කොල්ලො වුණහම අහංකාර වෙන්න ඕනෑ -ෆැලන් ඇන්ඩ්‍රියා

191

මම කොණ්ඩෙ වෙනස් කළා

ඇත්තටම ඇය වෙනස්ම ශෛලියකින් ප්‍රසංග වේදිකාවට අලුත් ආකර්ෂණයක් ලබාදෙන්නට නිතර උත්සාහ කරනවා. වර්තමාන කොල්ලො කෙල්ලො අතර ඉහළ ආකර්ෂණයක් දිනාගෙන ඉන්න ඇය නමින් ෆැලන් ඇන්ඩ්‍රියා. ෆැලන්ගේ අලුත්ම වැඩක් මේ ඊයෙ පෙරේදා එළියට ආවා ‘අහංකාර කොල්ලො’ කියලා. ඇත්තටම ෆැලන් කියන විදියට කොල්ලො අහංකාර ද? ෆැලන්ට ඇයි කොල්ලො මෙහෙම කළේ. මීවිත ඒ වෙනුවෙන් ෆැලන්ට ඉඩක් වෙන් කළා.

කොල්ලො වුණහම අහංකාර වෙන්න ඕනෑ -ෆැලන් ඇන්ඩ්‍රියා

● අහංකාර කොල්ලො ගැන කට්ටිය මොනවද කියන්නේ?

ලැබෙන ප්‍රතිචාර හොඳයි. මෙච්චර කල් මම කරපු අලුත් ගීතවලට වඩා කට්ටිය බලාපොරොත්තුවෙන් හිටපු ගීතයක් කියලත් තේරෙනවා. හැමෝම වගේ හරි ආසාවෙන් අහනවා.

● ඇත්තටම කොල්ලො කියන තරම් අහංකාර ද?

අහංකාර කොල්ලො ඉන්නවා. කොල්ලො අහංකාර නැතුවත් හරි නෑනේ. කොල්ලො වුණහම අහංකාර වෙන්න ඕනෑ.

● මේ අදහස කාගෙද?

ඇත්තටම මේ අදහසේ වටිනාකම යන්න ඕනෑ ෆීඩ් බෑන්ඩ් එකේ සෙනාල්ට. ඩයස්ගේ නංගිලාගේ බෑන්ඩ් එකට. ෆැලන් මෙන්න මේ වගේ ගීතයක් කරමු කියන අදහස අරගෙන ආවේ සෙනාල්.

● පද රචනය?

පද රචනය සිද්ධ වෙන්නෙ ඩයස්ගෙ නංගි ගීතය නිර්මාණය කරපු සංක බී. අතින්. සංගීත නිර්මාණය කළේ කිං ලැපන්. ඉතිං දක්‍ෂයෝ දෙන්නෙක්. සෙනාල්ගේ අදහස, මගේ කටහඬ කියන මේ ඔක්කොම එකතුවෙලා තමයි අහංකාර කොල්ලො හැදුණේ.

කොල්ලො වුණහම අහංකාර වෙන්න ඕනෑ -ෆැලන් ඇන්ඩ්‍රියා

● රූප රචනාව වුණේ කොහොමද?

මට හිතුණා සෙනාල්වම මේ වැඩේට එකතු කරගත්තොත් ලස්සන කලර් එකක් ඒකට ඇඩ්වෙයි කියලා. සෙනාලුත් හරි ආසයි රඟපාන්න. මේ අදහස සෙනාල්ගේ හින්ද මම හිතුවා ඒගොල්ලොත් මේ විෂුවල් එකේ පෙනී සිටින්න ඕනෑ කියලා.

● විෂුවල් එක කළේ කොහෙද?

විෂුවල් එක කළේ සංදේශ් අයියා. ඔහුට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ෆෝට්සිටි එකේ තමයි විෂුවල් එක කළේ. හැමෝගෙම උත්සාහයක් තමයි මේ.

● කොහොමද ප්‍රසංග වේදිකාවේ වැඩ කටයුතු?

බොහොම හොඳයි. ඉස්සර තරම් මම හැම ප්‍රසංගයක්ම භාරගන්න එක චුට්ටක් විතර අඩු කළා.

● ඒ මොකද?

මම බාගෙට සින්දු හදල තියලා ප්‍රසංගවලට පමණක් යන කාලයක් තිබුණා. ඉතිං මට හිතුණා මේ හැම ප්‍රසංගයක්ම එකතු කරගන්නෙ නැතිව තෝරා බේරාගෙන ප්‍රසංගවලට සහභාගි වලා මගේ වැඩකටයුතුත් සමබරව කරගෙන යන්න. නැවතිලා තිබුණ ගීත ටික දැන් නිර්මාණය කරන්න ගත්තා. ඒක හින්දයි මාස දෙකෙන් දෙකට අලුත් ගීත නිර්මාණය කරල එළියට දාන්නේ.

● මේ කොන්සර්ට් එකකට ද සූදානම් වෙන්නේ?

කොන්සර්ට් එකක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. හැබැයි ඊට කලින් ගීත කිහිපයක්ම එළියට දාන්න තියෙනවා. ඒ හැමදේම එළියට දැම්මට පස්සෙ තමයි කොන්සර්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නේ.

● වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ තරුණයන්ගෙන් කියන්නේ ඇත්ත ද?

එහෙම ද? ඇත්ත ද? මම දන්නෙ නැහැ. දෙපාර්ශ්වයෙන්ම සම ප්‍රතිචාර හම්බවෙනවා. කොල්ලො කැමැති වුණාට හැම තිස්සෙම පෙන්වන්නෙ නැහැනේ. අහංකාරයිනෙ කොල්ලො. කෙල්ලො නම් අක්කී, නංගී කියලා දැක්ක ගමන් බදා ගන්නවා. කොල්ලො ඈත ඉඳල බලාගෙන ඉන්නවා. මම දන්නෙ නැහැ එයාල මට කැමති ද නැති ද කියලා.

● ප්‍රසංග වේදිකාවේ ඔබේ පර්ෆෝමින් ආර්ට් ගැන ගොඩක්දෙනෙක් කතා වෙනවා?

මම ස්ටේජ් එකේ ඉන්න කොට හිතන්නෙ නැහැ මම දැන් පර්ෆෝමින් කරන්න ඕනෑ කියලා. මම කරන්නේ මම කියන සින්දුව විඳීම. ඒක ඉබේම ප්‍රේක්‍ෂකාගාරය රසවිඳිනවා. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක් කියලයි මට හිතෙන්නේ.

● විලාසිතාවලට තියෙන නැඹුරුව?

තෝරා බේරාගෙන ගැළපෙන විලාසිතා කරනවා. මම කොණ්ඩෙ වෙනස් කළා. ඒක බොහොම අලුත් අත්දැකීමක්. කවදාවත් කරල නැහැ. ඉතිං ට්‍රයි එකක් දීලා බලන්න හිතුනා. විලාසිතා නම් මම මැරෙනකම් කරයි.

● ඇයි මේ කොණ්ඩෙ වෙනස් කළේ.

ගැහැනු ළමයකුට තියෙන වටිනාකමක්නේ දිග කොණ්ඩය. දිග කොණ්ඩයට එක එක විදිහට විලාසිතා කළහම හරි ආකර්ෂණීයයි. මොකද මම හැම තිස්සෙම ස්ටේජ් එකේ ඉන්නවා. හැම තිස්සෙම කැමරා එක ඉස්සරහ ඉන්නවා. ලුක් එක රිෆ්‍රෙෂ් වෙනකොට ප්‍රේක්‍ෂකයොත් ආසයි. මම හිතුවෙ නැහැ මේක ගැළපෙයි ද නැති ද කියලා. ප්‍රතිචාර හොඳයි. තව චුට්ටි කාලයක් තියාගෙන ඉඳල මේකත් වෙනස් කරාවි.

● මේ ආකර්ෂණය හින්දම ආදර යෝජනා එන අවස්ථා නැති ද?

මම වැඩිපුර කතා කරන්න යන්නෙ නැති කෙනෙක්. ඒක මට තියෙන එකක්. මට වැඩකට කතා කළත්, වෙන කෙනෙක්ව එළියේදී හම්බ වුණත් මම පෞද්ගලිකව දන්න කියන කෙනෙක් නෙමේ නම් මම ඒ වැඩේ කතා කරගෙන එතැනින් එන කෙනෙක්. එයා කතා කරන්න හැදුවත් මම ඒක කට්ඕෆ් කරන කෙනෙක්. මම දන්නෙ නැහැ අහන්න යනවද කියලවත්.

● එහෙම ප්‍රශ්න නැහැ. ඒකයි ඇත්ත?

ඔව්. එහෙම ප්‍රශ්න නැහැ. අනික මම දන්නෙ නැහැ එහෙම ප්‍රශ්න තියෙනවා කියලවත්.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment