ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

වසර 24ක් පැරණි සාමූහික ගිවිසුමට ගරු කළ යුතු අතර පූර්වාදර්ශ අනුගමනය කළා

මහජන අවධානයන් නොසලකා හරින්නේ නැහැ

මහ බැංකු අධිපතිවරයාගේ වැටුප මහ බැංකුවේ බොහෝ දෙනකුගේ වැටුපට වඩා අඩුයි

2022 සිට මහ බැංකුකරුවන් 100ක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා

ත්‍රිවාර්ෂික වැටුප් සංශෝධනයට මහ බැංකු පනතේ කිසිදු සම්බන්ධයක් නැහැ

“සාමූහික ගිවිසුම් ක්‍රියාවලියේදී වැටුප් සංශෝධන තීරණය කරනු ලබන්නේ සියලු පාර්ශ්ව අතර සම්මුතියක් ඇති කර ගැනීමේ අරමුණින් සියලුම වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර දැඩි සාකච්ඡා වට කිහිපයක් පදනම් කරගෙනයි. සමහර වෘත්තීය සමිති පවතින ප්‍රධාන දේශපාලන පක්ෂවලට සෘජුවම සම්බන්ධ වන අතර අනෙක් ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ අවශ්‍යතා පමණක් නියෝජනය කරන ස්වාධීන ඒවා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකිරීමේ මතභේදය දුරදිග යායුතු නැත. එහෙත් මේ වන විට පාර්ලිමේන්තුවේ හෝ වෙනත් තැනක එය කතා නොවන දිනයක් නැති තරම්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම වැටුප් සංශෝධනයේ විවේචනය එල්ල වන ප්‍රධාන පුද්ගලයා වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහය. සියයට 29 සිට සියයට 70 දක්වා පරාසයක පවතින නවතම වැටුප් වැඩිවීම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත ක්‍රියාපටිපාටි, ක්‍රියාවලි සහ පරිචයන්ගෙන් ඉවත් වී තිබේද? මහ බැංකු සේවකයන්ට මේ ගෙවන පඩිය වටිනවද? ශ්‍රී ලංකා මහ බැංකුවේ සුළු සේවකයන්ට ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට වඩා ඉහළ වැටුප් ලබාදීම සාධාරණද? මතභේදාත්මක වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රතිලාභ ලබා තිබේද ? ඔහු වැඩිම වැටුප් ලබන මහ බැංකුකරුද? ඔහුගේ සමහර විවේචකයන් කතා කරන ආකාරයෙන් ඔහු ගැන කරන විවේචන ගැන ඔහුට කවර හැඟීමක් ඇතිවෙනු ඇති ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ අනෙකුත් ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ රැස්වීම් ගණනාවකින් ඔහු කාර්යබහුල වී සිටියත් ආචාර්ය වීරසිංහ ඔහුගේ කාර්යබහුල කාලසටහන අතරතුර මේ මහ බැංකු වැටුප් ප්‍රශ්නය ගැන සහ තවත් ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග මෙසේ සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

ප්‍රශ්නය – මෑත කාලීන වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔබ ලැබූ වැටුප් වැඩිවීම කොතරම් විශාලද?

පිළිතුර – මගේ වැටුප් වැඩිවීම බිංදුවයි. පසුගිය වැටුප් සංශෝධනයෙන් මට වැටුප් වැඩිවීමක් ලැබී නැහැ. මෙම වැටුප් සංශෝධනය අදාළ වන්නේ නියෝජ්‍ය අධිපති මට්ටම දක්වා මහ බැංකු සේවකයන්ට පමණයි. මේ වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස මගේ වැටුප, පහළ ශ්‍රේණිවල සමහර නිලධාරීන් ඇතුළු බොහෝ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයට වඩා අඩුයි. වෘත්තීය මහ බැංකුකරුවකු ලෙස මගේ පළපුරුද්ද සහ දැනුම උපයෝගීකර ගනිමින් ආර්ථිකයේ දරුණුතම අර්බුදයෙන් එය ගොඩ ගැනීමේ මගේ කැමැත්ත නිසා පමණක් මා මෙම තනතුර දරන බැවින් මගේ වැටුප ගැන මට කිසිදු ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය: එහෙත් ඔබේ පූර්වගාමීන් මෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ඔබට ආකර්ෂණීය විශ්‍රාම වැටුපක් හිමි වෙනවා නොවේද?

පිළිතුර – පසුගිය මහ බැංකුවේ පරිපාලනය විසින් හිටපු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලබා දුන්නත්, ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ගේ විශ්‍රාම හිමිකම් ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන්, මගේ ධුර කාලය සඳහා මහ බැංකුවෙන් කිසිදු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයක් ඉල්ලා නොසිටින බව ද මම ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රශ්නය – කෙසේ වෙතත්, ඔබේ විවේචකයන් පවසන පරිදි ඔබට දැන් නිල නිවසක්, නිල වාහන සහ වෙනත් වරප්‍රසාද තිබෙනවා නේද?

පිළිතුර – ඔව්, මට වෙනත් බොහෝ රාජ්‍ය සේවකයන්ට මෙන් නිල නිවසක්, වාහනයක් සහ තවත් වරප්‍රසාද කිහිපයක් හිමි වේ. කෙසේ වෙතත් බදුකරණ අරමුණු සඳහා එවැනි වරප්‍රසාද මුදල් නොවන ප්‍රතිලාභ ලෙස එකතු කළ පසු, සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා යොදන මුදල් නොවන ප්‍රතිලාභ සඳහා පනවන සීමාවන් මහ බැංකු අධිපතිගේ වැටුපට අදාළ නොවන බැවින්, මගේ නිවසට ගෙන යන වැටුප මගේ දළ වැටුපට වඩා සැලකිය යුතු ලෙස අඩු වෙනවා.

ප්‍රශ්නය – මහ බැංකු අධිපතිගේ වැටුපට ලෙස ඔබේ තනතුර මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභදායක නොවන බව ඔබ සිතන්නේ නම්, ඔබ විශ්‍රාම යෑමෙන් පසු ආපසු පැමිණියේ ඇයි?

පිළිතුර – මගේ විශ්‍රාම ගැනීමෙන් පසු මහ බැංකුවේ දශක තුනක මගේ වෘත්තීය ජීවිතය තුළ මට මගේ පවුලේ අය සමග ගුණාත්මක කාලයක් ගත කිරීමට නොහැකි වූ නිසා මගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමේ අදහසින් මම ඔස්ට්‍රේලියාවට ගියා. රට පත් වූ අඳුරුතම මොහොතේ නැවත පැමිණ රටට උදව් කළ හැකිද කියා මගෙන් ඇසූ විට ස්වාධීන වෘත්තිකයකු ලෙස ඉපැයීමේ හැකියාව සමග සසඳන විට මගේ පවුලට සහ මූල්‍ය තත්ත්වයට හානියක් වන බව දැන සිටියත් එම තනතුර භාර ගැනීමට සදාචාරාත්මක බැඳීමක් ඇති බව මට දැණුනා. රට පත්ව තිබූ තත්ත්වයේ බරපතළකම අනුව ඕනෑම පක්ෂපාතී රටවැසියකු එම අවස්ථාවේ එකම තීරණයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදී ඇති අලුතින් සම්මත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ පනත නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට අත්තනෝමතික ලෙස තම සේවකයන්ගේ වැටුප් වැඩිවීම් ලබාදීමට හැකිවී ඇති බවට ඇතැම් පාර්ශ්ව තර්කයක් මතු කරමින් සිටිනවා. එය ඇත්ත නොවේද?

පිළිතුර – මෑතකාලීන වැටුප් සංශෝධනයට මහ බැංකුවේ නව පනතේ සම්බන්ධයක් නැහැ. පෙර නීතියේ (1950 මුදල් නීති පනත) විධිවිධාන යටතේ මහ බැංකුව පිහිටුවීමේ සිට මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වැටුප් සංශෝධන සිදු කර තිබෙනවා. 1991 සිට එවැනි සංශෝධන සෑම වසර තුනකට වරක් සිදු කර තිබෙනවා. 2000 සිට එවැනි සංශෝධන විධිමත් කිරීම සඳහා වෙනත් බොහෝ රාජ්‍ය සංස්ථා සහ පෞද්ගලික අංශයේ ආයතන වලට සමානව සාමූහික ගිවිසුම් භාවිතා කර තිබෙනවා.

ප්‍රශ්නය – මේ ගැටලුකාරී වැටුප් සංශෝධනය තීරණය කළේ කවුද?

පිළිතුර – සාමූහික ගිවිසුම් ක්‍රියාවලියේදී වැටුප් සංශෝධන තීරණය කරනු ලබන්නේ සියලු පාර්ශ්ව අතර එකඟතාවකට පැමිණීමේ අරමුණින් සියලුම වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර දැඩි සාකච්ඡා වට කිහිපයක් පදනම් කරගෙනයි. සමහර වෘත්තීය සමිති පවතින ප්‍රධාන දේශපාලන පක්ෂවලට සෘජුවම සම්බන්ධ වන අතර අනෙක් ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ අවශ්‍යතා පමණක් නියෝජනය කරමින් කටයුතු කරන ස්වාධීන ඒවා වේ.

ප්‍රශ්නය – එසේ නම් ඔබ සියල්ලට උත්තර කියන්නේ ඇයි? එසේම ඔබට පමණක් එයට වගකිව නොහැකි බව ඔබ මහජනතාවට නොකියන්නේ මන්ද?

පිළිතුර – මම විශ්වාස කරනවා මේ පුවත විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් බලපෑවා කියා. සමහරුන්ට ඒ ගැන තදින්ම දැනෙනවා. එවැනි තත්ත්වයන් තුළ ආයතනයේ ප්‍රධානියා සහ සමහර විට ජනතාවට වඩාත්ම මුහුණ දෙන ආයතනය ලෙස මා ඔවුන්ගේ කෝපයට පත් වීම ස්වාභාවික දෙයක්. මගේ ඉලක්කය වන්නේ අතෘප්තිමත් කණ්ඩායම් විසින් මතු කරන ලද අව්‍යාජ උත්සුකයන් තේරුම් ගැනීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීම වන අතර, එම නිසා ප්‍රශ්නයෙන් මා ඈත්ව සිටීම ඥානාන්විත යැයි මම නොසිතමි.

ප්‍රශ්නය – ඔබ විශ්‍රාම ගැනීමෙන් පසු නැවත මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නොපැමිණියේ නම් සහ මහ බැංකු නිලධාරියකු ලෙස තිබෙන සේවය කිරීමට නොහැකි අනිවාර්ය කාලයෙන් පසුව ජාත්‍යන්තර සංවිධානයක් සේවය කිරීමට තෝරා ගත්තේ නම්, ඔබ මහ බැංකුවේ අධිපතිවරයාගේ වැටුපට වඩා වැඩි මුදලක් උපයනු ඇති ද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානියා ලෙස විශ්‍රාම යෑමෙන් පසු ඔබව කැඳෙව්වේ නැත්නම් ඔබට ඔස්ට්‍රේලියාවේ සුළු රැකියාවක නියැළීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වෙමින් තිබේ. ඔබට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර – මහ බැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කිසිදු පූර්ණකාලීන රැකියාවක නියැළීමට මට අදහසක් තිබුණේ නැහැ. ඒ අතරම, සම්පූර්ණ විශ්‍රාම ජීවිතයක් ගත කිරීමෙන් දශක තුනකට වැඩි කාලයක් මා ලබාගත් මගේ දැනුම හා අත්දැකීම් නාස්ති කිරීමට මට අවශ්‍ය වුණෙත් නැහැ. මම මගේ විශ්‍රාම ජීවිතය භුක්ති වින්දේ මගේ පවුලේ අය සමග කාලය ගත කරන අතරම, සංචාරය කිරීමට සහ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් සොයා ගනිමින් සිටින අතරේ. මගේම පර්යේෂණ පවත්වමින් සහ සමහර බහුපාර්ශ්වික ආයතන සහ ජාත්‍යන්තර සමාගම් අර්ධකාලීන පදනමින් මගේ ප්‍රවීණත්වය අපේක්ෂා කරන සෑම අවස්ථාවකම ඔවුන්ට සහාය වීමෙනි. ඇත්ත වශයෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පවා ගත කළ මගේ වෘත්තීය ජීවිතයට වඩා, මගේ විශ්‍රාම ජීවිතය මූල්‍යමය වශයෙන් වඩා ප්‍රතිලාභදායක විය.

‘මගේ වැටුප් වැඩිවීම බිංදුවයි’..වැටුප ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ..මම ආවේ ආර්ථිකය ගොඩගන්න

ප්‍රශ්නය – වත්මන් ආර්ථික අර්බුදයේ වරද ශ්‍රී ලංකා මහ බැංකුවටත් පැවරිය යුතු යැයි ඔබ සිතන්නේ නැද්ද? එළැඹෙන විදේශ මුදල් අර්බුදයකට එරෙහිව රජයට අනතුරු ඇඟවීමට මහ බැංකුව අපොහොසත් වූ බව නොවේද?

පිළිතුර – ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකාලීන නඩු විභාගයේදී පැහැදිලිවම පෙනී ගියේ මහ බැංකුවේ නිලධාරීන් එළැඹෙන ආර්ථික අර්බුදය පිළිබඳව එවකට සිටි මහ බැංකු අධිපතිවරුන්ට, මුදල් මණ්ඩලයට සහ මුදල් අමාත්‍යාංශයට අනතුරු ඇඟවූ නමුත් එවැනි අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවයි. මහ බැංකුවේ නීතිවල රහස්‍යභාවය පිළිබඳ වගන්ති යටතේ මහ බැංකු අධිපතිවරයාගේ හෝ මුදල් මණ්ඩලයේ අවසරයකින් තොරව මහ බැංකුවේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමට හෝ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකිය. ඉහළ වෙළෙඳපොළ සංවේදී සහ රහස්‍ය තොරතුරු පිට වීම වැළැක්වීම සඳහා මහ බැංකුවේ නීතිවලට එවැනි විධිවිධාන තිබීම අවශ්‍ය වෙනවා. එබැවින් වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකුවේ වෘත්තීය කාර්ය මණ්ඩලයට දොස් පැවරිය නොහැකියි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඔවුන් ලබන වැටුපට සුදුසු යැයි ඔබ සිතන්නේ ඇයි? ඔවුන් පෞද්ගලික අංශයට හෝ ජාත්‍යන්තර ආයතනවලට සම්බන්ධ වුවහොත් ඔවුන්ට වැඩි ආදායමක් ලැබෙනු ඇතැයි ඔබ සිතනවාද? තවද, ඔවුන්ගෙන් කී දෙනෙක් මෑත වසරවලදී වඩා හොඳ අපේක්ෂාවන් සඳහා මහ බැංකුව හැර ගොස් තිබේද?

පිළිතුර – ස්වාධීනව පවත්වනු ලබන තරග විභාගයකින් ඉහළම ලකුණු ලබාගත් පළමු පන්තියේ හෝ දෙවන පන්තියේ ඉහළ පෙළ ශ්‍රේණිධාරී විශ්වවිද්‍යාල උපාධිධාරීන් සීමිත සංඛ්‍යාවක් පමණක් මහ බැංකුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ලෙස සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප තරගකාරී නොවන්නේ නම් පහසුවෙන්ම වෙනත් ස්ථානයක රැකියා ලබාගත හැකි ඉහළම අපේක්ෂකයන් වන්නේ ඔවුන්ය. ඔවුන් මධ්‍යම මට්ටමට ළඟා වූ පසු ඔවුන් මහ බැංකුකරණය සඳහා විශේෂයෙන් පුහුණු කර ඇති අතර ඔවුන්ගේ විශේෂ කුසලතා ඔවුන්ට පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබා දෙයි. 2022 සහ 2024 වර්ෂ අතර කාලයේ කාර්ය මණ්ඩලයෙන් 100 ක් මහ බැංකුවෙන් ඉවත් වී විදේශ රැකියා සොයාගෙන තිබෙනවා.

ප්‍රශ්නය – මහ බැංකුවේ සුළු සේවකයන්ට සමහර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට වඩා වැඩි වැටුප් ලබා දෙන්නේ ඇයි? මෙය අසාධාරණ යැයි ඔබ සිතන්නේ නැද්ද?

පිළිතුර – හේතු දෙකක් නිසා එවැනි ප්‍රශ්නයක් ඇති වී එවැනි විෂමතාවයක් පවතින බව මම පිළිගන්නවා. පළමුව, දැඩි තරගකාරී ක්‍රියාවලියකින් තොරව 2008 සහ 2010 අතර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවට බොහෝ සුළු සේවකයන් බඳවාගෙන තිබීමයි. දෙවන කරුණ ඔවුන් බඳවාගත් පසු සාමූහික ගිවිසුම්වල වැටුප් නිර්ණය කිරීමේදී මෙම සේවකයන් ද කාර්ය මණ්ඩලයේ කොටසක් සහ වෘත්තීය සමිති සාමාජිකයන් වන බැවින් ඔවුන් ඉවත් කළ නොහැකි වීමයි.

මහ බැංකුවේ මෑතකාලීනව වැටුප් වැඩිවීම සියලු නිසි නීතිමය මාර්ගවලට අනුකූලව සිදු කර ඇති බවත්, එහි ඉතිහාසය පුරා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් සියලුම වැටුප් වැඩිවීම් සිදු වූ ආකාරයටම මෙවර වැටුප් වැඩිවීම සිදු වූ බවත් මා මහජනතාවට නැවත සහතික කිරීමට කැමතියි.

ඔවුන්ගේ උත්සුකයන් ගැන අවධානය ඇති බව ජනතාවට මට නැවත සහතික කිරීමට අවශ්‍ය වන අතර, අප කටයුතු කරන ආකාරය සමාලෝචනය කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අප අධිෂ්ඨාන කරගෙන සිටින බැවින් මේ සම්බන්ධයෙන් නඟන ලද හඬ මම අගය කරනවා. මෙය සෑම කෙනකුටම ඉතා දුෂ්කර ආර්ථික කාලයන් බව අප පිළිගන්නා අතර මෙම ක්‍රියාමාර්ගවල වේලාව සහ සමහර ප්‍රමාණයන් පිළිබඳව සදාචාරාත්මක ගැටලු මතු වී තියෙනවා. මෙම සදාචාරාත්මක ගැටලුවලට ඔවුන්ට ලැබිය යුතු නිසි සැලකිල්ල ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. මහ බැංකුවේ වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයන් සහ අපේ ජාතියේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාව මම විශ්වාස කරනවා. මගේ පාලනයේ ඇති ආයතනයේ සහ වෙනත් තැන්වල ඇතුළුව සෑම සේවකයකුටම ඔහු හෝ ඇය සෑහීමකට පත් විය හැකි ජීවනෝපාය වැටුපක් ලැබෙන දිනයක් වෙත අප ළඟා වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය :- ඔබට මෙසේ චෝදනා එල්ල වන විට ඒ ගැන ඔබට වේදනාවක් දැනෙන්නේ නැද්ද?

පිළිතුර :- ‘වේදනාව’ යන්න මේ අවස්ථාවේ භාවිතා කිරීමට වැරදි වචනයක් බව මම කියන්න ඕන. ශ්‍රී ලංකා මහ බැංකුවට මා නැවත පැමිණීමේදී මා බලාපොරොත්තු වූ ප්‍රධාන කාර්යයෙන් බැහැරව මගේ ශක්තිය මෙන්ම අවධානයද බලහත්කාරයෙන් ඉවත් වන විට මට ඇතැම් විට කලකිරීමක් දැනෙනවා. මගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම සහ එම ගමනේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයට සහාය වීමයි. මේ නිසා තමයි මට අමාරු තීරණ ගන්න පුළුවන් වුණේ. මෙම අවස්ථාවේ දී මේ ගැන අවංකව සැලකිලිමත් වන පාර්ශ්වයන්ගේ ප්‍රතිචාර ඇසීමට මම සෑමවිටම විවෘතව සිටින්නේද මේ නිසායි. කෙසේ වෙතත් එය වඩාත් දේශපාලනික සහ අදාළ නොවන අංශවලින් පැමිණෙන විට අනවශ්‍ය ලෙස ශක්තිය හා කාලය වැය වීමක් ද වෙනවා.

සාකච්ඡා කළේ –
සමන් ඉන්ද්‍රජිත්
සිංහලට සකස් කළේ –
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment