දූෂිත ක්‍රිකට් සුද්දයට දෙපැත්තම එකඟයි

182

සජිත්ගේ යෝජනාව නිමල් ස්ථිර කරයි

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” මැයෙන් පාර්ලිමේන්තුවට ඊයේ (9දා) ඉදිරිපත් වූ යෝජනාව සියලු දෙනාගේ එකඟතාවයෙන් සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. විවාදය අවසානයේදී යෝජනාව පිළිබඳ ඡන්දයක් පවත්වනවාට සභාව එකඟදැයි කථානායකවරයා විමසා සිටියේය. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නැගිට යෝජනාවට ආණ්ඩු පක්‍ෂයද එකඟ නිසා ඡන්ද විමසීමක් අවශ්‍ය නැතැයි කියමින් ඝෝෂා කරන්නට වූහ.

එහිදී නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා – විපක්ෂය යෝජනාව ඉදිරිපත් කළා. ආණ්ඩුව ස්ථිර කළා. ඒ අනුව යෝජනාවට සියලු දෙනා එකඟයි.

කථානායකවරයා – සියලු දෙනා එකඟයි. යෝජනාව සම්මතයි. යැයි පැවසීය.

විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ පෙරවරුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා එය ස්ථීර කරමින් එකඟත්වය පළ කර අදහස් දැක්වීය.

එහිදී අදහස් දැක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා වත්මන් ක්‍රිකට් පරිපාලනය දූෂිත බවත් ඔවුන් වහා ඉල්ලා අස්විය යුතු බවටත් අදහස් පළ කළහ. එමෙන්ම වෙනත් චෝදනා ද ඉදිරිපත් කරමින් ඔවුහු අදහස් පළ කළහ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යෑම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද වූ යෝජනා සම්මත විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment