උක්ත වචන ද්විත්වය ම ජර්මන් වචන ද්විත්වයකි. ඒවා සරල ව ඉංගිරිසියට පරිවර්තනය කරන සඳ, බිල්ඩුන්ග්ස්රෝමන් යන්න “හැදී වැඩීමේ නවකතාව” ලෙස ද, ක්‍යුන්ස්ට්ලර්රෝමන් යන්න “කලාකරුවා ගේ නවකතාව” ලෙස ද අර්ථ දැක්විය හැකි ය.

බිල්ඩුන්ග්ස්රෝමන් යනු කුමක්ද? බිල්ඩුන්ග්ස්රෝමන් යනු නවකතාවක ප්‍රධාන චරිතයෙහි ළමා වියේ සිට වැඩිහිටි විය අතර කාල පරිච්ඡේදය තුළ සිදුවන මානසික සහ සදාචාරාත්මක පරිණාමය පිළිබඳ ව අවධානය යොමු කරමින් ලියැවී ඇති නවකතා ය. ඒවායෙන් මූලිකව ම අවධානය යොමු වන්නේ චරිතයක් වෙනස්වීම කෙරෙහි ය. ක්‍යුන්ස්ට්ලර්රෝමන් යන්න බිල්ඩුන්ග්ස්රෝමන් හි ම උප ශානරයකි. ප්‍රධාන වශයෙන් ම බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දර සහ ක්‍යුන්ට්ස්ලර්රෝමන් කතන්දරවල වෙනස පවතින්නේ එහි අවසානයෙහි ය යන්න විචාරක මතය යි. ඔවුනට අනුව ක්‍යුන්ට්ස්ලර්රෝමන් කතා නායකයා එදිනෙදා ජීවිතය අතැර දමන්නෙකි; එනමුත් බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරයේ කතානායකයා සාමාන්‍ය එදිනෙදා ජීවිතයකට හැඩගැසෙන්නෙකි. ක්‍යුන්ට්ස්ලර්රෝමන් යනු බිල්ඩුන්ග්ස්රෝමන් හි ම උපශානරයක් කියා පිළිගැනෙන හෙයින්, බොහෝ අවස්ථාවන්වල දී ක්‍යුන්ට්ස්ලර්රෝමන් කතන්දර බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දර යටතට ගැනෙනු ලැබෙයි. සරල ව ම, සෑම ක්‍යුන්ට්ස්ලර්රෝමන් නවකතාවක්ම බිල්ඩුන්ග්ස්රෝමන් නවකතාවකි; එහෙත් සෑම බිල්ඩුන්ග්ස්රෝමන් නවකතාවක් ම ක්‍යුන්ට්ස්ලර්රෝමන් නවකතාවක් නොවෙයි.

බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරවල යටගියාව පිරික්සා බලන කල, බොහෝ විචාරකයන් ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් වූ බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරය ලෙසින් නම් කරනුයේ 1795 – 1796 කාල පරිච්ඡේදය තුළ ප්‍රකාශයට පත් වූ යොහාන් වුල්ෆ්ගන්ග් ෆොන් ගොයිත අතින් රචනා වූ Wilhelm Meisterzs Apprenticeship ය. එය රචනා වී ඇත්තේ ව්‍යාපාරිකයෙකු වී නොසතුටින් සිටි තැනැත්තෙකු සතුට කුමක්දැයි සෙවීම වටා ය. 1824 වසරේ දී එය බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත් වූවා ට පසු ඉමහත් ජනප්‍රියත්වයක් එම පොතට ලැබුණේ ලු. එහෙත් එහි ප්‍රකාශයට පෙර බිල්ඩුන්ග්ස්රෝමන් ශානරය යටතට ගත හැකි හෝ, බිල්ඩුන්ග්ස්රෝමන් නවකතාවක සේයාවක් තිබූ කතන්දර කිහිපයක් පළ වූවා කියා සමහරු පවසති. ඉබන් තුෆයිල් දොලොස්වැනි සියවසේ දී ලියූ Hayy ibn Yaqdhan, බල්තසාර් ග්‍රාසියන් ලියූ, 1651 වසරේ දී ප්‍රකාශයට පත් වූ El Criticón, වොල්ටෙයාර් ගේ Candide (1759), ජෝන් ක්ලීලන්ඩ් ලියූ, 1748 වසරේ දී ප්‍රකාශයට පත් වූ Memoirs of a Woman of Pleasure සහ ලෝරන්ස් ස්ටර්න් ලියූ, 1759 වසරේ දී පළ වූ, The Life and Opinions of Tristram Shandy, Gentleman නම් නවකතාව ඒ සඳහා උදාහරණ වේ. බාබරා විට්මන් වරෙක පැවසූයේ ප්‍රථම බිල්ඩුන්ග්ස්රෝමන් නවකතාව ඉලියඩ් විය හැකි බව ය. ඇය පැවසූයේ ඇකිලස් ගේ වර්ධනය පිළිබඳ ව එහි දී අවධානය යොමු වන හෙයින් ඉලියඩ් පවා බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරයක් කියා ය. බිල්ඩුන්ග්ස්රෝමන් යන වචනය නිපදවීමේ ගෞරවය හිමි ව ඇති තැනැත්තා කාල් මෝගන්ස්ටර්න් ය. එම වචනය උපත ලැබූයේ ෆ්‍රිඩ්‍රික් වුල්ෆ් නම් ගුරුවරයා මෝගන්ස්ටර්න් කෙරෙහි කලකිරී හුන් නිසා ය. වුල්ෆ් විශ්වාස කළේ මෝගන්ස්ටර්න් කලාව සහ දර්ශනය පිළිබඳ ව රචනා කරන්නට කරන්නට, ඔහු නීරස සහ නොවටිනා පුද්ගලයෙකු බවට පෙරළෙමින් සිටියා කියා ය. මෙම තදබල විවේචනය, මෝගන්ස්ටර්න් ව මෙම වචනය නිපදවන්නට පෙළැඹවී ය.

බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරය යම් කිසි රටාවකට අනුව රචනා වී ඇතැයි කියා පිළිගැනේ. කතානායකයා කතන්දරය ආරම්භයෙහි, වෙසෙසින් ම කතානායකවරයා හෝ කතානායිකාව කුඩා අවදියෙහි ඔහුට හෝ ඇයට, ‘නැති වීම’ යන සංකල්පය හා ඔට්ටු වන්නට සිදු වෙයි. ඉක්බිති, මෙකී නැති වීමෙන් බෝ දෑ උගෙනීම උදෙසා එම පුද්ගලයා ගේ ජීවිත ගමන වෙනත් මඟක් ගනියි. බොහෝ බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරවල කතානායකයා එකී නැති වීම මඟින් ආභාසය ලබා, පරිණත බව සොයා යම් කිසි සංචාරයක නිරත වෙයි. මෙය විටෙක බුද්ධිමය සහ ආධ්‍යාත්මික වූ සංචාරයකි. තවත් විටෙක මෙය වචනයේ පරිසමාප්තා‘ර්ථයෙන් ම සංචාරයකි; ගමනකි. මෙවන් කතන්දරයක කතානායකයා හා ගැටෙන මූලික දෙය නම් සමාජය සහ ඒවායේ ආදර්ශ ය. කතාව ගලා යද්දී, කතානායකයා සමාජ පිළිගැනීම් පිළිගන්නට වෙන අතර, සමාජය ඔහු පිළිගන්නට වෙයි. කතන්දරය අවසන, කතානායකයා අතිමහත් වූ මානසික වර්ධනයක්, වෙනසක් පෙන්නුම් කරන්නට වෙයි. බොහෝ බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දර අවසන් වන්නේ එලෙසිනි. එනමුත්, පෙර කී පරිදි, ක්‍යුන්ට්ස්ලර්රෝමන් කතන්දරවල අවසානය සාම්ප්‍රදායික බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරයට සීමා වන්නේ නැත. ක්‍යුන්ට්ස්ලර්රෝමන් මෙන් ම, තවත් ප්‍රධාන උපශානර ද්විත්වයක් බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරවලට වෙයි. ඉන් එකක් නම් එන්ට්වික්ලුන්ග්ස්රෝමන් ය. එහි සරල අර්ථය නම් “සංවර්ධනික නවකතාව” යන්න යි. අනෙක එයර්සීහුන්ග්ස්රෝමන් යන්න යි. එහි සරල අර්ථය නම් “අධ්‍යාපනික නවකතාව” යන්න යි. සමහර අවස්ථාවන්වල දී Coming of Age යන ශානරය ද බිල්ඩුන්ග්ස්රෝමන් හි ම කොටසකැයි කියා පිළිගැනුන ද, Coming of Age කතන්දර ඕනෑම ආකාරයක කතන්දරයක් විය හැක. එහෙත් බිල්ඩුන්ග්ස්රෝමනයක එක්තරා රටාවක් වෙයි. බිල්ඩුන්ග්ස්රෝමන් කතාවක දී එම රටාවෙන් පිටපිනිය නොහේ.

බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දර අතරින් වඩා ප්‍රසිද්ධ ම කතන්දර වනුයේ චාල්ස් ඩිකන්ස් ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ෂාලට් බ්‍රන්ටේ ගේ ජේන් එයර්, ජේන් ඔස්ටන් ගේ එමා යන කතන්දර ය. හාපර් ලී රචනා කළ ටු To Kill a Mockingbird ද ඉතා ප්‍රසිද්ධ බිල්ඩුන්ග්ස්රෝමන් නවකතාවකි. ජේ. කේ. රෝලිං ලියූ හැරී පොටර් කතාමාලාව ද මෙබඳු ම බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරයකි. ජේ. ඩී. සැලින්ජර් ගේ අග්‍රගණ්‍ය නවකතාව වන Catcher in the Rye ද එබඳු ම බිල්ඩුන්ග්ස්රෝමන් කතන්දරයකැයි පිළිගැනේ. ක්‍යුන්ට්ස්ලර්රෝමන් කතන්දර අතුරින් ඉහළ ම තැනක් හොබවනුයේ ජේම්ස් ජොයිස් අතින් රචනා වූ, නූතනවාදී සාහිත්‍යයෙහි වැදගත් කෘති අතරට ගැනෙන, විසිවැනි සියවසේ විශිෂ්ටතම කෘතියකැයි කියා පිළිගැනෙන Portrait of the Artist as a Young Man නම් නවකතාව යි. ඩී. එච් ලෝරන්ස් ගේ Sons and Lovers ද ක්‍යුන්ට්ස්ලර්රෝමනයක් කියා පිළිගැනෙනු ලැබෙයි. හර්මන් හෙස ගේ ඩේමියන් ද එබඳු ම ක්‍යුන්ට්ස්ලර්රෝමනයක් වන අතර, මිලාන් කුන්දේරා ලියූ Life is Elsewhere (ජීවිතය අන්තැනෙක) ද ක්‍යුන්ට්ස්ලර්රෝමන් ගණයට අයත් කෘතියකැයි පිළිගැනෙයි.

● කාව්‍ය තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment