ජපානයේදී සැබෑම නූපා හමු වුණා

152

චිත්‍රපටය තිරගත වන විට ඇයගේ සැමියා මියගිහින්

මේ දිනවල දිරී තිරයේ දිගහැරෙන ‘කන්දක් සේමා. සිනමා සිත්තමේ පෙම්බරා ගේ චරිතයත් එක්ක දිනෙත් ද සිල්වා ප්‍රේක්‍ෂක කතාබහට ලක්වෙනවා. මෙහි රූගතකිරීම් වෙනුවෙන් ජපානයට ගිය දිනෙත්ට අපූරු අත්දැකීම් රැසකට මුහුණ දෙන්න සිදුවෙලා. ඒ ගැන අපේ කතාබහ තුළ ඔහු මේ විදිහට විස්තර කළා.

● ‘කන්දක් සේමා. හි පෙම්බරාට ලැබෙන රසික ප්‍රතිචාර මොන වගේද?

අපි මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරල වසර නවයක් වෙනවා. මෙයට පාදක වුණ නවකතාව බොහෝ දෙනෙක් වැළඳ ගත්තා. ඒ නිසා මේ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණ කාලයේ පටන්ම බොහෝ දෙනෙක් ඇහුවෙ කවදාද තිරගත වෙන්නෙ කියල. තිරගත වෙන්න ගතවුණ කාලය ගැන පොඩි දුකක් තියෙනව. නමුත් එහි තාක්‍ෂණික පැත්ත” රූප රාමු පැත්ත දැක්කාම අදටත් දැනෙනව මේ නිර්මාණය පරණ නැහැ කියල. කන්දක් සේ මා කියන්නෙ පෞද්ගලිකව මමත් බොහොම ආසාවෙන් කියවපු නවකතාවක් වගේම පෙම්බරා කියන්නෙ බොහොම ආදරය කළ චරිතයක්. මේ දේවල් එක්ක බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ජපානයේදී සැබෑම නූපා හමු වුණා

● පෙම්බරා චරිතයට ආරාධනය ලැබෙන්නෙ කොහොමද?

මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ අශෝක ආතාවුදහෙට්ටි මහත්මයාගෙන් තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ. මෑතකදි එතුමාත් එක්ක මම වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියා. ඒ හැඳුනුම්කම මත සහ මගේ වෙනස් පෙනුමත්” වෙනස් හැඩයත් නිසා එතුමා මාව තෝරාගෙන තිබුණා. ඒ අවස්ථාවේ මට දැනුණෙ හීනයක් සැබෑ වෙනවා හා සමාන හැඟීමක්. ඒ නිසා දෙවරක් නොසිතාම මම ආරාධනය භාර ගත්තා.

● මේ හා සමග බැඳුන ඔබේ අත්දැකීම් මොන වගේද?

මේ චිත්‍රපටයේ දර්ශන සියයට හැත්තෑපහක් පමණ රූගත කළේ ජපානයේ. ඒ සඳහා කාර්තු හතරම අපි ජපානයට ගියා. මෙහි ප්‍රධාන චරිත රඟපාන නළුනිළියන් ජපානයේ වේදිකාව සිනමාව ජයගත් අය. ඔවුන් සහ එහි තාක්‍ෂණික කණ්ඩායමක් අපිත් එක්ක එකතු වුණා. ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක් වගේම නැවුම් අවබෝධයක් වුණා.

මම රටවල් ගණනාවක සංචාරයන්ට සහභාගී වෙලා තියෙනව. නමුත් මෙවර මට විශේෂයක් වුණේ අපි මේ රූගත කිරීම් කළේ නවකතාවේ තියෙන නගරයේමයි. ඒක පුංචි ගමක් වුණත් ඉතාමත් සුන්දර මිනිස්සු කොට්ඨාසයක් අපිට මුණගැහුණා. පරිසරය බොහොම සීතලයි. අදටත් චිත්‍රපටය දකිනකොට කාපු බීපු තැන්” ආ ගිය තැන් මතක් වෙනවා.

ජපානයේදී සැබෑම නූපා හමු වුණා

● නූපා මුණගැහුනාද?

මමයි නිරෝෂායි රූගතකිරීම් කරන අතර ලංකාවේ අයත් ආවා අපිව බලල යන්න. ඔය අතර ගැහැනු කෙනෙක් ආවා අපිට කතා කරන්න. අපිට කෑම පවා හදාගෙන ඇවිත් තිබුණෙ. ෂූටිං අවසන් වෙලා වාහනේ යන ගමන් ඇය අපිට කියනව ඒ නවකතාවේ ඉන්න ඇත්තම නූපා මම තමයි කියල. ඒක ඇත්තටම අපි දෙන්නව පුදුම කිරීමක් වුණා.

● මෙහි ශෝකජනක සිද්ධියකුත් ආරංචි වුණා?

ඔව්” මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භවෙද්දි සුමිත්‍රා අක්කා මේ ඇත්ත නූපාට කතාකරල තිබුණා. එහිදී ඇයගේ සැබෑ ජීවිතයේ ස්වාමිපුරුෂයා මියගිහින් බව දැනගන්න ලැබිලා.

● ඔබ මේ දිනවල කොළඹින් පිට ඉන්නෙ ඇයි?

මේ දිනවල ඉසුරු මුදලිගේ නිර්මාණය කරන අලුත්ම සිනමාපටය වන ‘පාර්වී. හි රූගතකිරීම්වලට දායක වෙලා ඉන්නවා. ඒ කටයුතු වෙනුවෙන් තමයි කොළඹින් පිට යන්න සිදු වුණේ.

● දිනෙත්ගෙ වැඩි කැමැත්ත සිනමාවටද?

මට වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ සිනමාවට. නමුත් තෝරාබේරාගැනීමක් නැහැ වේදිකාව ද” ටෙලි නාට්‍යය ද” සිනමාවද කියල. මොකද මේ මාධ්‍ය තුනටම මම පොදු පුද්ගලයෙක්. මේ වන විට ටෙලි නාට්‍යයක රූගතකිරීම් අවසන් කරල තියෙනව. ඉදිරියේදී නරඹන්න පුළුවන් වේවි.

● ඉදිරියේදී තිරගත වීමට නියමිත නිර්මාණ?

ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ හතරක් පමණ තියෙනවා. ඒ නයින්ටීන් සෙවන්ටි ලව් ස්ටෝරි” ශ්‍රී සිද්ධා” යාත්‍රා සහ ඉත්තා.

● ඔබේ සිනමා ගමන ගැන අදහස මොන වගේද?

මේ ක්‍ෂේත්‍රයට මම තවම නවකයෙක්. නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් එක්ක මේ ගමන ආරම්භ කරන්න ලැබීම මම ලැබූ භාග්‍යයක් හැටියටයි සලකන්නෙ. ඒ ලැබුණ අවවාද” උපදෙස් මගේ ගමනට ලොකු පිටිවහලක් වුණා වගේම මට ලැබුණ

අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන මගේ උපරිමය කිරීම තුළින් සම්මාන ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. මේ පුංචි කාලය තුළ ජයග්‍රහණ ලබමින් ඉදිරියට යන්න ලැබීම ගැන පෞද්ගලිකව මං ගැනම නිහතමානී ආඩම්බරයක් තියෙනව.

● අලුත් ආරාධනා?

ඉදිරියේදී චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිල තියෙනව. ඒවායේ වැඩ පටන්ගත්ත ගමන් සහභාගී වෙනවා. ඊට අමතරව ලබන අවුරුද්දට චිත්‍රපට තුනකට ආරාධනා ලැබිල තියෙනව. මේ දිනවල ඒවාට සුදුසු පරිදි බාහිර පෙනුම වෙනස්කරමින් ඉන්නව.

● කන්දක් සේ මා රූගතකිරීම්වලදි දැඩි සීතල ඔබ දෙදෙනා රෝගී කළා?

මේ රූගතකිරීම් අපිට කරන්න තිබුණෙ දුහුල් ඇඳුමෙන්. නමුත් නිරෝෂාත් මමත් දැඩි සීතල විඳදරාගෙන දර්ශන සාර්ථක කරගන්න දැඩි උත්සාහයක් ගත්තා. කොහොම වුණත් අපිට මේ දේශගුණය ඔරොත්තු දෙන්නෙ නැහැ. පසුදා අපි දෙදෙනාම විවිධ අපහසුතා මතුවෙලා රෝගී වුණා.

● දිනෙත් නළුවෙක් නොවුණා නම්?

පාසල් යන කාලෙ පටන් මම දක්‍ෂ රගර් ක්‍රීඩකයෙක්. මගේ හීනය වෙලා තිබුණෙ කවද හරි දවසක ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියන දේ. නැතිනම් අලෙවි ක්‍ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරතවෙයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment