ගලේවෙල ලොකු ලූනු කට අරී..!

168

රත්නපාල ගොවි මහතා කල්තබා ගැනීම සඳහා ගබඩා කර තිබූ ලොකු ලූනු තොගයක් සමඟ

80 දශකයේ සිට මාතලේ දිස්ත්‍රික්කය ලොකු ලූනු වගාව සාර්ථකව කළ ප්‍රදේශයකි. නමුත් පසුගිය වසර කිහිපයක සිට ගොවීහු එම වගාවෙන් ඈත්වෙමින් සිටිති. කෘෂි යෙදවුම් ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ නොමැතිවීම, නිෂ්පාදන මිල ඉහළ යෑම, අස්වැන්න නෙලන කාලයට ලූනු ආනයනය කිරීම ඊට ප්‍රධාන හේතු ලෙස ගොවීහු පෙන්වා දෙති.

මේ අනුව 2014 වර්ෂයට පෙර හෙක්ටයාර් 3,500ක් ලොකු ලූණු වගාකළ අතර ගොවීන් 1,000ක් පමණ එම වගාවේ නිරතව සිටියහ. මේ වසරේ දිස්ත්‍රික්කයේ ලූනු වගාකර තිබූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 10ටත් අඩු බව කෘෂි නිලධාරීහු පවසති. වගාවේ නිරතවූ ගොවීන් සංඛ්‍යාව 200ක් පමණ වේ.

මේ පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ නොකඩවා ලොකු ලූනු වගාවේ නිරත වෙමින් සිටියදී කාලයක් ගොවි රජෙකු ලෙස ඔටුනු පැළඳවූ ගලේවෙල ‘ශක්ති‘ ලොකු ලූනු සමිතියේ ලේකම් එස්. ඒ. රත්නපාල (58) ගොවි මහතා මෙසේ අදහස් දැක්වීය.

“මම 80 දශකයේ සිට ලොකු ලූනු වගා කරනවා. 2014 අක්කර 25ක ලොකු ලූනු වගාකළා. සාධාරණ මිලක් නොමැතිවීම, කෘෂි යෙදවුම් ප්‍රමාණවත් පරිදි නොමැතිවීම ආදී කරුණු නිසා ලූනු වගාව කෙරෙහි කළකිරී සිටියා. ඒ නිසා මේ වසරේ මම වගාකළේ අක්කර 08ක පමණ ප්‍රමාණයක්. මේ දිනවල ලොකුලූනු කිලෝවක් රුපියල් 500ට 600ට ගොස් තිබෙනවා. ඉදිරියේදී එම මිල රුපියල් 1,000 දක්වා ඉහළ ගියත් පුදුම විය යුතු නැත. මා ළඟ දැනට ගබඩා කර ඇති ලොකු ලූනු මෙටි්‍රක් ටොන් 15ක් පමණ කොටස් වශයෙන් පාරිභෝගිකයන්ට සහනයක් වන පරිදි වෙළඳපොළට මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ රජය කළ යුත්තේ අස්වනු නෙලීමට පෙර ලොකු ලූනුවලට බදු ගැසීමයි. රජය බදු ගහන විට ලූනු ආනයනකරුවන් ලූනු මෙරටට ගෙන්වා ගබඩා කර අවසානයි. ඒ අනුව ඔවුන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බකරනවා. මේ තත්ත්වය වහා වෙනස් විය යුතුයි.

2022 කාලගුණය නිසා ලූනු වගාව විනාශ වුණා. මේ වසරේත් ඒ තත්ත්වය උදාවේ යැයි ආනයනකරුවන් ගොවීන් අතර ප්‍රචාරයක් ගෙන ගියා. මේ නිසා ගොවීන් වගාවට යොමුවුණේ නෑ. ලූනු මිල ඉහළයෑමට ඒකත් හේතුවක්. මම වසරකට ලූනු කිලෝ ලක්ෂ 05ක් පමණ වෙළඳපොළට යවනවා. ලොකු ලූනු වගාව පිළිබඳව මම ඉන්දියාවට ගොස් විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. ඒ අනුව කාබනික පොහොර සමඟ රසායනික පොහොර යොදා ලූනුවලින් හොඳ අස්වැන්නක් ලබා ගන්නවා. ගොවීන්ට ලබා දිය හැකි සහන දුන්නොත් ලොකුලූනු කිලෝව රුපියල් 200ට අඩුවෙන් ලබාදිය හැකි යැයි පැවැසීය.
ගලේවෙල විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment