙවියන්ගේ රූපයක් ඉදිරියේ රත් නෙළුම් රත් පැහැති මල් සහ සියලුම රත් පැහැති මල් වර්ග තබන්න. පොල් තෙල් පහනක්ද දල්වා සුවඳ දුම් අල්ලන්න. ඉන් පසු මෙම වේද මූල මන්ත්‍රයෙන් 21 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ඡප කරන්න.

මන්ත්‍ර ජපය

ඕං වල්ලිදේව සේනාසමේද
ශ්‍රී සුබ්‍රමණියාය ශ්‍රී පාදුකම් පූජයාමිනමඃ
තර්පයාමිනමඃ
ඕං ස්කන්ධාය නමඃ
ඕං ගුණාය නමඃ
ඕං ශන්මුඛාය නමඃ
ඕං ප්‍රභවේ නමඃ
ඕං ක්‍රිතිකාසුනාවේ නමඃ
ඕං කුමාරයාය නමඃ
ඕං අග්නි ජන්ම තේ නමඃ
ඕං ගංග සුධාය නමඃ
ඕං ශක්ති ධාරාය නමඃ
ඕං සේනාය නමඃ
ඕං ධිසන්භූජාය නමඃ
ඕං තක් පුරුෂාය විද්මාහී
මහා සේනාය විමාහී
තතෝශනේමුඛ ප්‍රචෝදයාන් !!!

අඟහරුවාදා, බදාදා හා සිකුරාදා දිනවල රාත්‍රී කාලයේ මෙම මන්ත්‍රයෙන් ජීවම් සිද්ධි කිරීමෙන් තම අපේක්‍ෂාවන් ඉටුකරගත හැක. ඉතාම පවිත්‍රව පංච සීලයෙහි පිහිටා පවිත්‍ර සිතින් මෙම මන්ත්‍රය කතරගම දෙවියන් ඉදිරියේ කිව යුතුය. කතරගම දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව කළ යුතු වෙයි. රැකියාවන්ට ඉදිරිපත් වීම, විභාග වලට පෙනී සිටීම, නඩුවලට පෙනි සිටීම (සාධාරණ), ව්‍යාපාර දියුණු කර ගැනීමට, අඩපණ වූ වෙළෙඳාම් දියුණු කර ගැනීමට හා විවාහ ප්‍රමාදවීම් වැළකීමට යෙදිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයකි.

කතරගම දේව පූජාවක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

ලද පස් මල්
● බුලත් කොළ 21
● පලතුරු (අඹ, අන්නාසි, රත් කෙහෙල්, දොඩම්, නාරං, උගුරැස්ස, දිවුල්, උක්ගස්, බෙලි, වැල වරකා, කොමඩු හා තැඹිලි ගෙඩියක්)
● කැවිලි වර්ග (අග්ගලා, තල කැරලි, හකුරු, අතිරස, හබල පෙති)
● ඇටි ඇට (උඳු, මුං, තල, මෑ, වී යන මෙම ද්‍රව්‍ය කබලේ බැද ගන්න.)
● සුවඳ වර්ග (කපුරු, හඳුන්කූරු, සඳුන් තෙල්, පිනි දිය)
● පහන් දැල්වීමට තෙල් (මැටි පහන් 3ක් හා තල තෙල්, පොල් තෙල් හා අඹ තෙල්)
● රතු මල් වට්ටි 1කි.
● රතු රෙදි යාර 11/2
● බෙලි කොළ, සාම්බ්‍රානි, රත් හඳුන්, සුදු හඳුන්, දේව දාර හා කවඩි යන මේවා එකට කුඩු කර වියළා සකස්කර ගත්ත සුවඳ ධූපය
● රතු මල් මාලයක්
● තමන්ට හැකි පරිදි පඬුරක්
● රිදී පඬුරු 1යි
● රතු පාට වහන්තරා ලේන්සු 2ක්
● කහ වතුර ස්වල්පයක්
● පූජාව සකස් කිරීමට පිරිසිදු වට්ටි 2ක්
● පොල් කටු අඟුරු හා දුන් කබල

ඉතාමත් පිරිසිදුවට සකස්කර ගත් මෙම පූජා ද්‍රව්‍ය පලතුරු වර්ග එක් වට්ටියක් ලෙසද අනෙකුත් පූජා ද්‍රව්‍ය තවත් වට්ටියක් ලෙසද සකස් කර ගන්න. ඉන් අනතුරුව පූජාව තබා ඉහත දැක්වූ මන්ත්‍රය 21 වරක් හෝ වැඩි වාර ගණනක් ජප කිරීම ඉතා සුදුසුය.

ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබේවා.

ජ්‍යොතිෂ ඇසින් දුටු කඳසුරිඳුන්

බණ්ඩාරගම,
සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය. නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment