පිටරට යවන මුවාවෙන් සංවිධානාත්මක පිරිසක් කෝටි ගණන් මුදල් ගරලා

532

2023 වසර තුළ උතුරේ පුද්ගලයන් 139දෙනකු විදේශ රටවලට යවන බව පවසමින් සංවිධානාත්මක පිරිස් විසින් රුපියල් කෝටි 254ක මුදලක් වංචා කොට ඇතැයි උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

මීට වඩා සිද්ධීන් ප්‍රමාණයක් එම වසර තුළ උතුරු පළාතේ සිදුව ඇතත් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත්තේ මෙම මුදල් ප්‍රමාණය සඳහා පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරේ පොලිසිවලට ලැබී ඇති මෙම පැමිණිලිවලට අනුව යාපනයේ පොලිසි වෙත පැමිණිලි 44ක් ලැබී ඇති අතර රුපියල් කෝටි 51 ක මුදලක් වංචා කිරීම වෙනුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ රුපියල් කෝටි 49ක මුදලක් වංචා වී ඇති අතර ඒ වෙනුවෙන් ලැබී ඇති පැමිණිලි 17ක් වෙනුවෙන් පුද්ගලයන් 8 දෙනකු අත්අඩංගුවට පත්ව ඇත.

වවුනියාවේ දී රුපියල් කෝටි 116ක මුදලක් පුද්ගලයන් විදෙස් රටවලට යැවීම සඳහා ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසි වෙත ලැබුණු පැමිණිලි 53ක් සඳහා පුද්ගලයන් 31 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් පොලිස් කලාපය තුළ රුපියල් කෝටි 33ක වංචාවක් සිදුව ඇති අතර, ලැබුණු පැමිණිලි 20ක් මත සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිළිනොච්චිය පොලිස් බල ප්‍රදේශයේ රුපියල් කෝටි 5ක වංචාවක් සිදුව ඇති බවට ලද පැමිණිලි 5ක් මත සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදෙස් රටවල්වලට යෑම පිණිස ලබා දී ඇති මෙම මුදල් ආපසු ලබාගැනීම ඉතා අසීරු බැවින් මින් ඉදිරියට රජයේ ලියාපදිංචි නොමැති කවර හෝ ආයතනයටකට මුදල් ලබාදීමෙන් වලකින ලෙසයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment