උඹ මාර නිළිය බං – වැඩේට මාව ගත්තේ ඇයි කියලත් සමහරු අහල තිබුණා

366

මාත් එක්ක ගොඩක් අය තරහයි – ශෂී ඇන්ජලීනා

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ මියුසික් වීඩියෝවල බොහෝවිට දකින්නට ලැබෙන සුරූපී තරුණියක් තමයි ශෂී ඇන්ජලීනා කියන්නේ. ඇය නැති මියුසික් වීඩියෝවක් නොමැති තරම්ය. ශෂීව මේ දිනවල දකින්නට පුළුවන් විරාජ් පෙරේරාගේ පළමු ගීතය වන “උඹ මාර නිළිය බං” ගීතයෙන්ය. ශෂී මේ දිනවල රංගනයෙන් දායක වන නවතම කලා නිර්මාණ පිළිබඳව දැනගැනීමට අපි ශෂීට කතා කළා.

මේ දවස්වල වැඩිය දකින්න නැහැ. ඇයි ඒ?

මම මියුසික් වීඩියෝ බොහෝමයකට සම්බන්ධ වුණා. ඒවා ඉතින් බොහෝදුරට රූපවාහිනියට වඩා විකාශය වෙන්නේ යූ ටියුබ් නාලිකාවල. ඊට අමතරව තවත් ටෙලිනාට්‍යය තුනකට සහ චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා. ඒ හැම නිර්මාණයක්ම ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වෙයි.

උඹ මාර නිළිය බං - වැඩේට මාව ගත්තේ ඇයි කියලත් සමහරු අහල තිබුණා

මියුසික් වීඩියෝ කීයකට රංගනයෙන් දායක වෙලා තියෙනවද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයක් වෙනවා. මේ වෙනකොට මියුසික් වීඩියෝ 300 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ මාස දෙක ඇතුළතත් මියුසික් වීඩියෝ විස්සකට විතර රංගනයෙන් දායක වුණා.

ශෂී ඇන්ජලීනා කියන්නේ ලංකාවේ වැඩිපුරම මියුසික් වීඩියෝ කරපු නිළිය කියලත් සමහරු කියනවා. මේ කථාව ඇත්තක්ද?

මම හිතන්නේ ඔව්. මම වැඩිපුරම හිට් වුණේ රුවන් හෙට්ටිආරච්චි අයියාගේ “නොදැක ඉන්න බෑ” ගීතයේ වීඩියෝවෙන්. ඒ කාලේ ඇත්තටම වෙලාවක් නැති තරමටම මම කාර්යබහුල වුණා. ඉතිං මට තවමත් එහෙම අඩුවක් නැතිව ඒ විදිහටම ඇරයුම් ලැබෙනවා.

විරාජ් පෙරේරාගේ “උඹ මාර නිළිය බං” ගීතයට සම්බන්ධ වුණා නේද?

ඔව්. ඇත්තටම ඒක වෙනස්ම විදිහේ ගීතයක්. මුලින්ම අපි විරාජ්ට සුබපතන්න ඕනෑ. මේක එයාගේ පළවෙනිම ගීතය. මේ වෙනකොට මිලියනයකටත් වැඩිය ප්‍රමාණයක් ටික් ටොක් හරහා එය නරඹලා තියෙනවා. මම හිතනවා අපි හොඳ නිර්මාණයක් කරලා තියෙනවා කියලා. මියුසික් වීඩියෝ එක්ක මීට කලින් ඒකාකාරීවමනේ හිටියේ. හැබැයි මේ ගීතය ඊට වෙනස් දෙයක්.

උඹ මාර නිළිය බං - වැඩේට මාව ගත්තේ ඇයි කියලත් සමහරු අහල තිබුණා

විරාජ් මේ “උඹ මාර නිළිය බං” සින්දුව කිව්වේ ශෂීටම ද?

නැහැ. මම හිතනවා හැමෝම විවිධ දක්ෂතා තියෙන රංගන ශිල්පිණියෝ. පොදුවේ ගත්තහම ඉතිං හැමෝම රංගන ශිල්පිණියෝ තමයි නේද.

ගීතය මේ වෙනකොට බොහොම ජනප්‍රියයි නේද?

ඔව්. ඒක දවසක් දෙකක් ඇතුළත ප්‍රේක්ෂකයෝ අතරට ගොඩක්ම ගියා. ටික් ටොක් හරහා තමයි වැඩිපුරම නරඹලා තිබුණේ. මේ වීඩියෝව වෙනස්ම වූ අත්දැකීමක්. හොඳ නිර්මාණයක් කියලා මම හිතනවා.

විරාජ් එක්ක මියුසික් වීඩියෝ කීයක් විතර කරලා තියෙනවා ද?

විරාජ් එක්ක මියුසික් වීඩියෝ දහයකට වැඩිය රංගනයේ යෙදිලා තියෙනවා.

මේ වීඩියෝ එකට විරාජ් ආරාධනා කළාම මොකද හිතුණේ?

මගෙන් හොඳ නිර්මාණයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතලා විරාජ් මාව යෝජනා කරන්න ඇති කියලා මම හිතනවා. ඒකට ඇත්තටම සතුටුයි. අපි ෆීල්ඩ් එකට ආපු කාලේම මට මතකයි මම විරාජ් එක්ක වීඩියෝ කිහිපයක්ම කළා. එයා මට හමුවුණු හොඳ යාළුවෙක්. මට හරිම සතුටක් දැනුනා. එයා එදා ඉඳලා අද වෙනකම්ම ඒ යාළුකම තියා ගනිපු එකට. ඇත්තටම ආඩම්බරයි.

වීඩියෝ එකට ශෂීව ගත්ත කියලත් බොහෝ අය විරාජ් එක්ක තරහවෙලා නේද?

මාව ගත්ත කියලමත් නෙවෙයි. හැබැයි වීඩියෝ එක රිලීස් වුණාම ගොඩක් යාළුවෝ විරාජ්ට කියලා තියෙනවා අනේ ඔයා අපිව ගත්තේ නැහැනේ කියලා.

ශෂී වැඩිපුරම කැමැති මියුසික් වීඩියෝවල රඟපාන්නද?

මෙහෙමයි” මම මියුසික් වීඩියෝවල ගොඩක්ම හිටියට මම ටෙලිනාට්‍යයවල රඟපාන්න අකැමැත්තක් නැහැ. හැබැයි අර එකම දේකට කොටුවෙලා ඉන්න කොට ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න මට නොහැකි වුණා. ඒකාකාරීව ඉන්නකොට මිනිස්සුන්ට එපා වෙනවා නේ. ඒ නිසා තමයි මම පොඩි කාලයක් නිහඬව ඉඳලා ආපහු ටෙලිනාට්‍ය දෙක තුනකටත් සම්බන්ධ වෙන්න තීරණය කළේ.

මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක රඟපාපු නිසා ශෂීගෙම කියලා ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ඇත්තටම මට චැනල් වලිනුත් කියනවා ගීතයක් කරන්න කියලා. මෙහෙමයි අවංකවම කිව්වොත් මම තවම කිසිම ගීතයක් ගායනා කරල නැහැ. ගීත ගායනා කරන්න මගේ හිතේ බයක් තියෙනවා. මම හිතෙනවා ඒ බය නැති කරගෙන ගීත ගායනා කරන්න පුරුදු පුහුණු වෙලාම මම ඒක කරනවා කියලා. අපි බලමු ඉදිරියේදී.

ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලි වලටත් මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනව ද?

ඇත්තටම ඔව්. මම දැනුවත්ව නම් කිසිම කෙනකුට කිසිම වරදක් කරල නැහැ. හැබැයි මාත් එක්ක ගොඩක් අය තරහයි. ඒකට හේතුව මම දන්නෙත් නැහැ. කිසිම කෙනකුට මම වැරැද්දක් නොකර ඇයි ඒ අය මට එහෙම කරන්නේ කියලා කලකිරීමක් තියෙනවා.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ ජීවිතය ගැන මට හරිම සතුටුයි. 2021 නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ දේවල් එක්ක හරිම සතුටක් තියෙන්නේ. යම් යම් තැන්වල කළකිරීමක් තිබුණත් ගොඩක් හොඳ දේවල් මගේ ජීවිතයට ලැබුණ නිසා මට ගොඩක් සතුටුයි.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment