දරුවා මියගියේ වම දකුණ පැටලී කළ සැත්කමකින්ද? – රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කමකදී

392

JMO වාර්තාව පදනම් කරගන්නැතුව විමර්ශන කරන්න
සැත්කම කළ දොස්තර ගැනත් පුළුල් විමර්ශනයක් – මහෙස්ත්‍රාත්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී නරක්වූ වකුගඩුවක් ඉවත් කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්මයකදී අවුරුදු 3 මාස 3 ක් වයසැති පිරිමි දරුවකුගේ නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම මුල්කරගෙන එම දරුවා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලුම වෛද්‍ය වාර්තා සහ රෝග නිශ්චිත වාර්තා පුළුල්ව අධ්‍යයනය කර එකී මරණය සම්බන්ධයෙන් සහ එම ශල්‍යකර්මය සිදුකළ වෛiවරයා පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (02 දා) බොරැල්ල පොලිසියට නියෝග කළාය.

අත්වැරදීමකින් වකුගඩු දෙකම ඉවත්කර ඇති බවට මින් පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ එම ශල්‍යකර්මයේදී ඉවත් කළ නිරෝගී වකුගඩුවට කුමක් සිදුවූයේ දැයි අනාවරණය කරගැනීම සඳහා ද විමර්ශන සිදුකරන ලෙසට ද පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එකී මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළේ යැයි කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව පදනම් කරගෙන එකී විමර්ශන සිදු නොකර ස්වාධීන සාක්‍ෂි ඔස්සේ විමර්ශන සිදු කරන ලෙසට ද පොලිසියට නියෝග කළේය. එකී විමර්ශන සඳහා එම දරුවාගේ රෝග නිශ්චිත වාර්තා ඇතුළු සියලු වෛද්‍ය වාර්තා පොලිසියට ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පසුගිය 29 වැනිදා සිදුකළ ස්ථානීය පරීක්‍ෂණයෙන් අනතුරුව දරුවාගේ මරණය නිශ්චිත කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙසට නියෝග කළ බවත් එකී නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව එම දරුවාට උපතින්ම පිහිටා ඇත්තේ එක වකුගඩුවක් බව සඳහන් වන්නේ යැයි පොලිසිය අධිකරණයට පැවසීය.

එකී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිත වාර්තාවක් බවත් දරුවා රෝහලට ඇතුළත් කළ පසු හා ඊට පෙර සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ ඇතුළු ස්කෑන් පරීක්‍ෂණ 15 ක් පමණ සිදුකර ඇති බවත් එකී සියලු පරීක්‍ෂණවලදී එම දරුවාට වම සහ දකුණ ලෙස වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථවී ඇති බවත් පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් මහතා කරුණු දැක්වීය. එබැවින් පෙර කී අධිකරණ වෛද්‍යවරයා එම දරුවාට උපතින්ම එක වකුගඩුවක් පමණක් පිහිටා ඇති බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන කරුණු සම්බන්ධයෙන් මෙන්ම නිරෝගී වකුගඩුව ද ඉවත් කළේ මන්දැයි පුළුල්ව විමර්ශන කළ යුතුව ඇතැයි ද පැවසූ නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් මහතා එය අත්වැරදීමකින් සිදුවූවක් නොව මිනිස් ඝාතනයක් බවට බලවත් සැකයක් පවතින්නේ යැයි ද පැවසීය.

එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මින් පෙර ද අධිකරණය හමුවේ පැවැති හදිසි මරණවලට අදාළ නඩු කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන්ට පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම දරුවාට තිබුණේ එක් වකුගඩුවක් බව දන්නේ නම් එයත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් මෝඩ දැයි කියා තමාට සිතාගත නොහැකි යැයි ද පැවසුවාය.

අගතියට පත් එම දරුවාගේ දෙමව්පියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අස්ලම් අලව්ඩීන්, නීතිඥ රුස්ඩ් හබීබ්, නීතිඥ නාමල් රාජපක්‍ෂ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ වයි. එල්. එම්. යූෂුෆ් මහතා පෙනී සිටි අතර උප පොලිස් පරීක්‍ෂක දයාසිරි මහතා බොරැල්ල පොලිසිය නියෝජනය කළේය. 2022.12.24 වැනිදා සිදුකළ එම

ශල්‍යකර්මයෙන් පසුව රුධිර කාන්දුකරණය සිදුකරමින් සිටි මුහම්මද් හම්දි ෆස්ලිම් නමැති එම දරුවාගේ දෙමාපිය ඥාතීහු විශාල පිරිසක් ද ඊයේ (02 දා) අධිකරණයට පැමිණ සිටියහ.

එම දරුවාගේ මව ඊයේ (02 දා) විවෘත අධිකරණ හමුවේ පැවැති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබාදුන් අතර වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 9 වැනිදා දක්වා කල් තැබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment