සියඹලාණ්ඩුවෙන් මෙ. වො. 100ක සූර්ය බලශක්තිය ලබන වසරේ ජාතික විදුලිබල පද්ධතියට

486

සූර්යබල ක්‍ෂේත්‍රයේ ගමන් මග තුළ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සූර්ය විදුලි බලාගාරය වන සියඹලාණ්ඩුව මෙ. වො. 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ලබන වසර මැද භාගය වනවිට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.

2018 වසරේදී සිදුකරන පූර්ණ ශක්‍යතා අධ්‍යනයක් හරහා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා යෝග්‍ය නොවන අක්කර 500ක වපසරියක් සහිත භූමි භාගයක් තෝරාගෙන ඇත. මෙම සූර්යබල ව්‍යාපෘතිය හරහා ජනනය කෙරෙන විදුලිය ව්‍යාපෘතියට සමගාමීව ඉදිකිරීමට යෝජිත 132නඩ අධිසැර සම්ප්‍රේෂණ මාර්ග පද්ධතියක් හරහා මොණරාගල ග්‍රිඩ් උපපොළ වෙත සම්බන්ධ කිරීමට නියමිතය. ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව ගිගාවොට් පැය 180ක හරිත විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීමට අපේක්‍ෂා කෙරේ. තෝරාගත් ව්‍යාපෘති භූමිය තුළ ස්ථාපනය කරන ලද සූර්ය දත්ත මිනුම් පද්ධතියක් හරහා ස්ථානීය තාක්ෂණික යෝග්‍යතාවය මැනවින් තහවුරු කරමින් ව්‍යාපෘතිය අධ්‍යනය සිදු කිරීමෙන් පසු අදාළ ව්‍යාපෘතිය සඳහා විස්තීරණ ශක්‍යතා අධ්‍යනයක් හා පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යනයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සූර්යබල ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව මෙ.වො. 100 සූර්යබල ව්‍යාපෘතිය වඩාත් තිරසර පදනමක් මත ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් කටයුතු කෙරේ.

ව්‍යාපෘතිය සඳහා බලශක්ති බලපත්‍රය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් රිවිදනවි සමාගම වෙත නිකුත් කර ඇති අතර එය පාදක කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය සමාගම සමග විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීම ඉකුත් දා සිදුවිය.

ජයරත්න වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment