සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරනවා

71

හිල්ටන් යාල රිසෝර්ට් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරනවා

එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබාගැනීම අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා ඊට දායකවන සියලු‍ පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද යාල ප්‍රදේශයේ අලු‍තින් විවෘත වන මෙම හෝටලය ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස විවෘත කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙමගින් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ නව දියුණුවක් ඇති කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳ මම මෙල්වා සහ හිල්ටන් සමූහයට ස්තුතිවන්ත වෙනවා.

සංචාරක කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් ඇති කරමින් එය ඉදිරියටට ගෙනයාම අපේ අරමුණයි. ඒ සඳහා සියලු‍ දෙනා දායක කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.මෙම යාල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවරධනය කිරීමේදී එක් ප්‍රදේශයක් ලෙස එය සංවර්ධනය කළ යුතුයි. උඩවලව, කුමන මෙම සියලු‍ ස්ථාන එකිනෙකට සම්බන්ධවයි පවතින්නේ. උඩවලව වන අලි මංතීරුව කුමන දක්වා විහිදෙනවා. මේ ප්‍රදේශ එක කලාපයක් ලෙස සංවර්ධනය කළ යුතුයි.

ඒ වගේම මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම්ද වැඩිදියුණු කළ යුතු වෙනවා. මෙම යාල කලාපය සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙන්ම සංචාරක අමාත්‍යවරයාගෙනුත් එම අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.

සංචාරකයන්ට කොළඹින් යාත්‍රාවකට නැග, පුත්තලමට පැමිණ දිනක් හෝ දෙකක් විල්පත්තුවේ ගතකර ආපසු යා හැකි අන්දමින් අප එම පහසුකම් වැඩිදියුණු කළයුතුයි. ඒ වගේම සංචාරකයන්ට නව අත්දැකීමක් ලැබෙන අයුරින් වනජීවි රක්ෂිත නිර්මාණය කිරීමේ අවස්ථාව පවතිනවා. ඉන්දියාවට සහ නේපාලයට ගිය විට එවැනි ස්ථාන දැකබලාගත හැකියි. අප මේ පිළිබඳ අවධානය යොමු කරමින් නව සැලැස්මක් සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

අප මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගත යුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් හතර පස් ගුණයකින් වැඩි කර ගත යුතුයි. 1981 දී මම මාලදිවයිනේ සිදු කළ සංචාරයේදී සංචාරකයින්ගෙන් එම රටට ලැබුණු ආදායම ඩොලර් 25 යි. අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු පිරිසක් තමයි එදා මාලදිවයිනට පැමිණියේ. අද අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වන ලක්ෂ 25කට සමාන සංඛ්‍යාවක් මාලදිවයිනටද පැමිණෙනවා.

මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීමද මට පැවරී තිබුණා. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම් ලබා ගැනීමට කාලයක් ගත වෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් අපට කඩිනමින් එමදායකත්වය ලබා ගත හැකියි. ඒ නිසා අපේ අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගෙන ජනතා අවශ්‍යතා සපිරිමයි. මේ වසර අවසන් වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර පිරී යන තරමට සංචාරකයන් පැමිණිය හැකියි. එය දැන් සිදු වෙමින් පවතිනවා. ලබන වසර වන විට සංචාරකයන්ගෙන් කාමර පිරී යාම පමණක් නොව ඉන් ලැබෙන ආදායම දෙගුණයක් බවට පත්කරගත යුතුව තිබෙනවා.

මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා. නත්තල් සමයේදී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙන්ම ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් මෙන්ම සංගීතවේදීන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. බටහිර ලෝකයේ ප්‍රධාන සංගීතඥයෙක් වන ඇන්ඩ්‍රේ බුචෙලි ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ වගේම තමන්ගේ නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැක නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබාදීමට රජය කටයුතු කරනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මෙරට නව සංචාරක ප්‍රවර්ධන සංකල්පය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවුවක්. මෙම සංකල්පය මගින් සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ඉලක්ක සපුරාගත හැකි බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව සංචාරකයන්ට නිශ්චිත ගමනාන්තයක් සහිත රටක් විය යුතු නැහැ. නමුත් ශ්‍රී ලංකාව සුහදශීලීභාවය සහ

අගන්තුක සත්කාර ඉහළින් ඇති රටක් විය යුතුයි. විදේශිකයන් විශාල පිරිසක් අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම ආරම්භ කර ඇත්තේ ඔවුන්ට මෙරට රැඳී සිටීමට ඇති කැමැත්ත සහ ආශාව නිසයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඇති අපගේ උණුසුම් ආගන්තුක සත්කාරය ඉදිරියටත් පවත්වා ගෙන යාමට අප වග බලා ගත යුතුයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් යන මහත්වරුන්ද හිල්ටන් හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ගිනිකොණ දිග ආසියාව) ජෙමි මීඩ් (Jamie Mead), ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ආසියා සහ ඕස්ටේලියා) ජොශ් රොබර්ට්ස් (Josh Robert) ශ්‍රී ලංකා හිල්ටන් හෝටල් සමූහයේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී මනේෂ් ප්‍රනාන්දු, හිල්ටන් යාල රිසෝර්ට් සාමාන්‍යාධිකාරී ගීතාංජලී චක්‍රිවර්ති යන මහත්ම මහත්මීහුද (Melwa Hotels) & Resorts Private Limited හි අධ්‍යක්ෂ මුරුගා පිල්ලෙයි මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාව එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment