මැතිවරණ කාලසටහනට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනපතිවරණයයි ජනාධිපතිවරණයයි.
සමන් ශ්‍රී රත්නායක

ජනාධිපතිවරණය කල් දාන්න ආණ්ඩුවට එක එක ගුණ්ඩු පාවිච්චි කරන්න බැහැ.

මේ ලොව බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන කාල වකවානුවයි. අපේ අසල්වැසි රටක් වන පකිස්තානයේ ඡන්දය පවත්වා අවසන්ය. ලොව බලගතුම රටක් වන රුසියාවේ ජනපතිවරණයද පසුගියදා පැවැත්විණි. එයින් වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පාලන බලය හිමිකර ගත්තේය. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. අපේ රටේ නොවුණත් එම රටවල මැතිවරණ පැවැත්වෙද්දී එහි උණුසුම, ආශ්වාදය අපේ ඇඟටද නොදැනෙනවාම නොවේ. ඒ සෑම කෙනෙක්ම මතුපිටින් නොපෙන්නුවත් හිත යටින් හෝ තමන් ඇළුම් කරන දේශපාලන පක්‍ෂ සහ නායකයන් සිටින නිසාය. ඒ නිසාම මැතිවරණයක් ආසන්න වනවිටම එහි ආශ්වාදය අපේ ඇඟට නොදැනීම ඇතුළු වේ.

2024 මැතිවරණ වසරක්ද?

මේවනවිට අපේ ඇඟටද එම උණුසුම එම ආශ්වාදය කෙමෙන් කෙමෙන් දැනෙන්නට පටන්ගෙන තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව මෙම වසර මැතිවරණ වසරක් බව ජනාධිපතිවරයා මෙම වර්ෂය ආරම්භ වෙද්දීම පැවසූ නිසාය. ඒ සියල්ලටම වඩා ජනතාව පුල පුලා බලා සිටින්නේ තමන්ට යළි බලය ලැබෙන තෙක්ය. ඒ වෙන කිසිවක් නිසා නොව ආණ්ඩුව පසුගිය කාලයේ ජනතාව නොමරා මරණ තත්ත්වයට පත්කළ බැවින් එහි වාඩුව ගැනීමටය. දින සති මාස ගණන් ජනතාවට පෝළිම්වල සිටින්නට සිදුවූයේත්, පෝළිම්වලම ජනතාවට මැරී වැටෙන්නට සිදුවූයේත් පෙර ගෙවූ ජල බිල, විදුලි බිල මෙන් දෙතුන් ගුණයක බිලක් ගෙවන්නට සිදුවූයේත්, බාල බෙහෙත් සහ බෙහෙත් නැතිකම හේතුවෙන් මැරී වැටෙන්නට සිදුවූයේත් වෙන කිසිවෙකු නිසා නොව දුර්දාන්ත පාලකයන්ගේ වැරදි නිසාය. එම වැරදිවලට නිසි පාඩමක් උගන්වන්නට ජනතාව බලා සිටින්නේ තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක්ය. ‘කොකාට වාරයක් ලැබුණොත් තිත්තයාටද වාරයක් පැමිණෙන බවට’ අපේ පැරණි ජනවහරේ එන කතාවක් තිබේ. එම වාරය පැමිණෙන තෙක් ජනතාව ඇඟිලි ගණින බව නම් ඒකාන්තයෙන්ම විශ්වාසය.

ආණ්ඩුව කල් ඇරිය පළාත් සභා මැතිවරණය

ජනතාවට තමන්ගේ බලය පෙන්වීමට තිබූ එක් අවස්ථාවක් වූයේ පළාත් සභා මැතිවරණයයි. නමුත් දැන් වර්ෂ ගණනාවක සිටම එම මැතිවරණය ආණ්ඩුව විසින් කල්දමන නිසා එම අවස්ථාව මගහැරී ගියේය. ඊළඟට ජනතාව සූදානම් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහිය. ඇප මුදල් තැන්පත් කර, නාම යෝජනා කැඳවා සියලු කටයුතු සූදානම් කර ඡන්දය පවත්වන්නට ඔන්න මෙන්න කියා තිබියදී අවසානයේ එනපොට හොඳ නැති බව තේරුම්ගත් නිසා ආණ්ඩුව කළේ මුදල් නොමැති බව පවසා ආඳෙකු මෙන් එයිනුත් හිමින් ලිස්සා යෑමය.

අවසානයේ ජනතාව පවසන්නට වූයේ මොන ඡන්දෙ නොතිබ්බත් ආණ්ඩුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම මේ වසරේ පැවැත්විය යුතු බවයි. මේ වනවිට ආණ්ඩුව ඊටද වංගු ගසන ආකාරයක් දකින්නට ලැබේ. ඒ ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්විය යුතු බවට කතිකාවක් මතුව ඇති බැවින් සහ ජනාධිපතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව පවසමිනි. එක කොට්ඨාසයක් මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන මතයේ සිටින අතර තවත් කොටසකගේ මතය වන්නේ මුලින් මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. මේ කුමන මැතිවරණය පැවැත්වුවත් ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට ජනතාව සූදානමින් සිටින බව නම් ඒකාන්තය.

දැනගන්නට ඇති පරිදි මේ වනවිට මුදල් වෙන් කර ඇත්තේ මහ මැතිවරණයක් සඳහා නොව ජනපතිවරණය සඳහාය. මහ මැතිවරණය පවත්වනවානම් ඒ සඳහා අවශ්‍ය මුදල් ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ අරමුදලින් වෙන් කළ යුතුය.

ළඟ එන ඡන්දය ගැන කොමිසමෙන් කියන කතා

ආණ්ඩුව හැංගි හැංගි වෙස් බැන්දට මහමැතිවරණයට කලින් එන්නෙ ජනපතිවරණය

රට තුළ මේ වනවිට කුමන මැතිවරණය පැවැත්වෙන්නේද යන්න පිළිබඳ දැඩි කතාබහක් ඇතිව ඇති නිසා අප ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බැලීමට තීරණය කළා. පහතින් පෙළගැසෙන්නේ ඒ පිළිබඳ විමසා බැලීමයි.

මැතිවරණ පැවැත්වීමේ වගකීම දරන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. ඒ නිසා මෙම වසරේ මුලින්ම පැවැත්විය යුත්තේ කුමන මැතිවරණය දැයි මැතිවරණ කොමිසමේ සභාපති සමන් රත්නායක මහතාගෙන් විමසූ විට ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

“මුලින් පැවැත්විය යුතු මැතිවරණය කුමක්ද යන්න අපට අදාළ නැහැ. නමුත් මැතිවරණ කාලසටහනට අනුව අනිවාර්යයෙන්ම මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ 2025 අවුරුද්දේ.”

මේවනවිට විවිධ දේශපාලන පක්‍ෂ මහ මැතිවරණයකට අරඅඳින අතර ඒ පිළිබඳවද සමන් ශ්‍රී රත්නායක මහතා අදහස් දැක්විය.

“එක එක පක්‍ෂවලට ඕන විදිහට කටයුතු කරන්න මැතිවරණ කොමිසම සූදානම් නැහැ. පක්‍ෂවලට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් අපි ක්‍රියාත්මක කරන්නෙ නීතියක්. මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිවරයාටයි පාර්ලිමේන්තුව පරිදි. ඒ පාර්ලිමේන්තුව මැතිවරණය ප්‍රකාශයට පත්කළොත් අප ඊට සූදානම් වී කටයුතු සූදානම් කරනවා. නැතිනම් අප ජනාධිපතිවරණය පවත්වන්න කටයුතු සිදුකරනවා. පක්‍ෂ හැසිරෙන විදිහට කොමිසම වැඩ කරන්නෙ නැහැ. ඒ වගේම නීතියෙ එහෙම කොහෙවත් සඳහන් වෙලා බැහැ.”

මැතිවරණ කොමිසමේ තීරණය වන්නේ ස්ථිර වශයෙන්ම මේ වසරේ පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවය. ආණ්ඩුව නොයෙක් නොයෙක් සෙල්ලම් පෙන්නා මහ මැතිවරණය මුලින් පැවැත්වීමට දහසක් උප්පරවැට්ටි යොදන බව ජනතාවට දැන් පැහැදිලිය.

කොමිසමේ සභාපති කියන ආණ්ඩුවේ ඇන්දිලි

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව විසින් යෙදූ උපක්‍රමය වූයේ මුදල් නොමැති බව පුන පුනා පැවසීමය. මෙවරත් එම පොතම පෙරළාවිදැයි අප සමන් රත්නායක මහතාගෙන් විමසූ විට ඒ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“ගියවර ආණ්ඩුව සිදුකළ කටයුත්ත සදාචාර සම්පන්න ආණ්ඩුවකට කරන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා නීතියෙන් කිසිම ඉඩක්, නීති ප්‍රතිපාදනයක් නැහැ.

ආණ්ඩුවට සල්ලි නැහැයි කියන්න බැහැ. මේ වෙනකොට ලක්‍ෂ 16ක් වන අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්‍ෂ 24 දක්වා ඉහළ නංවන්න කටයුතු යොදනවා. උසස්පෙළ විභාගය පැවැත්වෙන සමයකත් විදුලිය කප්පාදු කරපු ආණ්ඩුව දැන් ඊටත් වඩා පායද්දි විදුලිය නොකපනවා වගේම විදුලි බිලත් අඩු කරනවා. ලක්‍ෂ ගණන් මුදල් වියදම් කරමින් විවිධ උත්සව පවත්වමින් යන ආණ්ඩුවකට සල්ලි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ.

විවිධ මාධ්‍ය මගින් තමයි දේශපාලනඥයන්ට ඡන්ද නොතියන්න හේතු හදල දෙන්නෙ. ජනමාධ්‍යයත් එවැනි ප්‍රශ්න මතුකරමින් දේශපාලකයන්ට උඩගෙඩි නොදිය යුතුයි. දේශපාලකයන් නීතියෙන් බැඳිල ඉන්නවා ඡන්දය පවත්වන්න.”

ජනපති සටනට වෙන්කළ අයවැය මුදල්

මෙම වසරේ කුමන මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ඇත්දැයි විමසූ අවස්ථාවේ ඒ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

දැනට අයවැයෙන් මුදල් වෙන්කර තිබෙන්නේ ජනාධිපතිවරණයක් සඳහා පමණයි. ඒ වගේම ජනාධිපතිවරණය සඳහා වෙන්කළ මුදල් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යොදාගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මුදල් ජනාධිපතිවරයා විසින් වෙන්කළ යුතුයි. ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අමතරව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණයද කඩිනමින් පැවැත්විය යුතුයි.”

ඔහු පවසන දේ සත්‍යයකි. නිසි කාලයට ජනතාවට තමන්ගේ ඡන්ද අයිතිය ලබාදීම බලධාරීන්ගේ යුතුකමකි. වගකීමකි.

ජනපතිවරණයට ඉඟි දෙන හිටපු මැකො

ආණ්ඩුව ජනාධිපතිවරණය කල්දැමීම සඳහා යොදන උපක්‍රම පිළිබඳව සහ එසේ කිරීමට හැකියාවක් පවතීවිදැයි මෙරට පැවැත්වූ මැතිවරණ අතරින් ඉතා සුවිශේෂී මැතිවරණයක් වන 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට නායකත්වය දෙමින් මැතිවරණ කොමිසම මෙහෙයවූ සෙන්පතියා වන මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමට තීරණය කළෙමු. මේ වන විට ඔහු මැතිවරණ කොමිසමේ සභාපතිත්වය නොඉසිලුවත් එතුමා ජනතාව අතර තවමත් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ ඔහු ඉතා නිර්භීතව සෘජුව මෙන්ම කාගේවත් සිත නොරිදෙන පරිදි උසුළු විසු`ථ කරමින් තම මතය ඉදිරිපත් කිරීමට දක්ෂ නිසාය. ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ දැක්වූයේ මෙවන් ආකල්පයකි.

ජනාධිපතිවරණය කල් දාන්න ආණ්ඩුවට සීමා නිර්ණය වගේ එක එක ගුණ්ඩු පාවිච්චි කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ජනාධිපතිවරණය පිළිබඳ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට අලුතින් පනතක් ගෙන ගෙනැවිත් එම පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයක් පවත්වා සම්මත කරගැනීමයි.

මේ දිනවල දැන් පවතින ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ සමාජය තුළ කතාවක් පවා පැතිර යනවා. නමුත් ජුලි මාසයේ අග වන විට මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීම සඳහා බලය පැවරෙනවා. එම නිසා මම විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා උප්පරවැට්ටියක් යොදාවි කියලා. එවැනි ක්‍රියාවක් සිදු කළහොත් ඉටිපන්දම් පත්තු කිරීමේ සිට ජනතාවගේ නිහඬ විරෝධයක් එල්ල වේවි.

මේ වන විට නිරන්තරයෙන් අසන්නට ලැබෙන ප්‍රවෘත්තියක් වන්නේ එකසිය දහතුනක් අත්සන් කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන බවයි. ඒ පිළිබඳව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙවන් අදහසකි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කළත් ජනාධිපතිවරයා අකැමැති නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකියි. ඒ පිළිබඳ සම්පූර්ණ බලය පවතින්නේ ජනාධිපතිවරයාටයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා

ආණ්ඩුව විසින් සඟවන ලද පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්විය යුතුයි. අඩුම වශයෙන් මරණාධාර සමිතියක ඡන්දයක්, පාසල් සංවර්ධන සමිතියක ඡන්දයක් හෝ සමුපකාර ඡන්දයක් හෝ කල් නොදමා නිසි පරිදි පැවැත්විය යුතුයි. කළ යුතු සුදුසුම ක්‍රියාව වන්නේ සිවිල් සංවිධාන විසින් මැතිවරණ කොමිසමට කිව යුතුයි අවසන් මොහොත දක්වා නොසිට බලය ලැබුණු වහාම ජනාධිපතිවරණය කැඳවන ලෙස. මහින්ද දේශප්‍රිය මහතා දරන අදහසින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට වංගු ගැසීමට අවස්ථාවක් ලබා නොදී ලැබෙන පළමු අවස්ථාවෙන් ම ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රජයට ජනතාව බල කළ යුතු බවයි. මේවනවිට දේශපාලන පක්‍ෂ සහ සංවිධාන රැසක්ද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ පවතින සූදානම පිළිබඳ පසුගියදා අදහස් පළකර තිබිණි.

පොහොට්ටුවේ මැතිවරණ සිතියම ගැන කියන ගම්මන්පිල

උදය ගම්මන්පිල මහතා පවසා තිබුණේ පරදින බව දන්නා නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය මුලින් මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් එල්ලකරමින් සිටින බවයි.

ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණ අන්ත පරාජයක් ලැබූ විට මහ මැතිවරණයෙන්ද ලැබෙන ආසන සංඛ්‍යාව අඩුවන නිසා පොදුජන පෙරමුණ මුලින් මහ මැතිවරණයක් ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

මහ මැතිවරණ සූදානම පිළිබඳ අදහස් දක්වා ඇති සමගි බලවේගය පක්‍ෂය පවසන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ අස්ථාවර රජයක් නිර්මාණය කිරීමේ අරමුණින් බවයි. පසුගියදා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ වහාම ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙසයි. නමුත් විපක්‍ෂය චෝදනා කරන්නේ ජනාධිපතිවරයා සැබෑ අරමුණින් එසේ ප්‍රකාශ කරනවාදැයි සැකසහිත බවයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment