නෑනාට අතවර කළ මස්සිනා දසවසරක් දඟගෙට

151

ලක්‍ෂ දෙකක් වන්දි ගෙවීමටත් නියෝග

සිය බිරිඳගේ බාල සහෝදරිය බලහත්කාරයෙන් කැලයකට රැගෙන ගොස් ඇයට කාලයක් තිස්සේ අතවර කිරීමේ චෝදනාවට වැරැදිකරුවකු වූ මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයකුට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් මහතා විසින් වසර දහයක බරපතළ වැඩ සහිතව සිරදඬුවමක් ඉකුත් 22 දා නියම කළේය.

වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම තවත් වසර තුනකින් දීර්ඝ වන බවද සඳහන් කළේය.

ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 20,000ක මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි.

2012 මාර්තු මස 05 වෙනිදා මෙම දැරියව නගරයට කැටුව යමින් සිටියදී විත්තිකරු විසින් ඇයව අසල කැලයකට රැගෙන ගොස් මුල්වරට අතවර සිදුකොට ඇති අතර දැරියව බියගන්වා පසුව ඔහු ඉතා දීර්ඝ කලයක් ඇයට අතවර සිදුකළ බවට චෝදනා ගොනු වී තිබුණි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එම අධිකරණයේදී කාලයක් මෙම නඩුව විභාග වීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ නඩුව වවුනියාව මහාධිකරණය වෙත මාරු කොට තිබිණි.

විත්තිකරුට එරෙහිව නඟා තිබූ සියලුම චෝදනා ඉදිරිපත් වූ සාක්ෂි හා අධිකරණ වෛද්‍ය නිලධාරීයාගේ නිගමන මත සැකයකින් තොරව ඔප්පුවීම නිසා විත්තිකරුට මහාධිකරණ විනිසුරුවරයා විසින් දඬුවම් නියම කළ අතර විත්තිකරුගේ පාර්ශ්වයෙන් කිසිවකුත් අධිකරණය වෙත පැමිණ නොසිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment