භික්ෂුන් වහන්සේලාට අපහාස කරන වැඩපිළිවෙළක් දියත් වෙලා

34

බෞද්ධ ජනතාව අවදියෙන් සිටිය යුතු බව අස්ගිරි මහා නාහිමියෝ පවසති

භික්ෂූන් වහන්සේ නිර්ධය ලෙස විවේචනය කරමින් උන්වහන්සේලාට නොයෙක් ආකාරයෙන් අපහාස කිරීමේ වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් බෞද්ධ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසති.

සමාජ විරෝධී ක්‍රියාවන් හි නිරත බහුතරයක් දෙනා දහම් අධ්‍යාපනයක් තබා භික්ෂු ඇසුරක් නොලැබූ අය බව ද උන්වහන්සේ පැවසූහ.

මැතිවරණ කාලයක් ආසන්න වෙත්ම බුදුවරු, බෝසත්වරු යැයි කියාගත් පුද්ගලයින් මතුවන ස්වරූපයක් රටේ දක්නට ලැබෙන බවත් මේවාට මුලා නොවී ජනතාව නිවැරදි මාවතට යොමු කිරීම සඳහා මහාසංඝරත්නයට සුවිශාල කාර්යභාරයක් පැවරෙන බවත් පසුගිය කාලවකවානුව දෙස බැලීමේ දී මේ ආකාර එක් එක් උවදුරු මැතිවරණ කාලයක් ආසන්න වනවිට රටට පාත්වන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ යැයි ද උන්වහන්සේ කීහ. පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනකට ඊයේ (29දා) පස්වරුවේ එක් වෙමින් මහනාහිමියෝ මේ බව පැවසූහ.

මත් උවදුරින් රට මුදාගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ වැඩබලන පොලිස්පතිවරයා විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් එය අවසානයක් කරා ගෙන යෑමට ඔවුන්ට කාගේත් සහාය ලැබිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. මේ වනවිට පාසල් දරුවන් පවා මත් උවදුරට ගොදුරු වෙමින් තිබෙන බවත් ඉන් රට මුදාගැනීම ජාතික අවශ්‍යතාවක් බවත් මහනාහිමියෝ පැවසූහ.

පාතාලය ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන බොහෝ දෙනෙකු දේශපාලනඥයින්ගේ ඇසුරේ පසුවන්නන් බවත් ඔවුන් විසින් සිදු කරන සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ වගකීමෙන් දේශපාලනඥයින්ට නිදහස් වීමට නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ.මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, ලියන්වල ශාසනරතන යන හිමිවරු ද සහභාගි වූහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment