නාවලපිටිය පාර හදන්න ගෙනා ගල් රෝල විකුණා සැඟවී සිටි සිව්දෙනා රිමාන්ඩ්

198

පිරිස අතර රෝහල් සේවකයෙක් සහ ගුරුවරයෙකුත්

නාවලපිටිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනයකට ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ හතළිහක් වටිනා ගල් රෝලක් සොරකම් කොට විකුණා සැඟවී සිටි සිව් දෙනකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු නාවලපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.බී.එස්.බී. දැල්පිටිය මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ රෝහල් සේවකයෙකු ගුරුවරයෙකු ඇතුළු සිව්දෙනකු වන අතර ඡන්ද අපේක්ෂකයකු ලෙස කටයුතු කළ අයකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී.

මෙම සිව් දෙනාම නාවලපිටිය බව්වාගම මඤ්ඤොක්කා වත්ත ‍ ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. පුද්ගලික සමාගමකට අයත් මෙම ගල් රෝල (කාපට් තලන මැෂිමක්) සොරකම් කොට හොරණ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් ලක්ෂ 6 කට විකුණා තිබිය දී නාවලපිටිය පොලිසිය සොයාගෙන තිබුණි.

ව්‍යාජ ලිපි ලේඛන සකසා මීට මාස දෙකකට පෙර මෙය විකුණා තිබූ අතර ඒ සඳහා තැරැව්කරුවකුගේ සහාය ද ලබාගෙන තිබුණි. වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයන් සිව්දෙනා 6 වැනි දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද නියෝග කරනු ලැබීය.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ආරියරත්න උප පොලිස් පරීක්ෂක සුරේෂ්, පොලිස් සැරයන්වරුන් වන 31064 සුගත්, 35 802 සුමිත්, කාන්තා පොලිස් සැරයන් 3660 සමන්මලි, පොලිස් කොස්තාපල්වරුන් වන 71958 නිරෝෂන්, 84273 ප්‍රියදර්ශන යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment