මෙන්න… ආගමන විගමනයේ ගේම සහ රස්තියාදුව

ඔන් ලයින් ක්‍රමයත් ගල් යුගයට ගිහින්…

වැඩිපුර මුදල් ගෙව්වත් මාස ගණන් කල් අරින එක්දින සේවාව

කිසිම දේශපාලනඥයෙක් මේ ගැන කතා නැහැ

ප්‍රමාද වී තීන්දු ගන්නා පරිපාලන නිලධාරීන්

මැති ඇමැතිලට VIP පහසුකම් නැති අපිට පෝලිම්…- ජනතාව

ආර්ථික අර්බුදයට පිළිතුරු සොයා විදේශගත වී තමන්ගේ සිතැඟි සිහින මල්ඵල ගන්වන්නට රටේ බහුතරයක්ම මේ කියන රාජ්‍ය ආයතන පරිශ්‍රයේ පැය ගණන් පෝලිම්වල සිටගෙන තම කිරිදරුවන් ද ඇකයේ හොවාගෙන බලාපොරොත්තු දෑසින් යුතුව කල් ගෙවනා මා පියවරුන්ද මෙහි දැකගත හැක. එසේ සිටිය ද දින සති මාස ගණනින් ඇදී යන මේ පාස්පෝට් කෙරුවාවෙන් බැට කන විදෙස් ගතවන්නන් වෙතින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එල්ලවන්නේ දැඩි දෝස්මුරයකි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනකුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයකු පසුගිය දිනක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිද්ධිය ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ සිදු වූ පළමු වංචාව ද නොවන අතර මෙරට රාජ්‍ය ආයතන තුළ සිදුවන මෙවැනි සිද්ධීන් තුළින් පැහැදිලි වන්නේ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන ආගමන විගමන දෙපාර්තමේන්තුව ද වැටී ඇති තත්ත්වයයි.

ලංකාවේ රාජ්‍ය සේවය තුළ මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සිදුවීමෙන් රාජ්‍ය සේවය වැටී ඇත්තේ ද ඉතාමත්ම පහත් තත්ත්වයකට ය. රටේ ඉහළ නිලධාරීන්, දේශපාලකයින් හා අපරාධකරුවන් සඳහා ව්‍යාජ ආකාරයට විදෙස් ගමන් බලපත් නිකුත් කරත්දී රටේ සිටින පුරවැසියන්ට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන විට දින, සති, මාස ගණනින් කල්යවා මෙරට ජනතාවට ‘පාස්පෝට් එක’ එපා කිරීමට තරම් මෙකී බලධාරීන් ක්‍රියාකර තිබේ. එහෙත් පාතාලයන් හා ඉහළ පැලැන්තිය සඳහා තම සේවාව නොපැකිළවම ඉෂ්ට සිද්ධ කරන්නට මේ ආයතන දක්වන්නේ ද පුදුමාකාර උනන්දුවකි. එහෙත් පාස්පෝට් ආයතනයේ සිදුවන අක්‍රමිකතා හා දුර්වල යාන්ත්‍රණය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හා විදේශගතවීමට පාස්පෝට් එක හදා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන මිනිසුන්ගේ රස්තියාදුව ගැන ද මේ කතාව මහඟු සාක්‍ෂි දරන්නකි.

පාතාලයන්ට පාස්පෝට්…සොක්කන්ට පොඩ්ඩන්ට පූස් පාට්…

ලංකාවේ රාජ්‍ය ආයතනයකින් වැඩ කරගැනීම යනු එසේ මෙසේ කාර්යයක් නොවන බව එහි ගිය ආ කවුරුත් දනිති. පගාව, අල්ලස, කොමිස් යන මේ ආදී මුදලට සිදුකෙරෙන්නාවූ අවැඩවලින් ලංකාවේ රාජ්‍ය ආයතන ‘කාක්කන්’ හෙවත් තැරැව්කරුවන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. ඉහත කී කාක්කන් ආයතනයේ ආරක්‍ෂක නිලධාරීන්ට රුපියල් දහසේ නෝට්ටුවෙන් සංග්‍රහ කර ආයතනයේ පිටුපසදොරෙන් ඇතුළු වෙන ඔවුන්ට ද ඉහළ නිලධාරීන්ගේ ද සපෝර්ට් එක ද මනාසේ ලැබෙන්නේය. අල්ලසක් දී හෝ ලංකාවේ රාජ්‍ය ආයතනයකින් වැඩක් කර ගැනීමට එන රටේ බහුතර ජනයාට තමන් සිදුකර ගැනීමට ආ කාරණාව ඉෂ්ට සිද්ධ කරගැනීමට නම් දෑත් දිගහැර මෙකී තැරැව්කරුවන්ට වියදම් කළ යුතුය. එමෙන්ම රාජ්‍ය ආයතන තුළ උකුසු ඇස යොමා සිටින මුදලට ගිජු වූ කාක්කන්ගෙන් බේරී සිදුකරගැනීමට ආ වැඩය කරගැනීමට හැකිවන්නේද කීයෙන් කී දෙනාටද යන්නද ප්‍රශ්නයකි. ආර්ථික අර්බුදයට පිළිතුරු සොයා විදේශගත වී තමන්ගේ සිතැඟි සිහින මල්ඵල ගන්වන්නට රටේ බහුතරයක්ම මේ කියන රාජ්‍ය ආයතන පරිශ්‍රයේ පැය ගණන් පෝලිම්වල සිටගෙන තම කිරිදරුවන් ද ඇකයේ හොවාගෙන බලාපොරොත්තු දෑසින් යුතුව කල් ගෙවනා මා පියවරුන්ද මෙහි දැකගත හැක. එසේ සිටිය ද දින සති මාස ගණනින් ඇදී යන මේ පාස්පෝට් කෙරුවාවෙන් බැට කන විදෙස් ගතවන්නන් වෙතින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එල්ලවන්නේ දැඩි දෝස්මුරයකි. මෙයට හේතු බොහෝමයක් ද පවතින අතර පවතින ආයතනික ගැටලු හා නිලධාරීන්ගේ පරිපාලනමය ගැටලුවලින් සපිරි රාජ්‍ය ආයතනයක් ලෙස ‘පාස්පෝට් කන්තෝරුව’ මේ වනවිට ප්‍රසිද්ධියක් උසුලා ඇත.

වැඩ අල වූ පාස්පෝට් කන්තෝරුව

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පවතින අකාර්යක්ෂම භාවය පිළිබඳ දැන් කතාබහට ලක්වී ඇත්තේ මෙරට පවතින ආර්ථික ගැටලු හේතුවෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව යන බොහෝමයක් පිරිස් වෙතිනි. ඔවුන් නඟන චෝදනාවලට අනුව හැඟීයන්නේ මේ දිනවල පාස්පෝට් කන්තෝරුවේ ගිනි අව්වේ වේලෙමින් දූවිලිකමින් පෝලිම් තුළ රස්තියාදුවේ සිටිමින් දින මාස ගණන් දක්වා ඇදී යන පාස්පෝට් නිකුත් කිරීම ක්‍රමවේදය මේ වන විට ‘අල වී’ ඇති බවය. කොටින්ම කිවහොත් පසුගිය වසරේ එනම් 2023 වර්ෂයේ ජූලි මස මාර්ගගත ක්‍රමයට යොමුකළ අයදුම්පත් සඳහා මේ වන තුරු ආගමන හා විගමන ආයතනය මගින් ඉටුවී නොමැති බවද වාර්තා වී ඇත.

ලේසියට පහසුවට ගෙනාපු ඔන්ලයිනුත් කොටඋඩ

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය වෙනත් මානයකට රැගෙන යමින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25 හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීමෙන් කොළඹ ප්‍රධාන කාර්යාලට පැමිණීමෙන් තොරව තමා ජීවත්වන දිස්ත්‍රික්කය තුළ සිටම විදෙස් ගමන් බලපත්‍රය ගැනීමට රජය ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුත්තකි. මෙකී ආකාරයට මාර්ගගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් ඔන්ලයින් පාස්පෝට් ක්‍රමය මගින් සේවාදායකයින් කිසිදු තැරැව්කරුවකුට අසුනොවී තම සේවාව සිදුකරගැනීම සඳහා හා කිසිදු රස්තියාදුවක නොයෙදී තම සේවාව සිදුකරගැනීමටත්, පසුගිය වසර කිහිපය තුළ පාස්පෝට් කන්තෝරුව තුළ ඇතිවූ තදබදය ද අවම කිරීමට මෙම ඔන්ලයින් ක්‍රමය පසුගිය කාලය තුළ මෙරටට හඳුන්වාදුන්නද මේ වන විට මෙම ක්‍රමය කොටඋඩ ඇති වග පෙනෙන්නට ඇත. මෙම ඔන්ලයින් ක්‍රමය මුලින් ප්‍රකාශයට පත් කරන්නේ රුපියල් 5000 ක් ගෙවා පාස්පෝට් එක අයදුම් කළහොත් මාසයක් ඇතුළත් නිවසටම ලැබෙන ආකාරයටය. එහෙත් මේ වන විට එම මුදල රුපියල් 10000 ක් ව පවතින අතර හදිසි සේවය ඔස්සේ රුපියල් 15000 ගෙවීමෙන් දින 3 ක් වැනි කුඩා කාලයකදී අයදුම්කරු වෙත පාස්පෝට් එක ලබාදෙන ආකාරයට මෙම ක්‍රමය ආරම්භ කළද මේ වනවිට මාස 8 ක් තිස්සේ අයදුම් කළ අයදුම්කරුවන්ටද මේ වනතුරුම අදාළ පාස්පෝට් ලැබී නොමැත.

අපේ රටේ රාජ්‍ය ආයතන තුළ ක්‍රමය හෙවත් ‘සිස්ටම් චේන්ජ්’ වුවද එහි පවතින අකාර්ක්‍ෂමතාවය හා නිලධාරිවාදය හේතුවෙන් මෙසේ ගෙන ආ නව තාක්‍ෂණික ක්‍රමවේදය අද වළපල්ලට ගොස් ඇති හෙයින් දිවයිනේ ජනතාව මහත් දුෂ්කරතාවයට පත්ව ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ සේවාව සම්බන්ධයෙන් පළකොට තිබූ දින 3 ක කාලසීමාවකදී හා මසක් ඇතුළත අයදුම්කරුවන්ගේ නිවසටම විදේශ ගමන් බලපත්‍රය යොමුකරන ලෙස පළකොට තිබූ වගන්ති පවා මේ වන විට සිය වෙබ් අඩවිය තුළින් අයින් කොට ඇති බව ද ලැබෙන ආරංචි මාර්ගවලින් තහවුරු වෙයි. මේ අතර පාස්පෝට් එක ඔන්ලයින් අයදුම් කරන හා ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්කර ඇති අයදුම්කරුවන් මාස ගණනක් බලා හිඳ නැවතත් පාස්පෝට් කන්තෝරුවට පැමිණ ගමන් ගාස්තු හා අනෙකුත් වියදම්ද දරා ගනිමින් ආයතන නිලධාරීන්ට තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් නිලධාරීන් හමුවේ බැගෑපත් වෙමින් තමන් පැමිණි කාරණය සිදුකරගන්නට නොවිඳිනා වැඳුම් වඳින්නට ද අයදුම්කරුවන්ට සිදුවී ඇත. පාස්පෝට් එක හදා ගැනීමට එන අයදුම්කරුවා ලංකාවේ උතුරු කෙළවරේ ද දකුණු කෙළවරේද යන්න මෙම ආයතන නිලධාරීන්ට අදාළ නොවන බැවින් රටේ පුරවැසියාගේ කාලය නිරාපරාදේ කා දමන ඔවුන් මැටිපිළිම සේ මිනිසුන්ගේ හැඟීම් දැනීම්ද නොදැනෙනවා සේම ගොළුවන් බිහිරන් සේ අදාළ ආයතන බලධාරීන් ක්‍රියාකරන ආකාරය ද මේ රාජ්‍ය ආයතනය තුළට ගොස් මඳක් විපරම් දෑස් යොමුකළ විට දැකබලා ගත හැක.

සාමාන්‍ය සේවයෙන් බැහැර එක් දින සේවය ගන්නත් වටේ යවන හැටි…

පාතාලයන්ට පාස්පෝට්…සොක්කන්ට පොඩ්ඩන්ට පූස් පාට්…

සාමාන්‍ය සේවයෙන් විදේශ ගමන් බලපත්‍රය අයදුම් කළ කෙනෙකුගේ හදිසි අවශ්‍යතාවයක් මත එය එක් දින සේවයට හරවා ගැනීම ද මෙම පාස්පෝට් කන්තෝරුව තුළ ලෙහෙසි පහසු දෙයක් නොවේ. මෙසේ සාමාන්‍ය සේවයෙන් එක් දින සේවාවට පරිවර්තනය කිරීම දින 12 ක් යන තුරු නොහැකි බවද මෙම පාස්පෝට් ආයතනයේ තවත් කතාවකි. තවද අදාළ අයදුම් කළ තැනැත්තාම මේ සඳහා පැමිණිය යුතු අතර එසේ පැමිණෙන අදාළ අයදුම්කරුවාට දින 12 කින් නැවත පැමිණෙන ලෙස අදාළ බලධාරීහු දැනුම් දීමක් සිදුකරන බවද සඳහන්ය. එසේ දින 12 කින් නැවත පැමිණෙන අයදුම්කරු හෙම්බත් වන තුරුම පෝලිම් හත අටක තබන්නට ආයතන නිලධාරීන් ක්‍රියාකරන්නේ පාස්පෝට් එක අයදුම්කරුට එපා කරවන තැනටම පත්කරවමින්ය. මෙසේ එක්දින සේවයට පරිවර්තනය කළ විට මෙකී අයදුම්කරුට සිය නිවසට යෑමට සිදුවන්නේ ද ඉරබැස ගියාටත් පසුව බව මෙම සිදුවීමට මුහුණදුන් කිහිපදෙනෙකුම අප හා සඳහන් කළ කාරණාවකි. මේ ආකාරයට තම සේවා අවශ්‍යතාවය ඉටුකරගැනීමට පැමිණෙන අදාළ අයදුම්කරුට මෙම ආයතනයේ නිලධාරීන්ගේ බසට අවනතවී වටේ යෑමට සිදුවන්නේද බොහෝමයක් ආයතන තුළ නිලධාරීන්ගේ අඩුපාඩු හා විවිධ පරිපාලන ගැටලු අහිංසක මිනිසුන්ගේ කරමතින් යැවීමට ආයතන බලධාරීන් ක්‍රියාකරන බවද මෙවැනි අවස්ථාවලින් පෙනී යනු ඇත. ප්‍රධාන කාර්යාලයේ හෝ ශාඛා කාර්යාලයකින් අයදුම්කර දින 40 ක් ගතවී තිබුණහොත් පමණක් එවැනි පාස්පෝට් පමණක් නිකුත් කරන බවද ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

දවසෙම කාර්යබහුල වන පාලක ජනරාල්

ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ පාලක ජනරාල්වරයාගේ කාමරය මේ දිනවල ඉතාමත්ම කාර්යබහුල බවක් බැලූ බැලුමට දිස්වේ. පාලක ජනරාල්තුමාගේ ඔෆිස් කාමරය දිස්වන්නේ ප්‍රාදේශීය සභාපතිතුමාගේ කාමරය මෙනි. එය සෙනඟින් පිරී ඉතිරී යන්නේ තමන් සිදුකරගැනීමට ආ කාරණය ඉටුනොවීම නිසා කෙසේ හෝ උදව්වක් උපකාරයක් පාලක ජනරාල්වරයාගෙන් ලබාගැනීමට ආ ජනතාවගෙනි. මේ අතර වැඩිමනත් පිරිස පාස්පෝට් ගන්න ආ සෙනඟින් කොටසකි. ඇතැමුන්ගේ ඉල්ලීම්වලට ඕඩර් දෙන විට ජනරාල්තුමාගේ දවසින් වරුවක්ම ගෙවී අවසන්ය. මේ හේතුවෙන් උදව් ඉල්ලා පැමිණෙන ජනතාවට ඔහුගෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බව බොහෝ අයැදුම්කරුවෝ කියති.

රට විරුවන්ගේ පාස්පෝටුත් ඉබි ගමනින්…

මේ වන විට විදෙස්ගතව රැකියාවේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් බලපත් අදාළ තානාපති කාර්යාලවලට නොයන වගක් ද එකී පාස්පෝට් මාස 5 ක් තිස්සේ මෙම පාස්පෝට් කන්තෝරුව තුළ තිබෙන බවද ලැබෙන ආරංචි මාර්ගවලින් පැහැදිලි වී ඇත. මෙසේ විදෙස්ගතවූවන් එවන ලද පාස්පෝට්හි යම්කිසි කුඩා අඩුපාඩුවක් හෝ වෙනස්කමක් තිබුණහොත් එවැනි අයැදුම්පත් මේ කාර්යාලයේ හමස් පෙට්ටියට වැටෙන බවද ඇතැම් අයදුම්කරුවෝ චෝදනා නගති. මෙවැනි පාස්පෝට් අවුරුදු ගණන් අදාළ කාර්යාල තුළ ගොඩගැසී ඇති බවද ඒ සම්බන්ධව තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ලැබෙන ආරංචි මාර්ගවලින් සනාථ වනු ඇත. මෙවැනි ගොඩගැසී ඇති පාස්පෝට් අතරේ පසුගිය යුද සමයේදී මෙරටින් විදේශගතවූ දමිළ පුරවැසියන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද බහුලව ඇති බවත් මේ හේතුවෙන් එම වැසියන්ට ද මේ රට ගැන තවත් එපා වීමක් හා කලකිරීමක්ද ඇතිවෙන බවද, අදාළ දෙපාර්තමේන්තු බලධාරීන්ටද මොහොතකට හෝ මේ කාරණාව සිහිවිය යුතුය යැයිද අප විශ්වාස කරමු.

පාස්පෝට් පරක්කුවට දේශපාලකයෝත් මීක් නෑ

VIP ක්‍රමය යැයි කියාගන්නා රටේ වැඩිමනත් දේශපාලනඥයින් තමන්ගේ හා තම හිතවතුන්ගේ පාස්පෝට් සෑදීම කිසිදු රස්තියාදුවකින් තොරව සිදුකරගනිති. එනිසා ඔවුන්ට සාමාන්‍ය ජනතාව පීඩා විඳින ප්‍රශ්න ද අදාළ නොවන්නේය. මෙම ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තේ පස් පාගන්නට පළාතේ නොඑන මෙකී දේශපාලන බලධාරීන්ට පාස්පෝට් හැදිල්ලට වැය වන්නේ එක දුරකථන ඇමතුමක් පමණි. මේ නිසා ආගමන විගමන කාර්යාලයේ කිසිදු අක්‍රමිකතාවයක් නොමැති බවටද කැට තියා කියන්නට ද ඔවුන් පසුබට වන්නේද නැත. මෙසේ දේශපාලකයින් හා බලධාරීන් තම වුවමනාව නිසි සේ කරගනිද්දී මෙම පාස්පෝට් කන්තෝරුවෙහි දින ගණන් අව්වේ දිගු පෝලිම්වල සිට වැඩේ කරගැනීමට අයදුම්කරුවන්ට සිදුවී ඇත.

මාස හතරක් යන පාස්පෝට් ප්‍රින්ටින්

පසුගිය වසරේ ඔන් ලයින් ක්‍රමය යටතේ අයදුම් කරනු ලැබූ අයැදුම්පත්වලට පවා තවමත් පාස්පෝට් නිකුත් කර නොමැති බව විශ්වාසදායී ආරංචිමාර්ග පවසයි. මෙම ආරංචි මාර්ග අනුව අදාළ අයදුමට අදාළ සියලු වැඩකටයුතු අවසන්ව ඇති අවස්ථාවෙන් පසුවද පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අවමය මාස 4ක් ගතවන බවද ලැබෙන ආරංචි මාර්ග පවසයි.

හදිස්සි නම් වටේ යන්න…

ඉහත කී ආකාරයට මාස ගණනින් අපේ රටේ ජනතාවගේ රට රැකියා සිහින කල්හරින්නේ නිලධාරීන් විසින් හිතාමතාම යැයි ජනතාව මැසිවිලි නඟති. ඔන්ලයින් ක්‍රමය සඳහා මුදල් බැඳ ඇඟිලි සලකුණු තබන්නට ආයතනය මගින් මාසයකට පසු එළඹෙන දිනයක් ලබාදෙන අතර අදාළ නිලධාරීන් එසේ කරන්නේ ද හිතමතාම අයදුම්කරු රස්තියාදු කිරීමකි. ආයතන පරිපාලනමය වැරදි හේතුවෙන් පාස්පෝට් කන්තෝරුවට එන ජනතාව රස්තියාදුවේ යෙදවීම තුළින් අනිසි ප්‍රයෝජන ගන්නා තැරැව්කරුවන්ටද මේ කියන බලධාරීන් කරන්නේද පනින රිලවුන්ට ඉනිමං බැඳීමකි. නිසි වෙලාවට අදාළ නව ගමන් බලපත් තොග ඇනවුම් කිරීමට අසමත් වූ නිලධාරීන් තමන්ගෙන් සිදුවූ අඩුපාඩුව හා හිඩැස වසාගැනීමට රටේ අහිංසක මිනිසුන් පීඩාවට පත්කරන බවද පෙනී යනු ඇත. අයදුම්කරුවන්ගේ හදිසි අවශ්‍යතාවය මත ඔන්ලයින් සේවාව මගින් ඇනවුම් කළද තමන් බලාපොරොත්තු වූ සේවාව ඉටුනොවීමෙන් පසු නැවත සාමාන්‍ය සේවාව මගින් අයදුම් කිරීමට පෙර අයදුම් කිරීමට ඔන්ලයින් ගෙවූ මුදලද අවලංගු කරවාගැනීමට නැවත හැකියාවක්ද නොමැත.
රටේ මිනිස්සුන්ට හදිසි වුවද පාස්පෝට් කන්තෝරුවේ නිලධාරීන්ට නම් කිසිම හදිසියක් නොමැති බව මේ ඔෆීසිය දෙස බැලූ විට පෙනෙන කාරණයකි. ෆින්ගර් ප්‍රින්ට් දීල මිනිස්සු මාස ගණන් බලන් ඉඳල බැරිම තැන අදාළ නිලධාරීන්ට දුරකථන ඇමතුම් දුන්නද එම ඇමතුම්වලට නිලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බවද අයදුම්කරුවෝ ප්‍රකාශ කරති. බැරිම තැන බත්තරමුල්ලට එන අයදුම්කරුවන්ට සිදුවන්නේ හදිස්සියට හේතු සඳහා නිලධාරීන් හමුවේ සාක්‍ෂි දීමටය. එසේ ටිකට් වීසා පෙන්වා ආපසු අනුමැතිය ගැනීමට ද today issue යන තවත් පෝලිමක කල්ඇරීමට මේ කියන අයදුම්කරුවන්ට සිදුවනු නොඅනුමානය. තවත් අයුරකින් අර කාමරයේ සර්, මේ කාමරයේ මැඩම් හමුවී අනුමැතිය ගන්න යැයි පාස්පෝට් කන්තෝරුවේ හතර වටේම ඇති පෝලිම් තුළ කකුල් කොරවන තුරුම හිටගෙන සිටීමට මෙකී අයදුම්කරුවන්ට සිදුවනු ඇත. එසේද සිටින ඔවුන්ට ලැබෙන පිළිතුරුද වන්නේ “අපි තැපැල් කරන්නම්” යැයි යන වදන් පෙළ අසා ගෙදර යෑමටය.

ප්‍රමාද පාස්පෝට් මදිවට අවලංගු ගුවන් ගමන්

විදේශ ගමන් බලපත්‍රයද මාස ගණන් බලාහිඳ ලබාගත්තද මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් නියමිත වේලාවට ගමන් ඇරඹීමට නොහැකිව රැකියා සඳහා විදේශගත වන්නන්හට පසුගිය 19 වැනිදා අඟහරුවාදා දින සිදුවූයේ නැවත හැරී ගෙදර යෑමටය. ඒ කොරියාව බලා පියාසර කිරීමට තිබූ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙනි. මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 100 දෙනකුගේ සිය රැකියා සිහිනය එදින අහිමිවිය. එමෙන්ම කොරියානු රාජ්‍යයෙන්ද එරටට ලබන මස 03 වැනිදා තෙක් නැවත පැමිණීමක්ද සිදුනොකරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමටද දන්වා ඇත. ලැබෙන ආරංචි මාර්ග අනුව ලබන 03 වැනිදා වන විට මෙම ශ්‍රමිකයන් අතරින් කිහිපදෙනකුටම තම රැකියා සිහිනය මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රමාදය නිසා අහිමිවීමටද නියමිතය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් ප්‍රමාදයෙන්ද, ශ්‍රී ලංකා ගුවන්සේවයේ ප්‍රමාදයෙන්ද විදේශගතවන්නන්ට සිදුවන්නේද බලවත් අපරාධයකි.

පසුගිය දිනවල රටේ නම ගිය ප්‍රධාන අපරාධකරුවන් පස්දෙනකු සඳහා මේ කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් සෑදීම පිළිබඳ තොරතුරු දැන් එළියට එමින් පවතී. පාස්පෝට් කන්තෝරුවෙහි මෙවන් දූෂිත නිලධාරීන්ගෙන් සපිරි ස්ථානය ආයතනයක් බවට පත්වී ඇත්තේ කුමන හේතුවක් අරභයා ද යන්න මේ වනවිටත් හෙළිවී නොමැත. රට සිහිනය සැබෑ කරගැනීමට දින සති මාස ගණනින් ආණ්ඩුවේ කන්තෝරුවල පෝලිම් තුළ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මිනිසුන් තමන්ගේ වටිනා කාලය කාදමමින් මේ ගෙවන්නේ දේශපාලකයින්ගේ වැරදි නිසා නොව මෙවැනි දෙපාර්තමේන්තුවලට අරක්ගත් නිලධාරි මාෆියාවේ වැරදි නිසා බවද ප්‍රකාශ කළ යුතුය.

යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් පාලකයන් කැපවන්නේ නම් බුද්ධි අංශ යොදවා හෝ මේ ගැන සොයා බැලිය යුතු බව අපි අවධාරණය කරමු.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment