යකාට නොගිය යකාගේ පඩිපෙළ

126

ඔක්තෝබර් වැසි සමයේ, යකාගේ පඩිපෙළ දිගේ ඇවිද යෑම ස්කොට්ලන්තයේ කඳු තරණයක් මැයි ව්‍යවහාරයක් ඇත. අඳුර, දීප්තිය, තෙතමනය, ගුප්ත ගැඹුරු සතුන්ගේ හඬ, පින්න, වැස්ස, පාට පිරුණු මාවත්, ගහ කොළ ඇළ දොළ වංගු පිරුණු ‘යකාගේ පඩිපෙළ ඳ Devilzs Staircase’ යි. කඳු නගින්නන්ගේ සිහින ගමනකි.

ඔහිය සිට කළුපහන දක්වා කි.මී. 22 ක සම්පූර්ණ මාර්ගය, 1970 දශකය තරම් මෑතක් වන තෙක්ම, කාර් තරග පථයක් ද විය.

උඩවේරිය තේ කම්හලේ සිට දිවෙන කේබල් ඩක්කු පද්ධතියකින් උඩ පහළ තේ දලු, කෝපි සහ වතු වගා නිෂ්පාදන ප්‍රවාහනය විය.

1890 දශකයේ පට්ටිපොල පසුකර දුම්රිය මාර්ග ඉදිවන විට, ඔහිය සිට දෙපැත්තට කඳු පද්ධතිය දිගේ තේ වගාව ව්‍යාප්ත විය. ප්‍රවාහනය දියුණු කරමින් හතර අතට සම්බන්ධිත මාර්ග ඉදිවිය. එක පැත්තකට ප්‍රධාන දුම්රිය පාර හා බොරලන්ද පාර ය. අනෙක් පසට කොළඹ – බදුල්ල කරත්ත පාර ඌව වෙල්ලස්ස, සබරගමුව, දකුණ යා කළේ ‘යකාගේ පඩිපෙළ’ යි.

බලංගොඩ මානවයාගේ වාස භූමියේ සිට වියළි කලාපයෙන් ඉහළට ජනාවාස ඇතිවූවේ උඩරට කැරැල්ල නිසාය. කැරැල්ලෙන් පණ බේරාගත් වැසියන් මධ්‍යම කඳුකරයට පැමිණ සැඟවී ජීවිතය නැවත ඇරඹූහ. බ්‍රිතාන්‍යයන් තේ වගාවට මේ බිම තෝරා ගැනීම නිසා මහ කැලෑ එළිපෙහෙළි විය. ඉන්දීය වතු කම්කරුවන්ගේ නවාතැන බවට මේ බිම පත් විය.

කොළඹ – බදුල්ල මාර්ගයේ, කළුපහන සිට පිළිවෙළින් වීරකෝන්ගම, දූල්තොට, ලාම්පුවත්ත හන්දිය, වී කට් ( V – cut) කළු දොළ, යාල්තැන්න, වැලිවංගුව (කුඩාරම්පල), දේවාලය, යාල්තැන්න පිට්ටනිය, කිංස්ලන් වත්ත, උඩවේරිය (බටහිර හපුතලේ), ලයිබන් වත්ත, උඩවේරිය තේ කම්හල් හරහා ඔහිය – ලෝකාන්තය මාර්ගයට පිවිසීම සම්පූර්ණ කි.මී. 33 ක මාර්ගය යි. එය මුහුදු මට්ටමේ අඩි 5200 සිට අඩි 4000 දක්වා පහළට – උඩට – පහලට බෑවුම් තුනක්, කපොලු 3 කි. එකිනෙකට වෙනස් දේශගුණ කලාප තුනකි. ඇසට, හමට, කනට, නාසයට පමණක් නොව විටෙක ඇට මිදුළු තුළට දැනෙන්නේ ද, භුගෝලීය – පරිසර කලාප තුනක සංකලනය යි.

මාර්ගයේ අද තත්ත්වය

මේ මාර්ගයේ එක්කෝ පයින් යා යුතුය. නැතිනම් ටේ්‍රල් බයිසිකල්වලින් යා හැකිය. ෆෝවීල් ජීප් රථ මගින් ද, ටාටා, බොලෙරෝ කැබ් රථ ද, ට්‍රැක්ටර් ද මේ මාර්ගයේ ගමන් කළ හැකිය. වියළි කාලයේ දී නම්, ස්කූටරයකින්, මෝටර් බයිසිකලයකින් පල්ලම් බැසිය හැකිය. තනියෙන් ගමන අනතුරුදායකය. අනතුරක් හෝ ඉන්ධන හිඟයක්, නැතිනම් යාන්ත්‍රික දෝෂයක් නම් පිහිටක් ඇත්තේම නැති තරම්ය. මේ මාර්ගයට නිශ්චිත හිමිකරුවෙකු නැති නිසා අලුත්වැඩියාවක් නැත. වෘත්තීය මට්ටමේ මවුන්ටන් බයිසිකල්කරුවෙකුට ‘ජීවිත අත්දැකීමකි’. සහායට පිරිස් නැති නම්, ආධුනිකයින්ට යෝග්‍ය නැත. ටේ්‍රල් බයිසිකල්වලින් මාර්ගයේ යා හැකිය. උස රෝද සහිත ෆෝවීල් ඩ්‍රයිව් රථවලින් අපහසුවෙන් යා හැකිය.

කළුපහනේ ඇරඹෙන බොලෙරෝ සෆාරි ජීප් රථ කලින් සූදානම් කර ගත යුතුය. අතරමඟ දුරකථන සංඥා නැත. සති අන්තයේ කෝච්චියෙන් පැමිණ පා ගමනින් පහළට බහින කණ්ඩායම් රැසකි. පාගමනකට වඩා ම කඳු නැඟීමක් ලෙස සලකා, පාවහන් පැලඳ යෑම වැදගත්ය. සුන්දරත්වය විඳින ගමනකට පැය 7-8 ක් අවශ්‍ය ය. වැසි කාලය බැවින් ඝණ මීදුම, පින්න, සීතල ඔබ වසා ගන්නට සැදී පැහැදී සිටී. වැසි කබා, කූඩැල්ලන්ට පිළියම්, ආහාර අත්‍යවශ්‍ය ය.

ඔහිය විද්‍යාලය, උඩවේරිය දෙමළ විද්‍යාලය, බටහිර හපුතලේ දෙමළ (ප්‍රාථමික) විදුහල් ‘යකාගේ දරුවන්ගේ’ අධ්‍යාපනය යි. කටුක පරිසරයේ, ජීවිතය අති දුෂ්කරය. සෙවන ලැයිමයි. 1890 යුගයේ ඇරඹි ලයින් කාමර ය. උඩවේරිය තේ කම්හල් දෙකම දිරාපත් යෝධයෙකු ගේ ඇටසැකිලි මෙනි. වත්තේ ඩිස්පැන්සරිය වසා ඇත. විදුලිය කොටසකට පමණි. දර මූලික ඉන්ධනය යි. අතිරේක මේදය තැම්පත් වූ, මිනිස් පුළුටක් නැත. තේ පඳුරට දිය වූ ඇට සැකිලි, අව්වට පිළිස්සුණු, සීතලට කළු වූ සම් ඇත්තෝ පමණක්ම වෙති. සුද්දාගේ කාලයේත් මේ වත්තේ කම්කරුවාට අදට වඩා මූලික පහසුකම් තිබෙන්නට ඇත. වැලිමඩ හා හපුතලේ ඡන්ද කොට්ඨාස දෙකට අයිති මිනිසුන් ය.

මේ මුහුදු මට්ටමින් ඉහළම උසකින් ඇති, දුෂ්කරම ස්ථිර මිනිස් ජනාවාසය උඩවේරිය වත්ත යි.

යකාගේ පඩිපෙළේ — යකාගේ දරුවන් ය. යකාගේ ගැහැනුන්ය. යකාගේ බැල්මය. යකාගේ රැක්මය.

ජේ. ආර්. ජයවර්ධන හා එලීනා ජයවර්ධන විවාහයෙන් පසුව ලෝකඅන්තයේ සිට බෙලිහුල්ඔය තානායම අසලට අත පය තුවාල කරගෙන පැමිණියේ යැයි කියන්නේ මේ අතුරු මාර්ගයේ ය. මේ අසිරිමත් කඳු පන්තිය කිසිදා ඔබ වෙත එන්නේ නැත. ඔබ එය පසුකොට යා යුතුය.

ඔහිය – කළුපහන පාර කොටස් 4 කි.

පළමු කොටස, ඔහිය සිට උඩවේරිය තේ කම්හල්, ලයින් කාමර දක්වා පහසුවෙන් වාහන ගමන් කරන කි. මී. 5 කි. උඩවේරිය කඳු මුදුනේ සිට, වැල්ලවාය, බෙරගල, දඹේතැන්න, බොරලන්ද, ලෝකාන්තය, වැල්ලවාය, උඩවලව, සබරගමුව කොටසක් ඇස් මානයේ දැකිය හැකිය. පැහැදිලි අහසක් ඇති රාත්‍රියක උඩවේරියට, රටේ දකුණු කෙරවල දෙවුන්දර ප්‍රදීපාගාරය දැකිය හැකිය. අලුයම හිරු එළිය සමඟ, දකුණු මුහුද පෙනේ. ලංකාවේ සරුසාරම ලීක්ස්, කැරට්, බෝංචි, අර්තාපල්, ගෝවා, රාබු වගාබිමකි. පාරාදීයක දසුන්ය.

අතහැර දැමූ උඩවේරිය තේ කම්හල් දෙක යකාගේ පාරේ හොල්මන් මන්දිරයි.

(සටහන – ඔහිය සිට පහළ යකාගේ පඩිපෙළට මාර්ග දෙකකි. මේ ප්‍රධාන මාර්ගයයි. කෙටි අතුරු මාවත දුෂ්කරය. මග සලකුණු නොමැති බැවින් අතරමං විය හැකිය. එමඟ නොගිය බැවින් විස්තර නොලියමි.)

දෙවන කොටස, උඩවේරිය ක්‍රිස්තියානි පල්ලිය අසලින් හැරී, බටහිර කඳු ශිකරය මුදුණට යන දුෂ්කර, බිය ජනක, අඳුරු, මීදුමෙන් වැසුණු, මීටර් 100 ක් ඉදිරියේ වංගුවකින් මාර්ගය අතුරුදන්වන ඊළඟ විනාඩිය තවත් මනරම් තැනකි. ඇසට, ගතට, සිතට මිහිරකි. පාරාදීසයකින් කඩා වැටුණු කොටසකි. මීදුමෙන් වැසෙන්නේය. පින්නෙන් තෙමෙන්නේය. නෙතට, සුරපුරකි. ගතට, අමා මිහිරකි. කන්දෙන් ගලන දිය දහර කනට මිහිරකි. ගලන දොළ පෙණ නඟයි. විඩා නිවයි.

මීදුමෙන් වැසී නැතිනම්, ඈත දසුන් අති සොඳුරුය. මතකය, කැමරාවට හසුකළ නොහැකිය! දෙවන කොටස අවසන් වන්නේ කඳු මුහුණක කපොල්ලකිනි. මීදුම පිරුණු කපොළු දොර විවර වන්නේ, සබරගමු පළාතේ නීල නිලන නිම්නයටය. දැන්, කඳු මුදුණේ සිට පල්ලම් බැසීමේ අදියරයි. කඳු දෙකක් මැදින් කැපූ ශිර්ෂයට කියන්නේ ‘බඩල් කට් – Double cut’ කියා ය.

මෙහි මැද, සුන්දරත්වය විඳින්නට ස්ථාන හතරක් පහක්ම ඇත. දිය ඇලි, ජල පහර, දිය කදුරු රැසකි. යකාගේ පඩිපෙළ නමේ අරුත අවබෝධ වන්නේය. පේන තෙක් දුර ඉරක් සේ ඇදෙන පාරක් කඳු අද්දරින් අතුරුදන් වේ. මීටර් 100 ක් පමණ උඩින් නැවත මතුවෙයි. විරුද්ධ පැත්තට දිවෙයි. කන්ද, කෙරවලින් අතුරුදන් වේ. මේ චිත්‍රය කඳු අග අඳින්නේ පඩිපෙළක සිතුවමකි.

තුන්වන කොටස, බටහිර හපුතලේ උඩවේරිය වත්ත ඇරඹෙන්නේ කඳුමුදුනේනි (ඩබල් කට්). සබරගමුව, වෙල්ලස්ස, දකුණු පළාත ඈතින් පෙනේ. තද බෑවුම අවසන් වන්නේ කි.මී. 7 කින් වී-කට් ස්ථානයෙනි. දසුන, නීල් පැහැ 7 කින් ඇඳි විසිතුරු සිතුවමකි. නැවතී, කියවිය යුතු චිත්‍රයකි. ඉහළම කොටසේ සිට, කුරගල චෛත්‍යය, උඩවලව ද, මැද කොටසේ දී හඳපානාගල වැව ද දැකිය හැකිය. ගල් අතුරා සුද්දා සැදු පාර තවමත් තවමත් ශක්තිමත්ය. ගල් මතුව ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ කඳු පද්ධතිය ස්කොට්ලන්තයේ Aonach Eagch ට සමාන කර සටහන් තබා ඇත. ලෝකාන්තයේ සිට පහළ පෙනෙන නිම්න දෙකක් අද්දරින් මාර්ගය පහළට ඇදෙයි. නිම්න දෙකේ දේශගුණය වෙනස් ය. ගස් වැල්, පස ද වෙනස් ය.

මහ වංගු හතරක නැවතී ඇස් සනසන්නට ඡායාරූප ගන්නට හැකිය. වැලි වංගුවේ (කඳවුරු බිම) නැවතී ගිමන් හැරිය හැක. කළු දොල (යාල්තැන්න) සීතලම සීතල දියෙන් නා වෙහෙස නිවාගත හැක. ලෝකාන්තයේ සිට පහළින් දකින ‘අනන්තය’ නැතිනම් නිම්නය දකුණු පසින් දැකිය හැකිය. ‘ස්කොට්ලන්ත කඳු වගේ යැයි’ සිහියට නංවනවා යැයි කියන්නේ හිසට උඩින් පෙනෙන කඳු වලල්ලය.

ලෝකාන්තයේ සිට ගලන දිය පහර වේලිඔයට වැටෙන්නේ බදුල්ල – කොළඹ පාරේ පාලම් දෙක හන්දිය ආසන්නයට ය. ජලය ගැඹුරුය. බරය! සීතල ය.

සිව්වන අවසන් කොටස, කළුදොළ පාලම් දෙකක් දිය පැන්නුමකි.

ගිමන් නිවන්නට කදිමය. කඳවුරුකරුවන්ට ජලය සපයන්නේය. වී-කට් කපොල්ල, මිනිසා කන්ද කපා සකස් කළ පාරකි. කළුපහන පැත්ත සහ උඩවේරිය පැත්ත සුළඟින් පවා වෙනස හඳුනාගත හැකි පැහැදිලි දේශගුණ කලාප දෙකකි. එක් පසෙක හුළඟ නම්, අනෙක් පස නිසසල ය.

වී-කට් සිට කළුපහන දක්වා බඹරකන්ද, වීරකෝන්ගම හරහා කළුපහනට තාර, කොන්ක්‍රීට් හා සිමෙන්ති බ්ලොක් අතුරා කුඩාම වාහනයක වුවත් ගමන් කළ හැකිය. අඩි 790 ක් වන ලංකාවේ උසම දිය ඇල්ල, බඹරකන්ද, වංගෙඩිගල කඳවුරු භූමියට මෙතැනින් යා හැකිය. රාත්‍රිය ගත කිරීමට, ආහාර ගැනීමට නවාතැන්පළ කිහිපයකි.

බඹරකන්ද දිය ඇල්ල ආසන්නයේ දැන් නවාතැන් පොළවල් රැසකි. නැරඹුම් ස්ථාන රැසකි. ලංකාවේ වෙනස් සංචාරක ස්ථානයන්ට සාපේක්ෂව අඩු මුදලකට ඒවායේ සේවා සැපයේ.

යකාගේ පඩිපෙළ ජීවිතයේ එකවරක්වත් වින්දනය කළ යුතු වික්‍රමයකි. අවාරයේ, වැසි සමයේ යකාගේ පඩිපෙළ සැබෑ ම වික්‍රමයකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment