මොස්කව් ප්‍රහාරය – 150ක් මරුට – අයිසිස් වීඩියෝවක් එළියට

884

ඉකුත් සිකුරාදා (22දා) රුසියාවේ මොස්කව් නුවර රඟහලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අයිසිස් සංවිධානය තත්ත්පර 90ක වීඩියෝවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රහාරකයන් ‘මරන්න ඔක්කොම කිසිම අනුකම්පාවක් නැහැ’ යනුවෙන් කෑගසන අයුරුය.

මොස්කව් ප්‍රහාරයෙන් පුද්ගලයන් 150ක් පමණ මරුමුවට පත්ව තිබේ.

ඇමරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන අයිසිස් කේ (කෝරසාන්) විසින් සිදුකර ඇති බවයි. නමුත් ජනපති ව්ලැඩිමිර් පුටින් පවසන්නේ ප්‍රහාරකයන් යුක්‍රේනයට ඇතුළුවීමට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්වූ බවයි. එම නිසා මේ පිටුපස යුක්‍රේනය සිටින බවට රුසියානු බලධාරීහු සඳහන් කරති. ප්‍රහාරය පිළිබඳ වගකීම අයිසිස් සංවිධානය භාරගෙන ඒ පිළිබඳ නිවේදනයක් ද නිකුත්කර තිබේ. නමුත් රුසියානු ආණ්ඩුව මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.

සිකුරාදා අලුයම තුනට පමණ මේ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයන් සිව්දෙනා ඇතුළු 11දෙනකු යුක්‍රේන දේශසීමාව අසලදී රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් එහි ප්‍රහාරයකයකු පවසන්නේ තමාට රූබල් මිලියනයක් ලබාදෙන බවට පොරොන්දු වූ නිසා මේ සඳහා පැමිණි බවයි.

අයිසිස් සංවිධානය විසින් නිකුත් කළ ඩීඩියෝව ආරම්භ වන්නේ ත්‍රස්තවාදියකු පිහියක් රැගෙන දිව යන අන්දමයි. පසුව එහි වීඩියෝ ගත කරන ප්‍රහාරකයා පවසන්නේ තුවක්කුව රැගෙන එන්න ඔවුන්ව මරන්න අනුකම්පාවක් නොදක්වන්න යනුවෙනි.

මාර්තු 07වැනිදා මොස්කව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණේ රුසියානු අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි.

මොස්කව් ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනයේ කිසිම සම්බන්ධයක් නැති බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය හා බටහිර මාධ්‍ය පරස්පර මත ප්‍රකාශ කරයි.

මේ ප්‍රහාරයෙන් තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඊයේත් (24 දා) සුන්බුන් අතර ඇති සිරුරු සෙවීමේ කටයුතු සිදු කෙරිණි.

ප්‍රහාරයකයන් සිකුරාදා රාත්‍රි අටට පමණ මෙම රඟහලට කඩාවදිද්දී එහි හය දහසකට අධික පිරිසක් වූහ. ප්‍රහාරයත් සමග ඇතිවූ ගිනි ගැනීම නිසා එම රඟහලේ වහලය කඩා වැටී ඇත.

පික්නික් නමැති රොක් සංගීත කණ්ඩායම මෙහි ප්‍රසංගයක් පැවැත්වීමට සිටි නමුත් ඔවුන්ගේ ප්‍රසංගය ආරම්භවීමට පෙර ප්‍රහාරය එල්ල විය. එනිසා මේ සංගීත කණ්ඩායමට හානියක් වී නැත.

මියගිය අය අතර කුඩා දරුවන් මෙන්ම හිටපු රූප රාජිනියක්ද සිටින බව වාර්තා වී තිබේ. එමෙන්ම අතුරුදහන් වූ පිරිස් ගැන ද වාර්තා වේ.

ඊයේ රුසියාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment