පිටරට ගෙනිච්ච දරුවන්ට “බොරු අම්මලා” ගොඩයි!

215

ඩී.එන්.ඒ පරීක්‍ෂණ නොතිබුණානම් පිටරට අයත් රැවටෙනවා…

ලංකාවෙන් යුරෝපයට අරන් ගිය දරුවන් පහළොස් දහසක් වැදූ මව්වරු හොයන සානුකම්පිත කථාව..

අම්මලා හොයන්න රට දරුවන් ‘ඩී.එන්.ඒ. ශ්‍රී ලංකා’ සංවිධානය හදයි

අනේ අම්මේ අපි දරුකමට හදන්න දුන්නට කමක් නැහැ අපි තරහා නැහැ.

අනේ ඉන්න තැනක ඉඳන් අපිට කථා කරන්න.

අපි ඒ කථාව කාටවත් කියන්නේ නැහැ.

අපි අද ගොඩක් හොඳින් හිටියත් අපිට අද ඕන අපිව වදපු අම්මා හොයා ගන්න

වතු ආශ්‍රිත දෙමළ දරුවන්ද විශාල පිරිසක් යුරෝපයේ ඉඳන් අම්මලා හොයයි…

මව් සෙනහස යනු කිසිදා නොබිඳිය හැකි බැම්මකි. අපි මෙලොවට බිහි වන්නේ මවකගේ ආදරණීය රැකවරණය සමගිනි. මව්කුසේ දස මාසයක් බැඳුනු බැඳීම අප දිවිය පුරාම පවතී. මව් පදවිය තරම් උතුම් පදවියක් තවත් තිබේද?

මව් පදවිය කෙතරම් උත්තරීතර වුවද කුමන හේතුන් මත හෝ එවන් උත්තරීතර වූ මව් පදවිය ලබා ගැනීමට නොහැකිව අසරණව කම්පාවට පත්වන බොහෝ පිරිසක් අද ලොව පුරා සිටිති. එනිසා දරුවෙක් අරන් හදා ගෙන හෝ පුංචි දරු පැටියෙකුගේ සුරතල් සිනහා නාදයෙන් නිවස පුරවාගන්නට ඔවුන් පෙළඹෙති.

මේ කතාව ඉතා සංවේදීම කථාවකි. 1980 දශකයේ සිට ඉතා විශාල වශයෙන් යුරෝපීය රටවල දරුවන් නොමැති දෙමව්පියන් ලංකාවෙන් වැඩි වශයෙන් දරුකමට හදා ගැනීමට දරුවන් රැගෙන යනු ලැබූහ. එම දරුවන් අද සිටින්නේ තරුණ අවධියේය. ඇතැමුන් බොහෝ විට දෙමව්පියන්ව දරු සුරතල් බලමින් සිටිති. ඔවුන් ඉතා හොඳින් සැප සම්පත් විඳිමින් සුවබර දිවියක් ගත කරමින් සිටිති. නමුත් ඔවුන්ගේ සිත් තුළ බුරා බුර ඇවිලිනු ගිනි ජාලාවක් තිබේ. ඒ තමන් වැදූ අම්මා කවුදැයි කියා නොදැන සිටීමය.

මෙලෙස දරුකමට දරුවන් හදාගන්නට ගත් විදේශීය දෙමව්පියන් දරුවන් තරුණ වියට පත්වූ විට සත්‍ය හෙළි කරනු ලැබේ. ඒ තමන්ට දරු සෙනහසක් බැලීමට උපකාරි වූ ඒ අවස්ථාවේ ඔවුන් ලංකාවෙන් දරුකමට ගත් අවස්ථාවේ ලැබුණු උප්පැන්න සහතිකය පෙන්වති. මව යැයි කියනා අයගේ ජායාරූප ඇතු`ඵ ඔවුන් සන්තකයේ තිබෙන සියලු දේ ලබා දෙති.

පිටරට ගෙනිච්ච දරුවන්ට "බොරු අම්මලා" ගොඩයි!

එතැන් සිට ඔවුන් උත්සාහ කරන්නේ ලංකාවේ සිටින වැදූ මව සොයා දැකගන්නටය. ඇයට පිහිට වන්නටය. අද විදේශ රටක සිට හදාගත් ආදරණීය දෙමව්පිය රැකවරණයේ සිට කෙතරම් සැප සම්පත් වින්දද ඔවුන් සිය වැදූ මව දකින්නට දිවිය තරමටම ඇළුම් කරති. කුමන හේතුවක් මත හෝ ඔවුන්ව හදාගන්නට නොහැකිව දරුකමට හදා ගන්නට ඉඩ දුන්නට ඔවුන්ගේ සිත් තුළ වැදූ මව් කෙරෙහි කිසි තරහක් කේන්තියක් නැත.

ලංකාවෙන් විදේශ රටවල් සඳහා දරුවන් අරන් ගිය කථාව ඇරඹෙන්නේ 1980 වසරේ සිටය. 90 සහ 80 දශකවල ලාංකික දරුවන් බහුලව යුරෝපයට රැගෙන ගොස් තිබේ. 2010 වසර වන තෙක්ම ලංකාවෙන් මේ ආකාරයෙන් දරුවන් රැගෙන යෑම සිදුව තිබේ. විදේශීය දෙමව්පියන් විසින් යුරෝපයට දරුවන් පහළොස් දහසක් පමණ රැගෙන ගොස් තිබේ. වතු ආශ්‍රිත දෙමළ දරුවන් විශාල පිරිසක්ද ඒ අතර සිටිති. ලාංකීය මුස්ලිම් දරුවන් සු`ඵ පිරිසක්ද යුරෝපයේ මව්වරුන් සෙවෙනේ වැඩෙති. ඇතැම් ලාංකික මවුවරුන් මැද පෙරදිග වැනි විදේශ රටවලදි පවා සිය දරුවන් හදාගන්නට දි ඇත. එම දරුවන්ද අද මැද පෙරදිග රටවල සිට සිය මව්වරුන් සොයමින් සිටිති.

නෙදර්ලන්තය, ප්‍රංශය, සවිස්ටර්ලන්තය, ජර්මනිය, බෙල්ජියම, කැනඩාව, ස්විඩන්, ඔස්ටේ්‍රලියාව, ඔස්ටි්‍රයාව, එංගලන්තය, ඉතාලිය, ආදී යුරෝපීය රටවල් රැසකින් ශ්‍රී ලංකාවෙන් දරුකමට දරුවන් රැගෙන ගොස් තිබේ. ඒ අතරින් වැඩිම දරුවන් පිරිසක් රැගෙන ගොස් ඇත්තේ නෙදර්ලන්තයෙන්ය. ප්‍රංශයටද දරුවන් හදාගන්නට විශාල පිරිසක් රැගෙන ගොස් තිබේ.

මෙලෙස දරුවන් ලංකාවෙන් රැගෙන ගොස් ඇත්තේ අධිකරණය හරහා නීත්‍යනුකූලවය. එතෙර දෙමව්පියන් දරුවන් තරුණ වියට පැමිණි පසු ඔවුන් සන්තකයේ තිබෙන අදාළ දරුවාගේ මවගේ සියලු විස්තර ලබාදේ. සියලු තොරතුරු දැනගත් පසු ඔවුන් ඉතා සතුටින් සිය වැදූ මව පිළිබඳව හිතේ පුංචිම හෝ තරහක් කේන්තියක් නොමැතිව හදෙහි උතුරා යන මව් සෙනහසින් ඔවුන් සොයන්නට වෙහෙසති, ලක්ෂ ගණනක් මුදල් වියදම් කර ලංකාවට පැමිණි නමුත් ඔවුන් දැඩි ගැටලුවකට පත්වන්නේ එම අවස්ථාවේදීය.

බොහෝ විට ඔවුන් ලංකාවෙන් අධිකරණය හරහා රැගෙන යන අවස්ථාවෙදි ඔවුන්ට ලැබී ඇති උප්පැන්නය ව්‍යාජ ඒවාය. ඉදිරිපත්ව ඇති බොහෝ මව්වරුන් නියම මව නොවන බවය. ඇතැම් අතරමැදි පිරිස් නියම අම්මා අධිකරණයට ඉදිරිපත් නොකර ව්‍යාජ අම්මලා ඉදිරිපත් කරන්නට ඇත්තේ නියම අම්මා සිය තොරතුරු ලබා දීමට අකැමැති වීම නිසාවෙනි.

සංචාරක මාර්ගෝපදේශකවරයෙක් වන මීගමුවේ පදිංචි ඇන්ඩෲ සිල්වා මහතා වසර ගණනාවක සිට එතෙර සිටින දරුවන් හට සිය මව්වරුන් සොයන්නට වසර ගණනාවක සිට මහා සුවිසාල මෙහෙයක් සිදු කරමින් සිටියි.

ඔහු මේ වන වින එතෙර සිටින දරුවන් 200කට පමණ ආදරණිය අම්මාවරුන් සොයා දී තිබේ. තවත් දරුවන් 1200ක් පමණ ඇන්ඩෲ මහතාගෙන් තමන්ගේ අම්මලා සොයා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිති.

පිටරට ගෙනිච්ච දරුවන්ට "බොරු අම්මලා" ගොඩයි!

ඇන්ඩෲද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වන්නට වූවේය.

මම 2000 වසරේ ඉඳන් තමයි මේ ආකාරයෙන් එතෙර ඉන්න දරුවන්ට මව්වරුන් සොයලා දෙන්න පටන් ගත්තේ. හිතවත් නෙදර්ලන්ත ජාතිකයෙක් හරහා ලංකාවේ ඉන්න අම්මා කෙනෙක් හොයලා දෙන්න කියලා ඉල්ලීමක් ආවා. ඊට පස්සේ තමයි ඒ හරහා ලංකාවෙන් අරන් ගිය රට ඉන්න දරුවන් තමන්ගේ වැදූ මව හොයලා දෙන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් කරන්න පටන් ගත්තේ. රට ඉන්න දරුවන්ට මේ වන විට නියම අම්මලා හොයලා දෙන එන ඉතා අසීරු කරුණක් වෙලා තියෙන්නේ දරුවන් ලංකාවෙන් අරන් යද්දි ඒ අයට දීලා තියෙන ලියකිවිලි සහ ජායාරූප උප්පැන්න ගොඩක් ව්‍යාජ ඒවා. සමහරු ළමයින්ට උප්පැන්න සහතික දෙකක් තියෙනවා. ඇත්ත ඒක හොයා ගන්න අමාරුයි.

ඒ කාලේ දරුවා අරන් යද්දි අම්මගේ ජායාරූප ගහන් අරන් ගිහින් තියෙනවා. ඒ ජායාරූපවල ඉන්න අම්මලා හොයන් ඒ දරුවෝ ලංකාවට ඇවිත් බලද්දි එයාලා නෙවෙයි නියම අම්මා. ගොඩක් වෙලාවට ඒ ව්‍යාජ අම්මා කෙනෙක්.

කුමන හෝ හේතුවක් මත තම දරුවා හදාවඩා ගැනීමට අපහසු වීම නිසා තමයි මව්වරුන් කරන්නට වෙන කිසිම දෙයක් නැති තැන තම දරුවන් වෙනත් අය හට හදන්න දෙන්නේ ඇත්තේ. සමහර අය පන්සල්වල, ඉස්පිරිතාලවල, බස් නැවතුම්පළවල දුම්රිය පළවල්වල ආදි විවිධ ස්ථානවල තම දරුවන් දාලා ගිහින් තිබුණා කවුරු හරි අරන් ගිහින් දරුකමට හදයි කියලා. ඒ අම්මලා ගොඩක් වෙලාවට දන්නේ නැහැ ඒ දරුවන් දැන් යුරෝපීය රටක ඉතා හොඳින් ජීවත් වෙනවා කියලා.

සමහර වෙලාවට මෙවැනි අම්මලා රෝහලේදී හඳුනගත්ත අය. දරුවා ලැබුණු පසු සමහර රෝහල් සේවක සේවිකාවන්ගේ සහයෙන් ඇතැම් සංවිධානාත්මක පිරිසක් මේ දරුවන් ලැබුනම අරන් ගිහින් ළමා නිවාසයක හරි එහෙම නැතිනම් එවැනි පුංචි දරුවන් එකතු කරලා කවුරු හරි විදේශික දෙමව්පියන් දරුවන් දරුකමට ඉල්ලූවාම දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වෙලාවට උසාවියට එන්නේ නියම අම්මලා නෙවෙයි. ගොඩක් වෙලාවට බොරු අම්මා කෙනෙක්. එතකොට ගොඩක් වෙලාවට උප්පැන්න සහතිකත් ව්‍යාජ ඒවා. නියම අම්මාගේ නම නෙවෙයි තියෙන්නේ.

ඉතිං ඒ අම්මලා හොයන්න යද්දි අපිට නියම අම්මා හම්බ වෙන්නේ නැහැ. මේ දරුවන් රට ඉන්න දරුවන්ට දෙන්න කටයුතු කළ අතරමැදි අය දන්නවා නියම අම්මා කවුද කියලා. ගොඩක් වේලාවට ඒ අය රට ඉන්න දරුවන්ට ඇත්ත අම්මා පෙන්නන්නේ නැහැ. බොරු අම්මලා තමයි ගොඩක් වෙලාවට පෙන්නන්නේ. ඇත්ත අම්මා හෙළිකරන්නේ නැතිව රට ඉන්න දරුවන්ව රවටලා ඒ අය මුදල් ගරාගන්න ජාවාරමත් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අවුරුදු 10ක් පමණ තමන්ගේ අම්මා කියලා වෙනත් අයට මුදල් දීලා ගෙවල් හදලා දීලා, වාහන අරන් දීලා උදව් උපකාර කළාට පස්සේ රට ඉන්න දරුවා පස්සේ තමයි දන්නේ මේ තමන්ගේම අම්මා නෙමෙයි කියලා. ඒ වගේ අවස්ථා ගොඩක් සිදු වෙලා තියෙනවා. ඒ තත්ත්වය නිසා අපි සැබෑ මව සොයන්න ඩී. එන්. ඒ. තාක්ෂණයේ පිහිට ලබා ගන්නවා. යැයි ඇන්ඩෲ මහතා පවසා සිටියේය.

වතුකරයේ දෙමළ මව්වරුන්ගේ දරුවන් විශාල පිරිසක්ද මේ ආකාරයෙන් දැන් සිටින්නේ යුරෝපයේය. ඒත් එම මව්වරුන් සිතන් ඉන්නවා ඇත්තේ තවමත් එම දරුවන් ලංකාවේ ජිවත් වෙනු ඇතැයි කියාය. ඒ නිසා විශේෂයෙන් වතු ආශ්‍රිතව ජිවත් වෙන අය මේ පිළිබඳව අවධානය යොමු කළහොත් තමන්ට අහිමිව ගිය දරු සෙනහස නැවත ලබා ගැනීමට හැකි වෙනු ඇත. මේ නෙදර්ලන්තයේ දැනට ජිවත් වෙන ලංකාවෙන් දරුකමට හදා ගන්නට අරන් ගිය ඇමැන්ඩා ජැන්සෙන් මහත්මිය ‘ඉරිදා දිවයින’ට කියූ කථාවයි. මාව දරුකමට හදා ගන්න අරන් ගිහින් තියෙන්නේ ලංකාවෙන්. තවත් නංගි කෙනෙකුත් මගේ දෙමව්පියන් ලංකාවෙන් අරන් ගිහින් හදාගෙන තිබෙනවා. මාව ලංකාවෙන් අරන් ගිය දෙමව්පියන් ඉතා ආදරයෙන් මාව රැක බලාගෙන මට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. දැන් මම හොඳ සැපවත් ජීවිතයක් ගත කරනවා. මාව හදාගත්ත නෙදර්ලන්තයේ අම්මයි තාත්තයි මගේ ලංකාවේ අම්මගේ විස්තර උප්පැන්න සහතික එහෙම දුන්නා. හොයලා බලද්දි මට උප්පැන්න සහතික දෙකක් තියෙනවා. එක උප්පැන්න සහතිකයක් දඹදෙනියේ රෝහලේ, අනෙක කොළඹ කාන්තා රෝහලේ. තාත්තා කියන තැනට උප්පැන්නයේ ඉරක් ගහල තියෙන්නේ.

පිටරට ගෙනිච්ච දරුවන්ට "බොරු අම්මලා" ගොඩයි!

ඒ නිසා මම නියම අම්මා හොයන්න ඇන්ඩෲ මහත්තයාත් එක්ක වෙහෙසෙනවා. දඹදෙනිය රෝහලෙන් නිකුත් කළ උප්පැන්න සහතිකය අනුව මම අම්මා හොයන්න යද්දි එයා මිය ගිහින්. එයාගේ පුතෙක් මුණගැසුනා. එයාව ඩී. එන්. ඒ. පරීක්ෂණයට ලක්කළාම මගේ සහෝදරයා නෙවෙයි කියලා තහවුරු වුණා. ඊට පස්සේ ඒ ඩී. එන්. ඒ. වාර්තා වෙන කාට හරි ගැළපෙනවාද කියලා බලද්දි මගේ නෙදර්ලන්තයේ දෙමව්පියන් දරුකමට අරන් ගිහින් තිබ්බ නංගිගේ ඩී. එන්. ඒ. වාර්තාවට ගැළපුනා. ඒ අනුව මගේ නංගිගේ සහෝදරයන් සහ පවුලේ අය හොයා ගන්න හැකිවුණා. මම තවමත් වසර 10ක සිට මගේ අම්මව හොයනවා. මුණ ගැසුන අම්මලාගේ ඩී. ඒන්. ඒ. . පරීක්ෂාවට ලක් කරලා බලද්දි ඒ නියම අම්මා නෙවෙයි. ඒ නිසා මම මේ වනවිට ඇමන්ඩා ශ්‍රී ලංකා ඩී. ඒන්. ඒ. කියලා සංවිධානයක් හැදුවා. ලංකාවෙන් දරුකමට අරන් ගිය ගොඩක් අයගේ ඩී. එන්. ඒ. වාර්තා මගේ සංවිධානය සතුව තිබෙනවා.

ඒ නිසා විශේෂයෙන් 1980, 1990 කාලයේ රෝහලක, පාරක, බස් නැවතුම්පළක, එහෙම නැතිනම් කොහෝ හරි මඩමකට හරි දරුවන් දුන්න මව්වරුන් ඉන්නවානම් ඇන්ඩෲ මහතාගේ 077 2114 795 යන දුරකථන අංකයට හෝ මගේ ඩී. එන්. ඒ. ශ්‍රී ලංකා සංවිධානයේ [email protected] ඊමේල් ලිපිනයට දැනුම්දී අපිට කථා කරන්න. ඒ තොරතුරු ඉතා රහසිගතව තියා ගන්නවා. අපි දන්නවා අපේ අම්මලා අපිව ඒ විදිහට කරන්න ඇත්තේ ඔවුන් අසරණ වෙලා වෙන කරන්න දෙයක් නැති නිසා කියලා. අපි පොඩ්ඩක්වත් ඒ ගැන තරහා නැහැ. අපිට දැන් ඕන අපිව වැදූ අම්මලාට උදව් කරන්න, පිහිට වෙන්න, ආදරයෙන් රැකගන්න, අපේ සහෝදර සහෝදරියන් බලාගන්න. ඒ නිසා අනේ අපිට දැන්වත් කථා කරන්න අම්මේ යනුවෙන් ඇමෙන්ඩා මහත්මිය ඉතා සංවේදී කථාවක් පවසා සිටින්නට වූවාය.

මෙලෙස හමුවන මව්වරුන් පිළිබඳ සොයා බලා ඩී. එන්. ඒ. පරීක්ෂණයට අදාළ වැඩ කටයුතු සිදුකරනු ලබන්නේ ඇන්ඩෲ සිල්වා මහතා විසිනි. මේ වන විටද එතෙර දරුවන් බොහෝ දෙනකුට තම නියම මව සහ සහෝදර සහෝදරියන් සොයා ගන්නට මහා මෙහෙයක් ඇන්ඩෲ මහතා විසින් කර තිබේ.

ඒ අනුව අතරමැදි පුද්ගලයන්ට දැන් විදේශ දරුවන් හට මේ ඉන්නේ ඔයාගේ දරුවන් තමයි කියමින් රවටන්නන්ට දැන් හැකියාවක් නොමැත. පසුගිය කාලය පුරාවටම විදේශික දරුවන් බොහෝ දෙනකු තම මව සහ දරුවන් යැයි සිතා නිවාස සාදා අදාළ බඩු මුට්ටු අරන් දි විශාල මුදලක් වැය කළත් අවසානයේ ඇත්ත හෙළිවන්නේ වසර හත අටක් ගිය කල්හිය. ඒ ඩී. එන්. ඒ. පරීක්ෂණයට ලක්කිරීම නිසාය. ඇන්ඩෲ සිල්වා මහතා පවසන පරිදි ඩී. එන්. ඒ. පරීක්‍ෂණයට ලක් කළ පසු දරුවන්ට හමුවූ බොහෝ ලාංකික මව්වරුන් නියම මව නොවන බව තහවුරු වන ලදි. ඒ දරුවන්ද එතැන් සිට නැවතත් මහා පීඩාවක් විඳිමින් නියම මවක් සොයා වෙහෙසෙමින් සිටිති.

ඇතැම් දරුවන් තමන් ලංකාවෙන් දරුකමට හදාගන්නට ගෙන එන අවස්ථාවේ නිසි ආකාරයෙන් තොරතුරු නොමැතිව එරටට ගෙන ඒමට අවසර දීම නිසා අද සිය වැදූ මව්වරුන් සොයා ගැනීමට අපහසුව ඇති බව පවසමින් ඇතැම් අය එරට රජයට විරුද්ධව නීති මාර්ගයෙන් පවා කටයුතු කරමින් සිටිති..

පිටරට ගෙනිච්ච දරුවන්ට "බොරු අම්මලා" ගොඩයි!
ඇන්ඩෲද සිල්වා

බොරු අම්මාට රැවටුන නෙදර්ලන්තයේ පරුඩා හියුස්මන් මහත්මිය කීවේ මෙවැනි කථාවකි.

මගේ නම උප්පැන්නයට දාල තිබුණේ ගංගා කියලා. ඉපදිලා තියෙන්න රත්නපුරේ බඹරබොටුව අමුණුතැන්නේ. අම්මා රදාගේ බේබි නෝනා. මම අම්මාව හොයා ගන්න ගොඩක් මහන්සි වුණා. කොලොන්න මඩුවෙන්වෙලදි ඇයව හොයාගත්තා. මට පුදුම සතුටක් ඇති වුණා මගේ අම්මා හම්බ වුණාම. ඇයට උදව් උපකාර කළා. මම අපේ පවුලේ අයත් එක්ක ලංකාවට ආවා. එයාව එක්කරන් ගිහින් ගල්කිස්සෙයි, මීගමුවේයි මම හිටිය හෝටලේට එක්කරන් ගියා. මම නැවතුන මගේ කාමරේම එයාව දවස් ගාණක් තියන් ගොඩක් ආදරයෙන් ඇයට සැලකුවා. කෝකටත් කියලා මම එයාව ඩී. එන්. ඒ. පරීක්‍ෂණයට ලක් කරා. ඊට පස්සෙත් සල්ලි එහෙම දීලා උපකාර කළා. මාස එකහමාරකින් ඩී. එන්. ඒ. වාර්තාව ඇවිත් බලද්දි ඒ මගේ අම්මා නෙවෙයි කියලා තහවුරු වුණා. එතකන් ඇය බොරු කීවේ. එදා ඉඳන් මම තවමත් මගේ අම්මව අවුරුදු ගාණක් තිස්සේ හොයනවා. ඇයි අපිට බොරු කියලා රවට්ටන්නේ. ඩී. එන්. ඒ. පරීක්‍ෂණ නැතිනම් අපි හැමදාමත් බොරු අම්මාලට රැවටෙනවා යැයි පාරුඩා මහත්මිය පැවසුවාය.

මේ ආකාරයට විදේශික දරුවන් රැවැටූ ව්‍යාජ අම්මලා රැසක් ඩී. එන්. ඒ. පරීක්‍ෂණ නිසා මාට්ටු වී ඇත. 1985දි බේබි නෝනාට මේ ආකාරයෙන් ගැහැනු දරුවෙක් දී උසාවියට යවා ඇත්තේ වසර 20ක් පමණ රත්නපුර රෝහලේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කළ ප්‍රේමා හෙට්ටිආරච්චි මැණිකේ නමැති සාත්තු සේවිකාවයි. ඒ වෙනුවෙන් බේබි නෝනාට රුපියල් දෙදහසක් ලැබී තිබුණි. බේබි නෝනාගේම කුමාර නමැති දරුවෙක්ද එතෙරට දරුකමට දී තිබුණු අතර ඒ දරුවා පැමිණ බේබි නෝනා හමුව උදව් උපකාර කර තිබුණි. ඒ අතරම පාරුඩාගේ අම්මා ලෙස රඟපාමින් ඇයවද රැවටුවාය. මේ වන විට බේබි නෝනා ජීවතුන් අතර නැත.

ප්‍රේමා හෙට්ටිආරච්චි නමැති සාත්තු සේවිකාව රෝහලේදි හමුවන දරුවන් සිය නිවසට රැගෙන ගොස් මාස ගණනක් සිය නිවසේ තබා දරුවන් රට යවන්නට කටයුතු කරන පුද්ගලයන් හරහා එතෙර මව්වරුන්ට දී ඇත. ඒ වෙනුවෙන් බොහෝ විට උසාවියට ඉදිරිපත් කර ඇත්තේ බොරු අම්මලාය. 89 භීෂණ සමයේ ප්‍රේමා හෙට්ටිආරච්ගේ දරුවන් සිව්දෙනාම ඝාතනය කර තිබුණු අතර ඉන් පසු එම දරුවන් රඳවා ගෙන සිටි නිවස අසපුවක් සඳහා දී තිබේ. ප්‍රේමා හෙට්ටිආරච්චිද මේ වන විට ජීවතුන් අතර නැති අතර එම නිවසේ දරුවන් බලා ගත් කාන්තාවන් රැසක් සිටියහ. ඔවුන් මෙම දරුවන් පිළිබඳව බොහෝ තොරතුරු දන්නවා ඇත. මේ ගැන දන්නා අතරමැදි පුද්ගලයන්ද ඇත. ඒ තොරතුරු දැන්වත් පවසන්නේ නම් හෙට දිනයේදීවත් මෙම එතෙර දරුවන්ට ලංකාවෙන් තම මව සොයා ගැනීමට හැකිවෙනු ඇත. බිය නොවී හැකිනම් ඔබත් ඒ පිංකමට දායක වන්න.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment