අර්බුද මැවූ සමාගමට දුන් බෙහෙත් ඇණවුම් අවලංගුයි

132

සී.අයි.ඩී පරීක්‍ෂණ නිමවෙන තෙක් ගෙවීමුත් නවත්වයි

මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින සමාගමක් වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු පරීක්ෂණ නිමා වන තෙක් මෙම සමාගම වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් වහා ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස ද ඇමැතිවරයා විසින් දැනුම් දී ඇත.

අයිසොලස් බයෝ ටෙක් ෆාමා (Isolez Bio Tech Pharma) නමැති අදාළ සමාගම වෙත ලබා දී ඇති ඇණවුම් මෙන්ම ලැබීමට නියමිත සැපයුම් ද මේ අනුව අත්හිටුවීමට හා අවලංගු කිරීමට ක්‍රියා කරන ලෙස ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

මෙම ඖෂධ සමාගම සම්බන්ධයෙන් මෑතකාලීනව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි යොමුකර මේ වන විට පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර එම සමාගම විසින් ප්‍රශ්නකාරී ලෙස සැපයුම් ලබාදී ඇති බවත් එවැනි සැපයුම් තවදුරටත් ලැබීමට ඇති බවටත් තොරතුරු වාර්තා වෙමින් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම් (ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන), සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්), සභාපති – රාජ්‍ය ඖෂධ සංස්ථාව, සභාපති – ජාතිත ඖෂධ නියාමන අධිකාරිය, ප්‍රධාන විධායක නිලධාරී- ජාතිත ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන ප්‍රධානීන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීමේ ලිපි යොමු කර ඇත.

එමෙන්ම මෙම ගැටලුකාරී ඖෂධ සමාගම හා එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය උපදෙස් හා ඒ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නීතිපතිවරයාට ද ලිපියක් යොමු කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment