ඇසට ගැළපෙන කණ්ණාඩි යුගලක්

387

ඇස් කණ්ණාඩි පළඳින්නේ පෙනීමේ දුර්වලතාවයක් හේතුවෙනි. නමුත් ඇතැම් දෙනා පවසන්නේ තමා පැළඳි ඇස් කණ්ණාඩි යුගලය නිසා පැවැති පෙනීමත් අඩුවී ඇති බවය. එසේත් නැතිනම් තමාට වෙනදාට වඩා පෙනීමේ නුහුරු බවක් මතුවන බවය. මෙවැනි අවස්ථාවන්හිදී ඔවුන් බොහෝවිට සිතන්නේ තවම තමා ඇස් කණ්ණාඩි යුගලයට හුරුවී නැතැයි කියාය.

ඇස් කණ්ණාඩි පැළඳීම

යම් පුද්ගලයෙක් ඇස් කණ්ණාඩි යුගලක් පළඳින්නේ පෙනීමේ දුර්වලතාවයක් හේතුවෙනි. එය දුර පෙනීමේ හෝ ළඟ පෙනීමේ දුර්වලතාවයක් විය හැකිය. එසේත් නැතිනම් එම දුර්වලතාවයන් දෙකම නිසා විය හැකිය. එම දුර්වලතාවය නැති කිරීමට අදාළ කාච සහිත කණ්ණාඩි යුගලයක් අක්‍ෂි වෛද්‍යවරයෙක් හෝ දෘෂ්ටි විශේෂඥවරයෙක් විසින් නිර්දේශ කරනු ලබයි. ඒ සඳහා ඇස් පෙනීමේ දුර්වලතාවය පවතින පුද්ගලයාගේ ඇස් දෙක පරීක්‍ෂා කර ඇසට ලැබෙන ආලෝක කිරණ පිළිබඳ පරීක්‍ෂාවක්, වර්ණ හඳුනා ගැනීමේ පරීක්‍ෂාවක්, පැති පරීක්‍ෂාවක් ආදිය සිදුකරනු ලබයි.

ඊට අමතරව ඇස් දෙකෙහි පෙනීමට බලපා ඇති වෙනත් දුර්වලතා ඇත්නම් ඒවා ද පරීක්‍ෂාවට ලක් කරයි.

මෙලෙස සිදුකරන පරීක්‍ෂාවන්ගෙන් පසු හඳුනා ගනු ලබන ඇස් පෙනීමේ දුර්වලතාව අනුව ඇස් කණ්ණාඩි යුගලය සකස් කිරීමේදී එම පුද්ගලයාගේ වෘත්තියට ගැලපෙන පරිදි එය සකස් කිරීමටද අවධානය යොමු කරයි.

කාර්යාලයක් තුළ ලිපිකාර සේවය කරන අය සඳහා නිතර පරිගණකය වෙත දෑස් යොමුකරමින්, රැකියාවේ නිරත වෙන අය සඳහා ගුරු වෘත්තියේ යෙදෙන අය සඳහා දුර පෙනීම, ළඟ පෙනීම, මැද පෙනීම ආදී ලෙසින් සලකා බලා ඊට සුදුසු කාච සහිත ඇස් කණ්ණාඩි සකස් කළ යුතුය.

රියැදුරු වෘත්තීය, පෑස්සුම් කටයුතුවල, වඩුවැඩ ආදී වෘත්තීන්හි නිරත පුද්ගලයන්ට ඔවුනගේ වෘත්තියට ගැලපෙන ලෙස සහ ඔවුනගේ අවශ්‍යතාවය අනුව කාච සකස් කළ යුතු වේ.

වර්තමානයේ ඒ සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන උසස් මට්ටමේ කාච සහිත ඇස් කණ්ණාඩි සකස් කළ හැකිය. එබැවින් පෙනීමේ දුර්වලතාවය ගැන පමණක් සලකා බලා ඇස් කණ්ණාඩි සකස් කිරීම සිදුකරන්නේ නැත.

වර්තමානයේ පවතින තාක්‍ෂණය අනුව එක් කාචයකට කාච දහසකින් පමණ සිදුකරන පෙනීමේ හැකියාව වර්ධනය කරන පහසුකම් ලබාදිය හැකිය. එවිට දුර බැලීමට, ළඟ බැලීමට හෝ පැති පෙනීම සඳහා කණ්ණාඩි යුගලය ගැලවීමට හෝ කණ්ණාඩි යුගලය පැළඳීමට ආදී ලෙසින් වෙහෙස වීමට අවශ්‍ය නැත. ඒ සඳහා ඇසට පහසුවන අයුරින් කණ්ණාඩි යුගලක් සකස් කළ හැකිය. අප ඇස් කණ්ණාඩි සකස් කළ යුත්තේ ඇසට අවශ්‍ය පරිදිය. එසේ නැතිව කණ්ණාඩි යුගලයට අවශ්‍ය පරිදි ඇස සකස් වීමට නොවේ.

මෙලෙස නිවැරදිව සකස් කළ ඇස් කණ්ණාඩි යුගලක් පළමුවරට පළඳින පුද්ගලයකුට ඒ සඳහා හුරුවීමට එතරම් කාලයක් ගත වන්නේ නැත. උපරිම වශයෙන් දින දෙකකින් පමණ ඊට හුරුවිය හැකිය.

ඇස් කණ්ණාඩි පැළඳි විට විවිධ අපහසුතා මතුවන බව පවසන්නේ නිසි ලෙස ඇස් පරීක්‍ෂාවකින් තොරව සකස් කළ කණ්ණාඩි භාවිත කරන විටදීය.

ඇසට ගැළපෙන කණ්ණාඩි යුගලක්

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.
අයිකෙයාර් දෘෂ්ඨි විශේෂඥ විදුහලේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ නරේෂ් ප්‍රදාත්
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment